හීන දකින්නේ කවදා හරි සම්මානයක් අතට ගන්න - කාව්‍යා බවනි



ඕනෑම ක්ෂේත්‍රයක් පවතින්න නම් ඒ ක්ෂේත්‍රයට නවක දක්ෂයින් ආ යුතුමයි. කලා ක්ෂේත්‍රය ගත්තත් දිනෙන් දින අලුත් මුහුණු එකතු වෙනවා.  අද කතා බහත් සිදු වෙන්නේ එවන් නවක රංගන ශිල්පිනියක් සමඟ. ඇය නමින් කාව්‍යා බවනි. ඇයව මේ දිනවල අපට මුණ ගැහෙන්නේ කවිතා සහ බිග් බෙන්හි සමාධි ලෙසින්.


කාව්‍යා කොහොමද කලාවට සම්බන්ධ වෙන්නේ?‍


මගෙ පවුලේ ඉන්නේ අම්මයි මමයි අක්කයි. මගේ තාත්තා පිළිකාවකින් නැති වුණා මීට අවුරුදු හතරකට කලින්. තාත්තා සේවය කළේ CID එකේ පොලිස් නිලධාරියෙක් විදිහට සේවය කළේ. මගේ අම්මා ගුරුවරියක්. අක්කා බැංකු ක්ෂේත්‍රයේ රැකියාවක් කරනවා. මම පාසල් ගියේ වේයන්ගොඩ පත්තල ගෙදර විද්‍යාලෝක මහා විද්‍යාලයට. මම උසස් පෙළ කරන්නේ කලා අංශයෙන්. නාට්‍යය හා රංග කලාවත් මම උසස් පෙළට කළා. එතැනින් පස්සේ මට ඕන වුණා නාට්‍ය හා රංග කලාව ගැන වැඩිදුර හදාරන්න. ඒ සඳහා මම තෝරා ගත්තේ රවින්ද්‍ර විජේරත්න සර් සහ තරංග දිසානායක සර් මෙහෙයවන “දුරුතු සිනමා පාසල” එතැනදී තමයි බුද්ධිනි ජයවර්ධන මිස් මාව දැකලා එයාගේ නිර්මාණයකට සම්බන්ධ කර ගන්නේ.


මට තවම අවුරුදු 20යි. උසස් පෙළ ප්‍රතිඵල අපේක්ෂාවෙන් ඉන්නේ.


එතැනින් පස්සේ මට ඕන වුණා නාට්‍ය හා රංග කලාව ගැන වැඩිදුර හදාරන්න. ඒ සඳහා මම තෝරා ගත්තේ රවින්ද්‍ර විජේරත්න සර් සහ තරංග දිසානායක සර් මෙහෙයවන “දුරුතු සිනමා පාසල” එතැනදී තමයි බුද්ධිනි ජයවර්ධන මිස් මාව දැකලා එයාගේ නිර්මාණයකට සම්බන්ධ කර ගන්නේ.


මුල්ම නිර්මාණය මොකක් ද?


බුද්ධිනි ජයවර්ධන මිස්ගේ තිර රචනාවක් සුදේශ් වසන්ත පීරිස් මහතාගේ අධ්‍යක්ෂණයක් වන “කවිතා”.


කවිතාහි ඔබට ලැබුණු චරිතය සහ ඒ අත්දැකීම කොහොමද?


ඒ තමයි මගේ පළමුවෙනි චරිතය. ඊට කලින් රඟපාලා නැති නිසා මම ලොකු බයකින් ගියේ. නිසංසලාගේ චරිතය තමයි මට රඟපාන්න ලැබුණේ. බුද්ධිනි මිස්ට විශ්වාසයක් තිබ්බා, ඒ චරිතය කරයි කියලා. ප්‍රවීණයින් එක්ක මට රඟපාන්න තිබුණේ. සෙට් එකට ගියාම එතැන කවුරුවත් මම ආධුනික කෙනෙක් විදිහට නෙවෙයි බාර ගත්තේ එයාලගේම කෙනෙක් විදිහට පිළිගෙන තමයි මා එක්ක වැඩ කළේ. ඒ අත්දැකීම හරිම සුන්දරයි.


එතැනින් පස්සේ දායක වුණු නිර්මාණ මොනවද?


කවිතා එකෙන් පස්සේ මට අවස්ථාව ලැබුණා රවින්ද්‍ර විජේරත්න මගේ ගුරුවරයාගේම නාට්‍ය අධ්‍යක්ෂණයක් වන බිග් බෙන්හි සමාධිගේ චරිතයට දායක වෙන්න. තරංග දිසානායක සර් තමයි බිග් බෙන් නිෂ්පාදනය කරන්නේ.


නිළියක් වෙනවට ගෙදරින් කැමති වුණාද?


