දුවෙකුට අම්මා නොමැති වීම මොනතරම් නම් වේදනාවක් ද? අම්මා නොමැතිවුණොත් දුවට මොනවා වෙයිද? කලකට ඉහත දී ලාංකීය ප්‍රේක්‍ෂකාගාරය වැඩිපුර ම ආදරය කළේ පබාට. එහෙමත් නැතිනම් පබා ටෙලිනාට්‍යයට. පබා ටෙලිනාට්‍යයේ පබාගේ අම්මා එහෙමත් නැතිනම් රම්‍යා වනිගසේකර පසුගියදා සියල්ල හැරදා ගියා. කතාවට වුණත් පබාට එයාගේ අම්මා අහිමිවීම මොනතරම් නම් දුකක්ද? මේ ටෙලිනාට්‍ය අවසන් වෙලා වසර ගණනාවක් ගත වුණත් අදටත් උපේක්ෂාව කට්ටිය ආමන්ත්‍රණය කරන්නේ පබා කියලා. ඉතිං අපි උපේක්ෂා ස්වර්ණමාලීගෙන් රම්‍යා වනිගසේකරගේ නික්ම යෑම ඇයට දැනෙනනේ කෙසේද යන්න විමසුවා.
උපේක්ෂා ස්වර්ණමාලී ගැන මේ දිනවල වැඩිපුර කතාබහට ලක්වෙන්නේ තත්ත්පරයක් දෙන්න ටෙලිනාට්‍ය හරහායි?
ඇත්තට ම සතුටුයි. මේ නාට්‍ය මුලදී භාරගත්තේ අද අපි අත්විඳින මේ ප්‍රතිචාර ලැබේවි කියන විශ්වාසය ඇතිවයි. ඉතිං ඒ බලාපොරොත්තුව ඒ විදිහටම ඉෂ්ටවීම ගැන පුදුමුකාර සතුටක් තියෙනවා. බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අධ්‍යක්ෂ සුපුන් රත්නායක වගේ ම විශේෂයෙන් කැමරා අධ්‍යක්ෂ චින්තක සෝමකීර්තිට. අපේ වැඩේ මේ විදිහට පේන්න චින්තක අයියාගේ කැමරාකරණය ලොකු රුකුලක්.
තත්ත්පරයක් දෙන්න ‘අමිලා’ හරි දරුණු චරිතයක් ?
අමිලා කියන්නේ පුරුද්දට වැරදි කරන කෙනෙක් නෙමෙයි. දුවට අතවරයක් කරන්න එන කෙනෙකුව මරලා හිරේ යන චරිතයක්. අමිලාගේ පෙම්වතාව මරලා තමයි හිරේ යන්නේ. එතැනින් එහාට අමිලා දුවව ජීවත්කරවන්න ජිනාට වැඩ කරනවා. හැබැයි ජිනා කරන්නේ වැරදි වැඩ.
අමිලා ගැන කට්ටිය මොනවාද කියන්නේ ?
පබා නාට්‍යය තරම් ජනප්‍රියයි කියලා කියන්න බැහැ. සමහරු මේකේ තියෙන අමුගති ලක්ෂණවලට කැමැති නැති අයත් ඉන්නවා. මොකද මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න අමතක කරන්න ටෙලිනාට්‍ය බලන කාලයක් මේක කියලා මම විශ්වාස කරනවා. අපේ නාට්‍ය බලනවා නම් කෙනෙක්” ඇත්තට ම ඒ නිර්මාණයේ තියෙන ගුණය රස විඳින්නට බලන අයයි. එහෙම අයගේ බොහොම ඉහළ ප්‍රතිචාර තිබෙනවා.
මේ වගේ චරිතයක් ලැබුණේ පළමු වතාවට ද?
ඔව්. මෙවැනි චරිතයක් ලැබුණේ පළමුවතාවට.
ඔබේ දුව ‘අමිලා’ ගැන මොනවාද කියන්නේ ?
දුව ගොඩක් කැමැතියි’ මේ නාට්‍යයේ හිරෙන් පිට දර්ශන තියෙනවා. නමුත් දුව කැමැති හිරේ ඇතුළේ ඉන්න දර්ශනවලට. දුව මෙහි තේමා ගීතයටත් ගොඩක් කැමැතියි. මට ඒ ගැන සතුටුයි. තව මගේ දිව්‍යාදරී කියලා නාට්‍යයක් යනවා. ඒකට එයා එච්චර කැමැති නෑ. ආදරේ, ආදරේ, තරහා, තරහා මේ මොකක් ද? සීනිබෝල පාටයි කියලත් කියනවා. හැබැයි එයා ඊට වඩා තත්ත්පරයක් දෙන්න රස විඳිනවා.
