දුලීකා අක්කා කරපු විදිහටම මට ඒක කරන්නත් බෑ -දනුෂ්කා ජයරත්න




වසර ගණනාවක් තිස්සේම ජනප්‍රිය තලයේ වැජඹෙන ‘කියා දෙන්න ආදරේ තරම්‘ ටෙලි නිර්මාණය බොහෝ දෙනාගේ ආදරය දිනාගත් ටෙලි නිර්මාණයකි. එහි ප්‍රධාන චරිත කිහිපය ජනාකීර්ණ කොළඹ නගරයේ රෙදි මෝල වත්තෙන් සොයාගැනීමට අධ්‍යක්ෂ ධනුෂ්ක රත්නායක මෙන්ම තිරපිටපත් රචක මහේෂ් රත්සර මද්දුමආරච්චි ගත් උත්සාහය කොතරම් සාර්ථක වීද යන්නට හොඳම උදාහරණය අයිරාංගනී (අයිරා) යැයි කීම වරදක් නොවේ. අනේකවිධ දුක්ගැහැට ඉදිරියේ නොසෙල්වෙන මව් සෙනෙහස මනාව පිළිබිඹු කරන මවකගේ චරිතයට පණ පොවන ඇය දනුෂ්කා ජයරත්නය. චරිතාංග නිළියක ලෙස පුංචි තිරය මත විවිධාකාරයේ චරිත නිරූපණයෙහි යෙදෙන ඇය වේදිකාව ද ඉහළින්ම ජයගත් රංගන ශිල්පිනියකි. හඬකැවීම් කලාවේ ද නමක් දිනා සිටින ඇය අප හා එක්වෙමින් පවසා සිටියේ සිය කලා ජීවිතයේ මෙතෙක් මුහුණදුන් ප්‍රබලම අභියෝගය අයිරා බවයි.


දනුෂ්කා කියන්නෙ මේ දවස්වල ගොඩක් කාර්යබහුල චරිතයක්. මොකද වෙන්නෙ මේ දවස්වල ?


දිගටම ‘කියා දෙන්න ආදරේ තරම්‘ ෂූටින් යනවා. ‘දිවිතුරා‘ නම් දැන් ෂූට් කරල ඉවරයි. කාලෙකට පස්සේ ‘දිවිතුරා‘ ටෙලි නිර්මාණය හරහා උපහාසය ගැබ් වෙච්ච චරිතයක් කරන්න ලැබුණා. ඒක මං හරි ආසාවෙන් කළ චරිතයක්. මේ දවස්වල ගොඩක්ම කාර්යබහුල වෙලා ඉන්නෙ සුජීව ප්‍රියලාල්ගෙ අලුත්ම වේදිකා නාට්‍යය ‘ගෙවන්නත් බෑ ගෙවන්නෙත් නෑ’ රියසල් නිසා.


මේ දවස්වල ඔබ ගොඩක්ම ජනප්‍රිය රෙදි මෝල වත්තේ අයිරාංගනී විදිහට. ඒ කියන්නෙ නිර්වාන්ගෙ අම්මා. දුලීකා මාරපන පණ පෙවූ චරිතයක් ප්‍රතිනිර්මාණය කිරීම අභියෝගයක් වුණේ නැද්ද?


මෑතකාලීනව ලැබුණු චරිත අතරින් රෙදි මෝල වත්තේ අයිරා කියන්නෙ මට ලොකු අභියෝගයක් වුණු චරිතයක්. ඒක දුලීකා මාරපන කියන දක්ෂ රංගන ශිල්පිනිය පණ දුන් චරිතයක්. ධනුෂ්ක රත්නායක ඒකට මට කතා කරද්දි මට මං ගැන විශ්වාසය තිබුණත් ප්‍රේක්ෂකයන් ඒක මොන විදිහට පිළිගනී ද කියන දෙගිඩියාව නිසා බාරගන්න බය හිතුණා. අනික දුලීකා අක්කා කරපු විදිහටම මට ඒක කරන්නත් බෑ. එතනදී ඔයාට ඒක කරන්න පුළුවන් ඔයා යන්න කියලා මාව දිරිමත් කළේ මගේ මහත්තයා. එහිදී ධනුෂ්කයි මායි කතාවුණා දුලීකා අක්ක කරපු දේම නොකර පොඩ්ඩක් වෙනස් කරලා චරිතය මගේ කරගෙන කරමු කියලා. ධනුෂ්ක ඒ දුන්න නිදහස නිසා තමයි ඒ චරිතය සාර්ථක වුණේ කියලා මට හිතෙනවා. විශේෂයෙන්ම මහේෂ් අයියගේ පිටපත ලිවීම තමයි මෙතැන ලොකුම වැඩේ. ඒ ගැන නම් නොකියාම බෑ. මෙතැනදි ඔළුව කසනවා, මෙතැනදි බිම බලාගන්නවා. ඒ වගේ චරිතයට අදාළ හැම ඩීටේල් එකක්ම එයා ලියල එවනවා. ඒක අධ්‍යක්ෂවරයට වගේම රඟපාන අයටත් ලොකු වාසියක්. මටත් ඒක ලොකු සපෝට් එකක් වුණා අයිරා ගොඩනඟාගන්න. මුල් දවස්වල මං කණ්ඩායමේ හැමෝගෙන්ම අහනව ඔයාලට වෙනසක් දැනෙනව ද අනේ, දැනෙනව නම් මට කියන්න කියලා. එයාල හැමෝම මට උදවු කළා. අනිත් එක තමයි දුලීකා අක්කයි මායි බාහිර පෙනුමෙනුත් වෙනස් නිසා එයා මුහුණෙන් පෙන්වන හැඟීම් මට පෙන්නන්න බැරි වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වෙනස් වුණු ගමන් ප්‍රේක්ෂකයන් කරන්නෙ මෙයා හරියන්නෑ කියන තීරණයට එන එක.


