ඕනෑම කෙනෙකුට ඕනෑම දේකට නමෝනාම තුළින් නමක් දෙන්නම්-මාධවි වත්සලා



මාධවි වත්සලා සහ කසුන් මහේන්ද්‍ර ගැන නොදන්නා කෙනෙක් නැහැ. මාධවිගේ ආත්මය කසුන් සොරාගන්නා විට ඒ ගැන විවිධ කතා පැතිරුණා. බොහෝ අය එළියේ ඉඳන් කතා හදනකොට ඇත්ත දැනගන්න අපි ඇයගේ හදවතට එබුනා. කසුන් හා මාධවී එක්ව ආරම්භ කරපු නමෝනාම වැඩේටත් සුබ පතමින් අපි මාධවී එක්ක කතාවට මුලපිරුවා.




අලුත් වැඩක් පටන්ගත්තා කියලා ආරංචි වුණා.




ඒ තමයි "නමෝනාම" (Namonama). පුංචි බබාලට, ව්‍යාපාරවලට, කලා නිර්මාණ වලට, යූටියුබ් චැනල් වලට වගේම ඕනෙ නම් තමුන්ගේ නම වෙනස් කරගන්න කැමති වැඩිහිටියන්ටත් වන්දනීය නමක් හොයලා දෙන එකයි මේ සේවාවෙන් කරන්නේ.


කොහොමද මේ වගේ අදහසක් ආවේ?




පූර්වජයන් විදිහට මගේ සීයා බෙනඩික්ට් ඇන්තනීත්, අප්පච්චි ජැක්සන් ඇන්තනීත්, පරම්පරා ගණනාවකට නම් යෙදූ ඇත්තෝ. මමත් කසුනුත් යෞවනයේ ඉඳලා අපෙන් පසු පරම්පරාවල අයට නම් යොදන වැඩේ හරි ආසාවෙන් කළා. ඉතිං අපි අදහස් කළා මේ කටයුත්ත නිල වශයෙන් අරඹන්න.




එහෙම තියපු නම් මොනවද?




උදාහරණය බැගින් කියන්නම්. හපන් පැදුරේ සංගීත අධ්‍යක්ෂතුමා අසේල බණ්ඩාර දිසානායක බාප්පා සහ මගෙ කිරිපුංචිඅම්මාගේ බාල දියණී වෙත මම යෙදුව නම තමයි "යසස්වී වර්ෂා". බඩපිස්සාට යෙදුවේ "වසත් විරු". කසුන් විසින් රංගන ශිල්පී මිලින්ද මඩුගල්ලගේ දියණිවරුන්ට යොදා ඇති නම් තමයි "හසඟනා මෞලි" සහ "කිරුළි මාධූර්‍යා"


කොහොමද නමෝ නාම එක්ක සම්බන්ධ වෙන්නේ...?




නමෝනාම (Namonāma) Facebook පිටුව හරහා කාටත් පුළුවන් අපිව සම්බන්ධ කරගන්න. මැසේජ් එකක් දාපු සැණින් අපේ කණ්ඩායම ඉතිරි තොරතුරු ලබා දී ක්‍රමයෙන් අපව ඔබට සම්බන්ධ කරාවි. අපි ඔබේ අවශ්‍යතාව සහ පවුලේ විස්තර සියල්ල දැනගෙන ඒ අනුව ගණ පිහිටුවා තේරුම සහිත නම් ලැයිස්තුවක් ඔබ වෙත ලබා දෙනවා.




නමෝනාම හරහා කාටද මුලින්ම නමක් තිබ්බේ?




ෆේස්බුක් පිටුව හරහා අපිව ඇමතූ යුවළකගේ අලුත උපන් දියණියකට "දුලා නෙතුපුලා" කියලා සාහිත්‍යාත්මක නමක් තමයි නමෝනාම මුලින්ම තැබුවේ.


ජ්‍යෝතිෂ්‍ය අනුව නේද නම් තියන්නේ?








නැහැ. අපි කරන්නේ දෙමාපියන් ලබා දෙන ජ්‍යෝතිෂ්‍ය තොරතුරු අකුරු වලට අදාළව ගණ පිහිටුවා ඔවුන්ට නම් ලබා දෙන එකයි. ඇතැම් අම්මලා තාත්තලා ජ්‍යෝතිෂ්‍යට වඩා තමුන්ගේ ආදරණීය සැමරුම්, සිහිවටන හෝ ආගමික විශ්වාස දරුවන්ට නම් යොදද්දී පාදක කරගන්නවා. දෙමාපියන්ගේ ආශිර්වාදය තරම් දරුවෙකුගේ අනාගතයට එළිය දෙන්න පුළුවන් තරු තාම බිහි වෙලා නෑ කියලා විශ්වාස කරන අයත් ඉන්නවා.