සැබෑ ජීවිතයේ දීත් අසාධාරණයක් වුණහම අමිලා වගේම ද?
සැබෑ ජීවිතයේ මම අමිලා තරම් දරුණු නැහැ කියලා හිතනවා. ඒ තරමින් නැති වුණත් යම්තාක් දුරට තිබෙනවා. කියන්න ඕනෑ දේ මූණට කියන වෙලාවල් තියෙනවා.
රූගත කිරීම්වලදී මුහුණදුන් අභියෝග?
එක වෙලාවක මට තරින්දිට ගහන්න පනින දර්ශනයක් රූගත කළා. එතැන දී පෙර පුහුණුවීම් කිහිපයකට යන්න සිද්ධවුණා. අපි දෙන්න ම රෝහලේ දී ඉන්න දර්ශන තමයි රූගත කළේ. තරින්දි හිටපු ඇඳ කඩා ගෙන වැටුණා. අන්තිමේ ඒක ඉක්මනට හැදුවා.
පබාගේ අම්මා (රම්‍යා වනිගසේකර) සියල්ල හැරදා ගියා. මොකද පබාට හිතෙන්නේ ?
රම්‍යා අක්කා මගේම අම්මා හා සමානව ළඟින් හිටපු කෙනෙක්. විශේෂයෙන්ම පබා රූගත කිරීම් කරපු කාලවකවානුවේදී මම ගත්තු හැම තීරණයකට ම ඇය මට ලොකු රැකුලක් වුණා. ඒ කාලේ මට රම්‍යා අක්කා කියනවා එයාට ලොකු හැඟීමක් තියෙන්නේ එයාගේ දුවට කියලා. ඊට පස්සේ එහෙම ලොකු හැඟීමක් තියෙන්නේ මම ගැන කියලා. අක්කා අසනීපයෙන් හිටියා කාලයක්. රම්‍යා අක්කා මේ ආකාරයෙන් නිදහස්වීම ගැන සතුටුයි. මොකද රම්‍යා අක්කා විඳවන්නේ නැතිව මේ ගමන ගිය එක ගැන සතුටුයි. රම්‍යා අක්කා කියන්නේ හරි ධෛර්යවන්ත කාන්තාවක්. පිරිමියෙක් හා සමාන හරි ධෛර්යවන්තයි. හිතට සමීප චරිතයක් අප හැර යෑම ගැන දුකයි.
පබා කියන්නේ ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක්. පබාගේ අම්මාගේ වියෝව පබාට දරාගන්න පුළුවන් ද?
කලාතුරකින් හරි කතා කරලා කොහොම ද අක්කේ කියලා හොයන්න බැරිවීම දුකක්.
මෑත කාලයේ ඔබට කතා කළා ද?
ඔව් කතා කළා. මොකද රම්‍යා අක්කාගේ මිණිපිරී මගේ දුව යන ඉස්කෝලයටමයි යන්නේ. මගේ දුවට වඩා අවුරුදු තුනක් හතරක් විතර වැඩිමල්. මම රම්‍යා අක්කාව මුණගැහෙන්න හිටියා. නමුත් යන්න හම්බවුණේ නැහැ. අක්කා පසුගිය කාලයේ ගොඩක් අසනීප වුණා. එයාව බලන්න ගිහිල්ලා කොහොමද මම ඒකට මුහුණදෙන්නේ කියලා ප්‍රශ්නයකුත් මගේ හිතේ තිබුණා. හැබැයි අක්කාගේ අසනීප තත්ත්වය මම ගොඩක් පහුවෙලා තමයි දැනගත්තේ. හැබැයි අක්කත් එක්ක දුරකථනයෙන් කථා කළා. ඕනෑම කෙනෙක් දුක්විඳිනවාට වඩා නිදහස් වෙනඑක හොඳයි කියන තැන මම ඉන්නවා. අපි මේ දකින දේට වඩා ලොකු බාහිර ලෝකයක් තියෙනවා.
‘පබා’ දර්ශනතලයට ගියොත් ?