අයිරා කියන්නෙ පෙනුමෙන්, කතා විලාසයෙන්, හැසිරීමෙන් මේ හැම දෙයකින්ම ඔබව වෙනස් කළ චරිතයක්. ඒ ගැන මොකද හිතෙන්නෙ?


රෙදි මෝල වත්තෙ ජාතීන් කිහිපයක්ම ඉන්නවා. එයාලා හරිම එකමුතුයි. ළඟ ළඟ ගෙවල් තියෙන නිසා එයාලා අතරෙ හරි කිට්ටු අන්තර් සම්බන්ධතාවක් තියෙනවා. වැඩිපුරම ඉන්නෙ දමිළ අය නිසා නිතරම ඇහුණෙ දමිළ භාෂාව. ඒ නිසාම සිංහල අය සිංහලෙන් කතාකරද්දි වුණත් දමිළ හුරුව තිබුණා. අන්න ඒ වෙනස පෙන්නන්න තමයි ධනුෂ්ක, අයිරා හරහා උත්සාහ කරලා තිබුණේ. වත්තෙ අය කතා කරන විදිහ, අඳින පලඳින විදිහ දැක්කම අයිරාව ගොඩනඟාගන්න මට අමාරු වුණෙත් නෑ.


රෙදි මෝල වත්තෙ අයිරාට ලැබෙන ප්‍රතිචාර කොහොමද?


මුලදි මුලදි නම් ප්‍රේක්ෂක ප්‍රතිචාර අවුල් වුණා. කොහොමත් ඕනෑම චරිතයක් ජනගත වෙන්න පොඩි කාලයක් යනවනේ. ඒ දවස්වල නම් අපේ ගෙදරින් මට යූටියුබ් එක බලන්න තහනම් කළා. කමෙන්ට්ස් බලල අවුල් වේවි කියලා. ඒත් මේ වෙද්දි ඒක සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. දැන් ලැබෙන ප්‍රතිචාරත් එක්ක මට හිතෙනවා මෑතකාලීනව රීප්ලේස් වුණු හොඳම රීප්ලේස්මන්ට් එක අයිරා කියලා.


දාම් කියන්නෙත් ඔබට අභියෝගයක් වුණු නිර්මාණයක්?


ඔව්. ඒක තාත්ත කෙනෙක් නැති පවුලක බර කරට ගත්ත, කෑම විකුණල ජීවත්වෙන අම්මා කෙනෙක්ගේ චරිතයක්. ධනුෂ්ක රත්නායක සමඟ සම්බන්ධ වුණු පළමු නිර්මාණය ඒක. පිටපතේ මුලින් තිබුණේ මෝටර් බයිසිකලයෙන් කෑම ගෙනියන්න. ඒත් අපේ ගෙදරින් බය වුණා මං අත පය ගලව ගනීවි කියලා. පස්සේ ධනුෂ්ක එක්කත් කතාකරලා බයික් එක වෙනුවට ත්‍රීවිල් එකක් යොදා ගත්තා. පළවෙනි දවසෙ ත්‍රීවීල් එක ලැබුණෙත් ෂූටින් පටන් ගන්න පැයකට කලින්. මම මොනවත්ම දැනගෙන හිටියෙ නෑ. ඒ වෙලාවෙ පිටිපස්සෙන් නැගල “ආහ් දැන් ස්ටාර් කරන්න, දැන් අරන් යන්න“ කිය කිය මට ඒක පුරුදු කළේ මගේ මහත්තයා. ඔහු හැම තැනදීම මගේ හෙවණැල්ල වගේ මට ශක්තියක් වෙනවා. ඒ වගේම මගේ පොඩි පුතු තරුල් දුල්නිතවත් ආදරෙන් මතක් කරන්න ඕන. එයා මං වෙනුවෙන් එයාගෙ වැඩ තනියම කරගෙන මාත් එක්ක ෂූටින් කරන තැනටත් ඇවිත් ලොකු කැපකිරීමක් කරනවා.


දනුෂ්කා ක්ෂේත්‍රයට පිවිසුණු විදිහත් කියලම කතාව අවසන් කරමු?


මං කලාවට පිවිසෙන්නේ වෙළෙඳ දැන්වීම් හරහා. සුමිත් රෝහණ තිත්තවැල්ගලගේ ‘සඳගිර‘ ටෙලි නිර්මාණය ඔස්සේ පුංචි තිරයට පිවිසීමේ අවස්ථාව ලැබුණා. ඊට පස්සේ මං වේදිකාවට සම්බන්ධ වුණේ සුනිල් චන්ද්‍රසිරිගේ ‘ජනමිතුරා‘ වේදිකා නිර්මාණයෙන්. ඔහු යමක් තේරුම් කළ හැකි හොඳ අධ්‍යක්ෂවරයෙක්. එතැනදි තමයි මට යමක් කරන්න පුළුවන් කියන එක හොයාගත්තේ. වේදිකාවෙන් ආයෙම පුංචි තිරයට එද්දි මං යමක් හොයාගෙන තිබුණා. වේදිකාවට මං ගොඩක් ආසයි. වේදිකාවට ආරාධනාවක් ලැබුණු ගමන්ම අපේ ගෙදර අය කියනවා මං හරි සතුටෙන් ඉන්නව කියලා. මේ වෙද්දි වේදිකා නාට්‍ය රැසකට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වගේම හඬකැවීම් ශිල්පිනියක් විදිහටත් වැඩකටයුතු කරගෙන යනවා.


නාමලී ගමගේ




Previous Post Next Post