අස්ලම් රොෂාන් කියන නම වගේම ඔහුගේ හඬත් මේ දිනවල අපට නිතරම ඇහෙනවා. මේ හැඩකාර පුංචි පැංචා ගැන බොහෝ දෙනෙක් කතාබහ කරනවා. ඇත්තටම කිව්වොත් අස්ලම් රොෂාන් කියන්නේ දැන් ලංකාවේ අතිශයින් ජනප්‍රිය ළමා ගායන ශිල්පියෙක්. ලංකාවේදී පළමුවරට පැවැත්වූ සිරස The Voice Kids Sri Lanka තරගාවලියේ කිරුළ දිනා ගත්තේ අස්ලම් කියලා මේ වෙද්දී මුළු ලංකාවම දන්නවා. ඒ නිසා අස්ලම්ගේ දක්ෂතා ගැන අමුතුවෙන් විස්තර කළ යුතු නැහැ. තවමත් අවුරුදු 13ක් වන තුවාන් අස්ලම් රොෂාන් මහනුවර පදිංචිකරුවෙක්. කිරුළ හිමිවීම ගැන ඔහු අපිට කීවේ මේ වගේ කතාවක්.
අස්ලම් කියන නම මේ දවස්වල අතිශයින් ජනප්‍රියයි නේද?
ඔව්. මේ දවස්වල මම ගැන බොහෝ දෙනෙක් කතාබහ කරනවා. මුළු රටේම ආදරය මට ලැබෙනවා කියලා මට හිතෙනවා. මගේ ගායන හැකියාවට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ගොඩක් දෙනෙක් මාව අගය කරනවා. ඒ ගැන ලොකු සතුටක් තියෙනවා. The Voice Kids Sri Lanka තගරය නිසා මම ගැන බොහෝ දෙනෙක් දැනගත්තේ.
කෝච් ප්‍රදීප්ගේ කණ්ඩායම නියෝජනය කරන්න අවස්ථාව ලැබුණේ වාසනාවකට නේද?
ඔව්. කෝච් ප්‍රදීප් වගේ දක්ෂ කෙනෙක් යටතේ සංගීතය ගැන ඉගෙන ගන්න, ඔහුත් සමගින් ගීත ගායනා කරන්න අවස්ථාව ලැබෙයි කියලා මම කවමදාවත් හිතුවේ නැහැ. ඒත් කෝච් ප්‍රදීප්ගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න අවස්ථාව ලැබුණා. මේ වෙලාවේ අනෙක් කෝච්ලාවත් ආදරයෙන් මතක් කරනවා.
අවසන් මහා තරගයේදී අස්ලම් ගායනා කළ ගීතයට විසිල් එක එකතු කරමු කියලා කිව්වේත් කෝච් ප්‍රදීප්ද?
පුංචි කාලේ ඉඳලම මම විසිල් ගහනවා. ගෙදර ඉද්දිත් එහෙමයි. සමහර වෙලාවට සිංදුව කියන්නේ නැතුව ඒ සින්දුවේ තාලෙට විසිල් කර කර ඉන්නවා. තරගයට සහභාගි වුණාමත් සමහර වෙලාවට මම විසිල් කළා. කෝච් ප්‍රදීප් ඒක දැකලා තිබුණා. ඊට පස්සේ තමයි සිහින අහසේ වසන්තේ ගීතයට විසිල් කරමුද කියලා කෝච් ප්‍රදීප් මගෙන් ඇහුවේ. මමත් ඒකට කැමති වුණා. ඒ විදිහට තමයි අවසාන තරගයේදී ගායනා කළ ගීතයට විසිල් එකතු වුණේ.
ගමෙන් මොනවගේ ප්‍රතිචාරද ලැබුණේ?
ගමෙන් හිතාගන්නවත් බැරි ප්‍රතිචාර ලැබුණා. උත්සව සංවිධානය කරලා තිබුණා. මල් මාලා දාලා, රතිඤ්ඤා පත්තු කරලා මාව පිළිගද්දී ලොකු සතුටක් දැනුණා. හැමෝම අස්ලම් අස්ලම් කියලා මගේ නම කියමින් චියර් කරන්න පටන් ගත්තා. ඒ වගේ දෙයක් මම කවදාවත් බලාපොරොත්තුවෙන් හිටියේ නැහැ. ඒක වෙනස්ම විදිහේ අත්දැකීමක්.
අස්ලම්ගේ පවුල ගැනත් පොඩි විස්තරයක් කියමු?
