අශාන් ඩයස් අධ්‍යක්ෂණයට එන්නද හදන්නෙ?




ඔහු ලාංකික කලා ක්ෂේත්‍රය තුළ තම අනන්‍යතාව තහවුරු කළ රංගන ශිල්පියෙක්. එකිනෙකට වෙනස් චරිත තුළින් තම රංගන ප්‍රතිභාව විදහා දක්වන ඔහු ප්‍රේක්ෂක සන්තානය කැලඹූ රංගන ශිල්පියෙක්. අද හදගැස්ම හා එක්වන්නේ ප්‍රවීණ රංගන ශිල්පි අශාන් ඩයස්. 


ඔබේ රංග කාර්ය සිදු කරන විට එකම රාමුවකට කොටු නොවන අභියෝගාත්මක චරිත තෝරා ගන්නේ  ඇයි?


මෙහෙමයි මම ක්ෂේත්‍රය තුළ සිටින්නේ රංගනයට තිබෙන ආදරය නිසා. ඒ හේතුවෙන් මම භාරගන්න හැම වැඩකින්ම මට තෘප්තියක් තිබෙන්න ඕන. ඒ නිසා එකම දෙයක් නැවත කරද්දී  තෘප්තියක් නැහැ. එතැන තිබෙන්නේ සරල කාරණයක්. එතැන ලොකු දෙයක් නැහැ. මම චරිතයක් කරනවා නම් ඒක මීට කලින් නොකරපු දෙයක් වෙන්න ඕන. නැත්නම් ඒ චරිතයේ යම් අභියෝගයක් තිබෙන්න ඕන. සමහර චරිත තිබෙනවා අලුත් දෙයක් ඉගෙන ගන්න අවශ්‍ය නිසා කරපු. මම එක චරිතයක් කළා පහතරට නැටුම් සම්ප්‍රදාය ගැන ඉගෙන ගන්න ඕන නිසාම. ඒ නිසා මගේ අතින් එකම ජාතියේ චරිත කෙරෙනවා අඩුයි.


ඔබ රංගනයෙන් දායක වුණු වෙඩි නොවදින ළමයි සිනමාපටයේදී  ඉතා බරපතළ චරිතයකට පණ පෙව්වා. ඒ ගැන කතා කරමු?


මේ සිනමාපටය තුළ අපිට ගොඩක් අත්දැකීම් ලැබුණා. මම හිතන්නෙ මෙයට දායකත්වය සැපයූ හැමෝම සහභාගි වුණු අමාරුම සිනමාපටයත් ඒක වෙන්න ඇති. හවස හයේ ඉඳන් උදෑසන හය වෙනකල් මුළු රැයක් පුරා එහි රූගත කිරීම් සිදු කළා. අනික් එක බස් රථයක් තුළ. ඒක ඉතා දුෂ්කර කාර්යක්. මේ චරිතයේ ගෞරවය හිමි වෙන්න ඕන මට නෙවෙයි ඉන්දික ෆර්ඩිනෑන්ඩු අධ්‍යක්ෂවරයාට. ඔහු තමන්ට අවශ්‍ය දෙය සියයට සීයක් ගන්න දන්න අධ්‍යක්ෂවරයෙක්. මම නිකන් මැටි ගුළියක් වුණා විතරයි.


ඔබේ තිඹිරිගෙය වේදිකාව ඒ පිළිබඳව කියනවා නම්?


වේදිකාව තමයි මගේ පළමු ආදරය. මම පාසල් කාලේ ඉඳන්ම නාට්‍ය කළා. කොළඹ ඇවිත් මුලින්ම ජෙරොම් දි සිල්වා මහතාගෙන් මම රංගනය හැදෑරුවා. 1999 ඉඳන් 2007 වෙනකල්ම මම ඔහු සමඟ වැඩ කළා. ලයන් කින්ග් කියන නාට්‍යයට සම්බන්ධ වෙලා හයිනාගේ චරිතයට පණ පොවන්නෙත් එහෙම. අපි ඒ කාලේ කොළඹ ගැන දන්නෙත් නැහැ මැජික් වගේ. මීගමුවයි කොළඹයි කියන්නේ සංස්කෘති දෙකක්. මට වේදිකාව හරහා ලැබුණ වටිනාම දෙය තමයි විනය කියන දෙය. අද ක්ෂේත්‍රයේ ඉන්න ගොඩක් පිරිස වේදිකාවෙන් ආපු අය. මගේ රංගන ජීවිතයට පදනම වැටෙන්නේ වේදිකාවෙන්.


ඔබේ රංගන දිවියේ ඔබට හදවත ස්පර්ශ කළ චරිතය ගැන කතා කරමු?