මේ ගැ


න හැදෑරීමක් කරලා කරල තියෙනවද?








කසුන් සිංහල භාෂා ප්‍රවීණත්වයක් දක්වන නීතිවේදියෙක්. ඒ වගේම විවාදකයෙක්, වෘත්තීය ගීත රචකයෙක්, කවියෙක්, පුවත්පත් කලාවේදියෙක්, ලේඛකයෙක්, කථිකයෙක්. මම පුරාවිද්‍යා විශේෂවේදී උපාධිලාභියෙක්. මගේ ශාස්ත්‍රපති උපාධිය ආර්ථික විද්‍යාව මූලිකවයි. නමුත් නිවේදිකාවක් විදිහටත් කටයුතු කරපු මම අප්පච්චිගෙන් උගත් දේ නම් පූරකවරයෙක් සූදානම් වෙන්න ඕනෙ වැඩසටහනක් අරබයා නොවෙයි ජීවිතේ අරබයායි. ඉතිං ඒ අනුව අපි දෙන්නාම කියවීමට සහ දැනුම සෙවීමට ඇබ්බැහි වූ අය. ඒ නිසා අපිට වචන වලින් හිඟයක් නෑ.


ජනප


්‍රිය නිළිය සඳහා තරග කරන් නැත්තේ ඇයි?








"ජනයා-ප්‍රිය" වෙන්නේ කලා කටයුතු සහ අනුහස අනුව කියලයි මම හිතන්නේ. එස්. එම්. එස්. මනාප ගණනින් ඒක කියන්නත් බෑ. මනාප පළ කරන්න ඩේටා හෝ සල්ලි නාස්ති කරන්න බැරුවත් ආදරේ කරන බහුතර රසික ප්‍රජාවක් අපේ දුප්පත් රටේ ඉන්නවනේ. මගේ දර්ශනය අනුව ඒ මට හොඳටම ඇති.




සම්මාන සඳහා නිර්දේශ වෙන්නෙ නැද්ද?






ගුණාත්මක වැඩවලට සම්බන්ධ වුණු අවස්ථා වලදී එහෙම වුණා. 2016 රයිගම් සම්මාන උළෙලේදී දස්කොන් ටෙලිනාට්‍යයේ පලිඟු ඇච්චී චරිතයට හොඳම නැගී එන නිළිය සම්මානය සහ සුමති සම්මාන උළෙලේ රංගනය සහ ගායනයට විශේෂ කුසලතා සම්මාන මට හිමි වුණා. 2018 වසරේදිත් සී රජ ටෙලිනාට්‍ය වෙනුවෙන් හොඳම ගායිකාවට සහ හොඳම සහය නිළිය වෙනුවෙන් නිර්දේශ වුණා වගේම, කුසලතා රාජ්‍ය සම්මානයක් මට හිමි වුණා. ඊට අමතරව මගේත් කසුන්ගේත් "ප්‍රේමෙට සීමාවක් නෑනේ" ගීතය යූටියුබ් අවකාශයේ ට්‍රෙන්ඩිං ලැයිස්තුවේ තුන් වෙනි තැනට පත් වීමත් මට මගේ ජීවිතේ ලැබුණු සම්මානයක් විදිහට මම හිතනවා. නිසි කලට වැසි වසීවි!


තාත්තා නැති පාළුව ගොඩක් දැනෙනවා නේද?




ඒ තමයි මගේ ජීවිතේ විශාලතම කඩා වැටීම. ඒක වෙලාවකට පාළුවක්. වෙලාවකට පාඩුවක්. වෙලාවකට අඩුපාඩුවක්. තවත් වෙලාවක නෝක්කාඩුවක්. මට නැති වුණේ අප්පච්චි විතරක් නෙවෙයි. මගෙ හොඳම යාළුවා. කසුන්ටත් ඔහුගේ පියා අහිමි වුණා මගෙ අප්පච්චි නැති වෙලා මාස තුනක් යන්න කලිංම. ඉතිං අපි ඒ සිද්ධි දෙකෙන් ජීවිතේ ඉගෙනගත්තා.




තාත්තාගේ අඩුව දරා ගත්තේ කොහොමද?




දරාගන්නෙ නෑ. ඉවසන්න වෙනවා. වෙන විකල්පයක් නෑනෙ. සමහරු කියනවා අප්පච්චි කොහේ හරි ඉඳන් මං දිහා බලාගෙන ඇතිලු. ඒත් මගෙ ජීවිතේ මට උන්නු ශක්තිමත්ම යථාර්ථය වෙච්ච කෙනා හිටි හැටියේ නොපෙනෙන බලවේගයක් විදිහට විශ්වාස කරන්න මම කැමති නෑ.


කවුද ජීවිතයට වඩාත් සමීප?