රම්‍යා අක්කා තමයි මට සමීපතවම හිටියේ. මොකද මම කේෂ්ත්‍රයට අලුත්. අනික මගේ සිංහල උච්චාරණ ප්‍රශ්න තිබුණා. අක්කා තමයි මට හැමදාමත් උදව්වුණේ. රම්‍යා අක්කා හින්දමයි පබා කියන චරිතය ගොඩනැඟෙන්නේ. ඒ නාට්‍ය ඇතුළේ අනෙක් චරිතවලට වඩා අක්කා එක්ක තමයි මට ගොඩක් සුහදව ඉන්න හම්බවුණේ. ඒ හැමදේම එක්ක ඇය සුවිශේෂයි.
ඒ කාලේ උපේක්ෂාට රම්‍යා වනිගසේකර ගෙන් ලැබුණ සහයෝගය ?
කිසිම පැකිලීමකින් තොරව මට වැඩියෙන්ම සහයෝගය ලැබුණේ වගේම මගේ හෘද්‍යාංගය පුදකරන්න රම්‍යා වනිගසේකර මහත්මියටමයි. සිංහල ප්‍රශ්න තිබුණ හින්දා මගේ සමහර දර්ශන ගොඩක් කාලයක් අරගෙන රූගත කරන්න සිද්ධ වුණා. ඒකට ශාන්ත අයියාත් ගොඩක් මහන්සි වුණා. රම්‍යා අක්කා නොහිටියා නම් උපේක්ෂා ස්වර්ණමාලීට පබා වෙන්න බැහැයි කියන එක කිසිම පැකිලීමකින් තොරව මම කියනවා.
මොකද එයා තමයි ඒ පරිසරයේ හිටපු ගැහැනු ළමයෙක් මට පෙන්වලා එයාව අනුගමනය කරන්න කියලා කියලා දුන්නේ. මොකද අක්කාගේ තිබුණ අත්දැකීම් මාත් සමග බෙදා ගත්තා. ඒ දවස්වල මගේ අම්මත් ලංකාවේ හිටියෙ නැහැ. අම්මා මාත් එක්ක මුල් කාලයේ ඉඳලා ආපහු ක්වේට් ගියා. එතකොට මගේම පවුලේ කවුරුවත් මාත් එක්ක හිටියේ නැහැ. එතකොට ඒ අඩුව පිරෙව්වෙත් රම්‍යා වනිගසේකර අක්කා. ඇත්තටම කිව්වොත් මගේ සැබෑ ජීවිතයෙත් රම්‍යා අක්කා අම්මා වුණා. මගේ ඒ කාලේ විශේෂ මොහොතක දී කේෂ්ත්‍රයෙන් මට ආරාධනා කරන්නෙත් රම්‍යා අක්කාට විතරමයි මම ඒ කාලේ ‘පබා’ ජනප්‍රියම කාලේ.
ඒ කාලේ ජීවිතයේ ඇතිවුණ වෙනස්කම් ?
ඒ කාලේ මගේ ජීවිතයේ ගොඩක් දේවල් ළඟ ළඟ සිද්ධ වෙනවා. දේශපාලනය” විවාහය” පක්ෂ මාරු කිරීම් වගේ දේවල් පොඩි කාලයක් ඇතුළත ලොකු සුනාමියක් ඇවිත් ගියා වගේ ප්‍රශ්න ගොඩක් වෙනවා. රම්‍යා අක්කා කියන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අම්මා කෙනෙක්.
අතීත මතකයන් යළි අවදි වෙනවානේද?
මම අක්කා එක්ක බෙදාගත්තු සුන්දර මතකයන් අදටත් මතක් වෙනවා.
මොනවද අලුත් වැඩකටයුතු?
තවම තත්ත්පරයක් දෙන්න වගේ ම දිව්‍යාදරී නාට්‍යවල රූගක කිරීම්වලට සහභාගි වෙනවා. අවුරුද්දට එක එක වැඩසටහන්වලට යන්න ලෑස්ති වෙනවා.
චිත්‍රපටවලට ආරාධනා ලැබුණ ද?
මායා 2 චිත්‍රපටය රූගත කිරීම් ආරම්භ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. පිටපත අතට ලැබුණා. නමුත් තවම රූගත කිරීම්වල දින වකවානු ලැණේ නෑ. කේස් නම්බර් 447 කියන චිත්‍රපටයේ රූගත කිරීම්වල කොටසක් අවසන් කළා. දැනට එපමණයි.