සාමාන්‍යයෙන් මම සිනමාපටයකට සහභාගි වුණ මොහොතේ හිතන් සිටින දෙයක් සහ සිනමාපටය නිකුත් වූ පසුව ලැබෙන දෙයක් තිබෙනවා. එහෙම මට ගොඩක් දැනුණ සිනමාපටයක් තමයි අලිමංකඩ කියන්නේ. ඒක මම රංගනයෙන් දායක වුණු මුල්ම සිනමාපටය වගේම එහි ධාවන කාලය තුළ මම ගොඩ කාලයක් එහි රැඳී සිටිනවා. තව විජයබා කොල්ලයේ අසංක සෙනෙවියාගේ චරිතයටත් මම කැමැතියි. විජයබා කොල්ලය පොත තුළත් ඒ චරිතය ඉතා බලවත්. නමුත් ප්‍රේක්ෂකයාගෙන් මට මේ චරිතයට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා.


1970 Love Story ගැන කතා කරමු?


ඒක මම කරපු වෙනස්ම චරිතයක්. ඒක වෙනස්ම අත්දැකීමක්. අරුණ ජයවර්ධන කියන්නෙ සුන්දර මනුස්සයෙක්. ඔහුගෙ තිබෙන විශිෂ්ටම දක්ෂතාව තමයි තිරපිටපත් ලිවීමේ හැකියාව. ඔහු කතන්දර ගොඩනඟන විදිහ ගැන හිතාගන්න බැහැ. 1970 Love Story ගෙතිලා තිබෙන විධිය ඒක මුල ඉඳන් අගට ගැළපෙන විධිය ගැන මට හිතාගන්න බැහැ. මේ සිනමාපටය මම රංගනයෙන් දායක වුණ වෙනස්ම විධියෙ අත්දැකීමක් තිබෙන කතාවක් කියන්න පුළුවන්.


රංගන ශිල්පියෙක්ට ඇකඩමික් හැදෑරීමක් අවශ්‍යද?


ඇකඩමික් හැදෑරීමක් අවශ්‍යයි කියලා මම හිතනවා. ඒ පදනම තුළින් අපිට අනෙක් දේවල් ගොඩනඟාගන්න පහසුයි. රංගනය කියන්නෙ අවසන් නොවන දෙයක්. ඒක නිතර නිතර හැදෑරිය යුතු දෙයක්. කවුරු හරි කෙනෙක් හිතනවා නම් මම දැන් ඉන්නෙ මගේ හොඳම තත්ත්වයේ, මම තමයි දැන් ලංකාවේ ඉන්න හොඳම රංගන ශිල්පියා කියලා එතැනින් එහාට එයාට පැවැත්මක් නැහැ. අපි නිතර නිතර දේවල් ඉගෙන ගන්නවා. එහෙම කිව්වට මම ඇකඩමික් හැදෑරීමක් තිබෙන කෙනෙක් නෙවෙයි. ඒකට බොක්ක ආදරය තිබෙනවා නම් ඒ දෙය ඇති. අනික් දෙය තමයි ඇස් ඇරගෙන ඉඳලා සමාජයේ තිබෙන දේවල් නිරන්තරයෙන් එකතු කර ගන්නත්  අවශ්‍යයි.


අධ්‍යක්ෂවරයෙක් වන්න අදහසක් නැද්ද?


අදහසක් තිබෙනවා. පර්ෆෙක්ට් ලෝකෙක නම් අලුත් චරිත රඟපාගෙන තෘප්තිමත් වෙලා ඉදිරියට යන්න තිබුණා. ලංකාවේ තිබෙන අවුලක් තමයි එහෙම කැරැක්ටර් බිහිවෙන්නෙ නැතිකම සහ එවැනි කැරැක්ටර්ස් සොයා ගෙන යන්නෙ නැතිකම. ලංකාවේ ගොඩක් අයව රංගනයට ගන්නේ මාකට් කරන්න පුළුවන් නම් විතරයි. මේ නිසා ලංකාවේ ගොඩක් දක්ෂ අයව මඟහැරෙනවා. ලංකාවේ නම ලොකු මදි නම්, ප්‍රසිද්ධිය අඩු නම්, අධ්‍යක්ෂවරයාට මුට්ටිය අල්ලනවා මදි නම් චරිත ලැබෙන්නේ නැහැ. ඒ වගේ පසුබිමක රංගන ශිල්පියෙක්ට කලකිරීමක් ඇති වෙනවා. මේ නිසා තමයි මම වැඩක් කරන්න අවශ්‍යයි කියන අදහස එන්නේ. ඒ අනුව ඉදිරියට මම අධ්‍යක්ෂවරයෙක් වෙයි.


සිහින සමීකරණ ගැනත් කතා කරමු?


සිහින සමීකරණ ගැන මේ දිනවල කතා බහට ලක් වෙනවා. මේක සසික හේරත්ගෙග් පළමු අධ්‍යක්‍ෂණය වුණත්. ඉතා විශිෂ්ට නිර්මාණයක්. මේක මනා අවබෝධයකින් කළ වැඩක්. ඒක හිතුවටත් වඩා හොඳට ඔහු කළා. මේකට දායකත්වය සැපයූ පිරිස රංගනය පිළිබඳව බරපතළ ලෙස සිතන පිරිසක්. මේ සිනමාපටය මඟ නොහැර බලන්න කියලා ප්‍රේක්ෂකයාට ආරාධනා කරනවා.



Previous Post Next Post