කසුන්. ඔහු මගේ ආත්මීය සහකාරයා. අපි අපෙන් නියෝජනය වෙනවා. ඔහු මගෙ ආදරේ. මගෙ සැනසීම. මගෙ හව්හරණ. එයාටත් මම එහෙමයි. මොකද මගෙ අම්මටවත් මං වෙනුවෙන් මගේ එදිනෙදා කටයුතු සම්පාදනය කරගෙන, නියාමනය කරමින් මං එක්ක එදිනෙදා ජීවිතේ බෙදාගන්න කවදාවත් වෙලාවක් තිබිලා නෑ. ඒ හැමෝටම තම තමුන්ගේ ජීවිත තියෙනවා. ඒත් කසුන් විතරයි මං එක්ක 100%ක් ජීවිතේ බෙදාගන්න ඉන්නෙ. මං දන්නව කිසිම වාසියක් තකා වත් කසුන් මගෙ විශ්වාසය, සැනසීම, ගෞරවය පාවා දෙන්නෙ නෑ කියලා. ඒ වගේම කසුන්ගේ අහිංසක අම්මා සහ අක්කාත් නැන්දාත් මගෙ ජීවිතේට හුඟක් සමීපයි. මං හරි ආදරෙයි එයාලගෙන් මට ලැබෙන අවධානයට. මම ඔහුගේ ජීවිතේට මගෙ උපරිම සහයෝගය දෙනවා.




ගෙවුණු අතීතය ගැන මොකද හිතෙන්නේ?




ඒක අසුරු සැණින් ගෙවිලා ගියා.

ගොඩක් සතුටින් ඉන්නවා කියලා පේනවා




මං වටින බව දැනෙනකොට ඉබේම එහෙම වෙනවා. අගය කිරීම් ලැබෙනකොට ජීවත් වෙන්න ආසා හිතෙනවා. කාලා බීලා සතුටින් ඉන්නකොට ඉතිං පාට වැටෙනවා. මං හිතන්නෙ රහස තමයි සැනසීම සහ පෞරුෂ ආරක්ෂිත බව.




කසුන් දැන් ජීවිතයේ කොටසක් වෙලා නේද




නෑ. කසුන් මගෙ ජීවිතේ ම වෙලා.




කසුන් ගැන අප්පච්චි දැනගෙන උන්නද




ඔව් අපි පෙම්වතුන් වෙන්න කලිං සිටම අප්පච්චි ඔහුව දන්නවා. ඔහුගේ වැඩසටහන් නරඹලා ඉතා හොඳ දක්ෂයෙක් බව මට කියා තියෙනවා. ඉන් පස්සෙ මගෙ ජීවිතේ උඩුයටිකුරු වෙලා මං තනි වුණ මොහොතෙන් පසුවත් කසුන් මා ගැන දක්වපු උනන්දුව සහ අවධානය ගැන අප්පච්චි දැනන් හිටියා. අවසානයේදි රෝහලේදිත් මා එක්ක කසුන් ගැන කතා කළා. අපේ හමුවීම ගැන සතුට පළ කළා. මට ඒක මහමෙරක්!


ගැහැනු දුර්වලයි කියනවා නමුත් ඔබ වඩාත් හිත හයිය ගැහැනියක් බව ඔප්පු කරලා පෙන්නලා තියෙනවා




ගැහැනු දුර්වල නෑ. හැම ගැහැනියෙක්ම පිරිමින්ට වඩා මනසින් හයියයි. මමත් එයින් එක් ගැහැනියක් පමණමයි. ගැහැනිය තමයි පිරිමියාගේ කශේරුකාව. සහකාරිය සහ සහකාරයා එකම ක්ෂේත්‍රයක වුණාම විශේෂයෙන් අවබෝධයෙන් බොහෝ විට කාන්තාවට කැපවීම් කරන්න වෙනවා. නැත්තන් අම්මලා තාත්තාලා එකිනෙකා එක්ක තරග කරන්න ගියාම ඉබේටම පරදින්නේ දරුවෝ.




ජීවිතයේ කඩා වැටුණු තැන් තියෙනවද?




ඔව්. කිහිප වතාවක්ම අඩියටම වැටුණා. ඒ දවස්වල නොතිබුණු ජීවන අවබෝධයක් දැන් තියෙනවා. ශුද්ධ බයිබලය අනුව "සකල ඥානය ද මට ඇතත්, ප්‍රේමය මට නැත්නම් මම හිස් තැනැත්තෙක්මි. ප්‍රේමය මට නැත්නම් මට කිසි පලක් නැත. ප්‍රේමයේ විශ්වාසයට ඉමක් නැත. බලාපොරොත්තුවට නිමක් නැත. ඉවසීමට අගක් නැත."