කලා ජීවිතය ගැන ආපහු හැරී බැලුවොත් ?
මීට වඩා හොඳට කළමනාකරණය කරගන්න තිබුණා නම් කියලා හිතෙනවා. ලැබුණ බොහෝ දේවල් තියෙනවා. විහින් නැති කරගත්තු දේවලුත් තියෙනවා. දෛවය විසින් ඇතිවුණ වගේම නැතිවුණ දේවල් බොහෝයි. මධ්‍යස්ථව ඒ සියල්ල හොඳින් සතුටින් භාරගන්නවා. අදත් මම මෙතැන රැඳෙනවා. තවම මගේ වාසනා ගුණය තිබෙනවා. තවම හැකියාව ඉතිරිවෙලා තිබෙනවා. දැන් තිබෙන දෙයින් උපරිම දෙයක් කරන්න උත්සාහ කරනවා.
ජීවිතය ගැන පසුතැවීම් තිබෙනවා ද?
පැහැදිලිවම සතුට දුක දෙකම තිබෙනවා. මම ගොඩක් දුක මතක් කරගන්න කෙනෙක් නෙමෙයි. ධනාත්මකව ඉන්න තරමට ජීවත්වෙන්න ලේස්යි. එතැනදී මම උපරිම සතුටුවෙන තැන් බොහෝයි.
දුව රඟපාන්න ඉල්ලුවොත් අවස්ථාවක් දෙනවා ද?
මේ වයසේ දී නැහැ. අධ්‍යාපන කටයුතුවලට තමයි මුල් තැන දෙන්නේ. ඒකට බාධාවෙන කිසිදෙයකට මම ඉඩදෙන්නේ නැහැ. හැබැයි එයා කලා කේෂ්ත්‍රය තෝරාගත්තොත් ලංකාවෙන් පටන් ගන්න කියලා මම කියන්නේ නැහැ. රටින් පිටවෙලා යමක් කරලා ලංකාවට ඇවිත් යමක් කරන්න කියලා. මම හොඳාකාරවම දැක්ක දෙයක් තමයි ජැක්ලීන්” පූජා උමාශංකර් වගේම කට්ටිය. එහෙම නැතිනම් දුෂේනි” රශී පබා ද ඒ ගොල්ලෝ ඉන්දියාවට ගිහිල්ලා ආවත් ඇති” ඒ අයගේ මාර්කට් එක හැදෙන්න. හැබැයි ඊට වඩා දක්ෂ අය ලංකාවේ හිටියා කියලා ඒ අයට මාර්කට් එකක් හැදෙන්නේ නැහැ.
හැබැයි ‘පබා’ව තවම මිනිස්සුන්ට අමතක නැහැ ?
ඒ ආදරය තවම තියෙනවා. ඒ ආදරය මුදලට පෙරළෙන්නේ නැහැ. ඇත්ත කතාව ඒකයි. මුදලට පෙරළෙන්නේ වෙන වෙන කාරණා එකතු වුණොත්. එතැනට මම මගේ දරුවාව දාන්නේ නැහැ. එයා එනවා නම් ඉහත මාර්ග තමයි එයාට හදලා දෙන්න උදව්වෙන්නේ.
‘පබා’ ජීවිතයේ මොනතරම් වෙනසක් ඇති කළා ද?
අවිවාදයෙන්ම පබා මගේ ජීවිතය කණපිට හැරෙව්වා’ රම්‍යා අක්කාගේ සිද්ධියත් එක්ක මම නාට්‍ය ටික්ක නැවත බැලුවා’ එතකොට පබා ලංකාවේ බිහිවුණු හොඳම නාට්‍ය කියලා කියන්න බැහැ’ ඒක සරල නාට්‍යයක්’ මගේ ආධුනිකකම සහ ඒ නාට්‍යයේ හිටපු නළු නිළියන්ගේ දක්ෂතාවය නිසා නාට්‍ය ජනප්‍රිය වුණා’ ඒක හින්දා ජීවිතය සම්පූර්ණයෙන්ම කණපිට හැරුණා. ඒකේ තියෙන ලොකුම සතුට වයස් බේදයකින් තොරව පබාට ආදරය කළා. හැබැයි මගේ ජීවිතයට එහෙම අත්දැකීමක් නැවත ඇතිවෙන එකක් නැහැ. ඒක හරි සුවිශේෂයි.
දිනේෂ් විතාන
.png)
.png)
.png)