මුලින්ම නම් අම්මා එච්චර කැමැත්තක් තිබ්බේ නැහැ. මම නාට්‍ය හා රංග කලාව හදාරන්න යන්නේ රවින්ද්‍ර විජේරත්න සර් ගාවට කියලා දැන ගත්තා. රවින්ද්‍ර විජේරත්න සර් සහ මගේ අම්මා කියන්නේ එකම ගමේ එකට ඉගෙන ගෙන තියෙන්නේ. ඒක මම දැන ගන්නෙත් මම ‘දුරුතු සිනමා පාසල’ට ගියාටත් පස්සේ. කොහොම හරි ඒ දැන හැඳුනුම්කම් එක්ක අම්මා මගේ ගමනට උපරිම සහයෝගය දුන්නා. අදටත් මට ෂූටින් දවසට අම්මා නිවාඩු දාලා මා එක්ක එනවා. අම්මට බැරි දවසට අක්කා නිවාඩුවක් දාලා එනවා. දැන් නම් මට ගෙදරින් ලොකුම සහයෝගයක් ලැබෙනවා.


හීන දැක්කෙම නිළියක් වෙන්නද?


උසස් පෙළට නාට්‍ය හා රංග කලාව කරන්න ගත්තම තමයි කලාව ගැන ආසාවක් ආවේ. ඊට පස්සේ මට හිතුණා කලාවෙන් මම කවදා හරි තැනකට යනවා කියලා. දැන් ආසයි සහ හීන දකින්නේ කවදා හරි සම්මානයක් අතට ගන්න. ඒ දක්ෂ සහ ජනප්‍රියම කියන අංශ දෙකෙන්. ඒ වෙනුවෙන් මම තාමත් රංගනය හදාරන ගමන් ඉන්නේ.


වේදිකාවට තියෙන කැමැත්ත කොහොමද?


මම වේදිකාවට සම්බන්ධ වෙන්න ආසයි. නාට්‍ය හා රංග කලාවත් හදාරපු කෙනෙක් නිසා මම හිතනවා වේදිකා රංගනයත් මට පහසු වෙයි කියලා.


පාසල් වේදිකාව එක්ක වැඩ කරලා නැද්ද?


මම උසස් පෙළ හැදෑරුවේ පෞද්ගලික අංශයෙන්. පාසල් වේදිකාවේ මට අත්දැකීම් තියෙන්නේ ඩාන්සින්වලින්. ඩාන්සින්වලින් වෙනත් රටවලට ගිහින් තරග කරලා තියෙනවා. උඩරට, පහතරට සහ සබරගමු තුනම කළා. උඩරට නර්තනයෙන් තමයි මම රට රටවල තරගවලට ගියේ.


දැන් ඩාන්සින් කරන්නේ නැද්ද?


වැඩි ඉඩක් දීලා තියෙන්නේ නාට්‍යවලට නිසා මේ කාලයේ ඩාන්සින් කරන්න බැරි වුණා. දැන් උසස් පෙළ ප්‍රතිඵල ආවට පස්සේ මොකද කරන්නේ කියන එක තීරණය කරනවා.


කලාවට එන්න කලින් ක්ෂේත්‍රය ගැන එක එක කතා ඇහිලා ඇතිනේ, දැන් කාව්‍යාට මේ ක්ෂේත්‍රය දැනෙන්නේ කොහොමද?


එන්න කලින් සහ දැනටත් ගොඩක් අය කියනවා යන්න එපා, ඔය ක්ෂේත්‍රය මෙහෙමයි කියලා. හැබැයි මම හිතනවා තමන්ව විශ්වාස කරලා තමන් හරි ගමනක් යනවා නම් සහ තමන්ගේ හිතට අවංකව වැඩ කරනවා නම් කවුරු මොනවා කිව්වත් වැඩක් නැහැ. වැඩ කරලා ඇවිත් නිදහසේ හිත තියන් ඉන්න පුළුවන් නම් ඒ ඇති කියලා මම හිතනවා. මොන ක්ෂේත්‍රයක වුණත් වැරදි පැති තියෙන්න පුළුවන්. අපි දෙයක් තෝරා ගන්නා දේ අනුව තමයි හැමදේම වෙන්නේ.


කාව්‍යා ආදරවන්තියක් ද?


නැහැ. මම හිතනවා දැන්ම ආදරේ කියන දේ හිතට ගත්තොත් මම යන ක්ෂේත්‍රය එක්ක ප්‍රශ්න වෙන්න පුළුවන්. මට ඒ දේට තව කල් තියෙන නිසා ආදරේ ගැන ඉස්සරහට හිතනවා.


අනාගත බලාපොරොත්තු මොනවද?


මේ වෙද්දී මම කැලණිය විශ්වවිද්‍යාලයේ බාහිර අංශයෙන් චීන භාෂාව හදාරනවා. ඒ ඔස්සේ ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා.


අනුෂා රණසිංහ



Previous Post Next Post