වර්තමාන ජීවිතය ගැනත් කියන්නකෝ?




"අපි තමයි අපිව දන්නේ, ලෝකය නෑ එය දන්නේ. බාධක නම් තව එන්නේ. අපි ආදරයෙන් ඉන්නේ..."




කොහොමද කසුන් ජීවිතයට එන්නේ?




මං ගැටලු රැසකට මුහුණදීලා හිටපු කාලයක ඔහු මා තනි කළේ නෑ. මමත් මාවම ප්‍රතික්ෂේප කරන මානසික මට්ටමකදී ඔහු මාව හිතුවක්කාර ලෙස වැලඳගත්තා. අතින් තදින් අල්ලගෙන බිළිඳු දෑසින් මං දිහා බැලුවා. මට කවි සිංදු ලිව්වා. එච්චරයි.




පෞද්ගලික ජීවිතයේ සැලසුම් මොනවාද?




ගෙයක් දොරක් හදාගන්න, මල් ගහක් හිටෝගෙන, කොට්ට උරයක් මහගෙන, සිංදුවක් කියලා, චිත්‍රයක් ඇඳලා, ආසම කෑමක් උයාගෙන නැත්තන් ඕඩර් කරගෙන කාලා කසුන් එක්ක ජීවත් වෙන්න. දරුමල්ලො ලබන්න, ඒ අය වෙනුවෙන් කැපවෙන්න, එයාලාව දිරිමත් කරන්න, ඔවුන්ගේ ළමා කාලය සුරක්ෂිත කරන්න, ඔවුන් ඔවුන්ගේ කැමැත්තෙන් ගයන මව් ගුණ ගීත අහන්න, අවසානෙදි ජීවිතේ කෙළවරක් වෙන දවසක මම තනි වෙලා නෑ කියලා දැනෙන මොහොත වෙනුවෙන් සැලසුම් කරනවා.




සිනමාවෙන් කලාවෙන් අයින් වෙලා විදෙස් ගත වෙන්න අදහසක් නැහැ නේ?




අනේ නෑ. මේ බිම හැර වෙනත් බිමක "ගෙදර" කියන හැඟීම අපට නෑ.




ගීත ගායනයට වැඩි කැමැත්තක් තිබුණ නේද?




තාමත් තියෙනවා. තිරගත වෙන්නට නියමිත එකගෙයි සොකරි චිත්‍රපටයේ සහ දේවී සම්බුලා චිත්‍රපට වලත් පසුබිම් ගීත ගායනා කළේ මමයි. කසුන්ගේ අලුත්ම ටෙලි නාට්‍යයේත් මම ගී ගයනවා. කසුනුත් මමත් එක්ව මේ වසරේදී අලුත් ගීත නිර්මාණ දෙකක් එළි දක්වන්න නියමිතයි.




ළඟදි විවාහ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවද?




ඔව්. මෑත අනාගතයේදී.




ඔබගේ ජීවිතය ගැන කෙටියෙන්ම කියන්න කිව්වොත් මොකක්ද දෙන උත්තරේ?




ජීවිතේ කියන්නෙම හරිම කෙටි චාරිකාවක්. ඇසට පෙනෙන ස්පර්ශයට දැනෙන දේට වඩා හදවතට දැනෙන දේ විශ්වාස කරන්න ඕනෙ. මම මිල මුදල්, සමාජ තත්ත්වය, වාසි ලාභ අහක දාලා අධ්‍යාත්මික සහ බුද්ධිමය වටිනාකම් වලින් මිනිස්සු දකින කෙනෙක්. අනුන්ගේ ජීවිත විනිශ්චය නොකරන, කෙළින් කතා කරන කෙළින් තීරණ ගන්න කෙනෙක්. වරදට සමාව ඉල්ලන කෙනෙක්. බොරුවට හිනාවෙන්න, ඇත්ත ජීවිතේදි රඟපාන්න නොදන්න කෙනෙක්. මම පුංචි දේවල් වලින් හුඟක් සතුටු වෙන ඉකමනින් හිත රිදෙන කෙනෙක්. බොහෝමයක් මහපොළොවේ ජීවිත අත්දැකීම් ලබපු කෙනෙක්. හුඟක් වටිනා තෑගිබෝගවලට වඩා මං කෑවද බිව්වද හොයා බලන එක, අසනීපයකදී මට සලකන එක, මගෙ ගෞරවය අභිමානය පක්ෂපාතීකම රකින එක, මම ලස්සනයි කියන එක, මං වෙනුවෙන් දුක් වෙන, සතුටු වෙන එක මට වටිනවා. මගේ අරමුණ තව කෙනෙක් වෙනුවෙන් යහපත පතන, යහපත් දේ කරන කෙනෙක් වෙන්න.



Previous Post Next Post