මගේ පවුලේ සාමාජිකයන් හතර දෙනයි. තාත්තයි අම්මයි මමයි අක්කයි. ඊට අමතරව සීයලා ආච්චිලත් අපිත් එක්ක ඉන්නවා. අම්මා ගෘහණියක්. තාත්තා පේන්ටින් වැඩ කරනවා. අක්කත් තවම අධ්‍යාපනය ලබනවා. අම්මාට තාත්තාටත වගේම අක්කාටත් ගීත ගායනා කරන්න හැකියාව තියෙනවා.
අස්ලම්ට ගීත ගායනා කරන්න හැකියාවක් තියෙනවා කියලා මුලින්ම හඳුනාගෙන තියෙන්නේ කවුද?
අම්මයි තාත්තයි කියන විදිහට මම පොඩි කාලේ ඉඳලම ගීත ගායනා කරලා තියෙනවා. පෙර පාසල් කාලය වෙද්දී මම ගායනය පැත්තට ගොඩක් නැඹුරු වෙලා හිටියලු. මට ගීත ගායනා කරන්න හැකියාවක් තියෙනවා කියලා අම්මයි තාත්තයි තමයි මුලින්ම හඳුනාගෙන තියෙන්නේ. ඒ දෙන්නා තමයි අදටත් මට සංගීතය උගන්වන්නේ. ඒ නිසා මගේ සංගීත ගුරුවරු කවුද කියලා ඇහුවොත් මම මුලින්ම මතක් කරන්නේ මගේ අම්මවයි තාත්තවයි.
දැන් අස්ලම් ගුරුවරයෙක් යටතේ සංගීත විෂය හදාරනවද?
මම මේ වෙද්දි ගැටඹේ මහානාම විද්‍යාලයේ නව වැනි වසරේ ඉගෙනුම ලබනවා. පාසලේදී මම විෂයයක් විදිහට සංගීතය හදාරනවා. ඒ හැර තවම නම් සංගීතය පිළිබඳව වෙනත් ගුරුවරයෙක්ගෙන් හැදෑරීමක් කරන්නේ නැහැ.
The Voice Kids තරගයට සම්බන්ධ වුණේ කොහොමද?
මම ගීත ගායනයට දක්ෂයි කියලා කාලයක් යද්දි අපේ පවුලේ හැමෝම දැනගෙන තියෙනවා. ඒ අනුව මගේ ලොකු අම්මගේ දුවක් තමයි මම වෙනුවෙන් මේ තරගයට ඇප්ලිකේෂන් එකක් එවලා තියෙන්නේ. ඇයටත් මම ස්තූතිවන්ත වෙනවා.
පොඩි කාලෙත් වැඩිපුරම ගායනා කළේ කෝච් ප්‍රදීප්ගේ සිංදු ද?
සිරස junior superstar වැඩසටහනේ ගීත ගායනා කළ සුමීර අදීප අයියා මතකද? සුමීර අයියා junior superstar තරගයේදී ගායනා කළ ගීත තමයි මම මුලින් වැඩිපුරම කිව්වේ. ඒ වගේම ග්‍රේෂන් ආනන්ද, සුනිල් එදිරිසිංහ, චාමර වීරසිංහ, දමිත් අසංක වගේ අති දක්ෂ ගායන ශිල්පීන්ගේ ගීතත් ගායනා කරලා තියෙනවා. ඒ වගේම මම කෝච් ප්‍රදීප්ගේ ගීතවලටත් ගොඩක් කැමතියි. ඒ නිසා මම ඔහුගේ ගීත ගායනා කරන්න උත්සාහ කරලා තියෙනවා.
කොහොමද මෙච්චර හොඳට සිංහල කතා කරන්නේ?
මම පොඩි දවස්වල ඉඳලා සිංහල කතා කළා. පාසලේ වැඩ කටයුතු කරන්නෙත් සිංහල භාෂාවෙන්. මම දෙමළ භාෂාව කතා කරන්න දන්නේ නැහැ. දෙමළෙන් කෙනෙක් කියන දෙයක් මට තේරෙනවා. ඒත් මම කතා කරන්න දන්නේ නැහැ. මම කැමතිම භාෂාව සිංහල. ඉතින් මම සිංහලෙන් කතා කරනවා. සිංහල ගීත ගායනා කරනවා. සිංහලෙන් ඉගෙන ගන්නවා. ඒ නිසා සිංහල අය වගේම මමත් හොඳට සිංහල කතා කරනවා කියලා මම හිතනවා.
මොනවද ඉදිරි බලාපොරොත්තු?
ඉදිරියේදී මගේම සින්දුවක් කරන්නත් ආසාවෙන් ඉන්නවා. හැබැයි ඒ සින්දුව කරන්න බලාපොරොත්තු වෙන්නෙත් කෝච් ප්‍රදීප් එක්කම තමයි.
ඡායාරූප: වෙනුර චන්ද්‍රමාලිත
.png)
.png)
.png)