විවාහයට නියමිත කාලයක් නැහැ -අනුරාධා එදිරිසිංහ




ලැබෙන ඕනම චරිතයකට උපරිම සාධාරණය ඉෂ්ට කරන්න පුළුවන් නව පරපුරේ දක්ෂ, ජනප්‍රිය රංගනශිල්පිනියක් තමයි අනුරාධා එදිරිසිංහ කියන්නෙ. මේ දිනවල ඇය වඩාත්ම ජනප්‍රිය වී සිටින්නෙ ‘අක්ෂි’ ටෙලි නාට්‍යයේ නිම්මිගේ චරිතයෙන්. ඒ ගැන වගේම ඇය⁣ගේ අලුත්ම විස්තර දැනගන්න අනුරාධා එක්ක කතාකරන්න  හිතුවා.


ක්ෂේත්‍රයේ ඉන්න කාර්යබහුල වැඩිම නිළි⁣ය ඔබ කිව්වොත් හරිද?


මම හිතන්නෙ මට වැඩිය කාර්ය බහුල අය ගොඩක් ඉන්නවා. මේ දවස්වල රූපගත කිරීම් නිසා ටිකක් කාර්ය බහුලයි, හැබැයි හැමදාම එහෙම නෑ.



නිළියක් වෙනවට පවුලේ අය කැමති වුණාද?


මුලදි තාත්තාගෙ කැමැත්තක් තිබුණෙ නෑ, පස්සෙ නම් තාත්තා අකමැති වුණේ නෑ, ගෙදර හැමෝම මං ඉන්න නිර්මාණ ගොඩක් කැමැත්තෙන් රස විඳිනවා.


සමගිවත්තෙ නිම්මි මේ දවස්වල හුඟක් ජනප්‍රියයි නේද?


නිම්මිට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ශාන් ජයරත්නගේ කුලුඳුල් අධ්‍යක්ෂණය තමයි අක්ෂි නිර්මාණය. ඔහු හරිම ලස්සනට, දක්ෂ විදිහට ඔහුගේ අධ්‍යක්ෂණ කාර්යයේ නිරත වෙනවා. එතැනදි කැමරා අධ්‍යක්ෂ අමතක කරන්නම බෑ. චානක සංජීවගේ කැමරාකරණයෙන්, ඒ වගේම අපිට ලස්සන පිටපතක් තියනවා, පිටපත් රචක ප්‍රියනාත් විදානපතිරණ තමයි පිටපත ලියන්නෙ, තව තිරයෙන් පිටුපස අපේ ලොකු කණ්ඩායමක් ඉන්නවා. ඒ අතර රංගනයෙන් ශලනි අක්කා, කලණ අයියා, මොරීන් අම්මා, පහන්දි චූටි දුව, චරිත්, සී.ජේ. යනාදී ශිල්පීන් ඉන්නවා.


මේ අය එක්ක තමා නිතරම නිම්මි චරිතය ගැවසෙන්නෙ, එතැනින් ගියාම ප්‍රවීණ රංගන ශිල්පීන්, ශිල්පිනියන් රැසක් ඉන්නවා. ධනුෂ්ක අයියා, මාලි අක්කා, චින්තක අයියා, ෆර්නි අක්කා, වසන්ත අයියා තව බොහෝ පිරිසක් ඉන්නවා. ඉතිං මෙ හැම කෙනාගෙම මහන්සිය, එකමුතුකම නිසාම තමයි අක්ෂි නිර්මාණයටත්, නිර්මාණයේ නිම්මි චරිතයටත් මේ තරම් හොඳ ප්‍රතිචාර හම්බ වෙන්නෙ.


අක්ෂි ටෙලිනාට්‍යය රංගන ජීවිතයේ තවත් කඩඉමක්ද?


ඔව් මම එහෙම විශ්වාස කරනවා. මම ගොඩක් ආසාවෙන්, ආදරෙන් කරන චරිතයක් තමයි නිම්මි කියන්නෙ. නිර්මාණය ඇතුළේ චරිතයට උපරිම සාධාරණයක් කරන්න මම උත්සහා කරනවා. ඒ වගේම මෙහෙම නිර්මාණයක් කරන්න කාලයක් තිස්සෙ ලොකු ආසාවක්, බලාපොරොත්තුවක් තිබුණා. ඉතිං ගොඩක් ආදරෙන් අපේ කන්ඩායම එක්ක නිර්මාණය කරගෙන යනවා.


සැබෑ ජීවිතයේ ඔබ මොනවගේ කෙනෙක්ද ?


මම හරිම සරල කෙනෙක්. මගෙ පාඩුවෙ අනිත් අයගෙ හිත වචනෙකින්වත් නොරිද්දා ඉන්න පුළුවන් තරම් උත්සහ කරනවා. හැම මොහොතෙම පුළුවන් තරම් හිනාවෙලා අවට ඉන්න අනිත් අයවත් සතුටින් තියලා, සතුටින් ඉන්න උත්සහ කරන කෙනෙක්. නිදහස් වෙලාවට නම් හුදකලා වෙලා සින්දුවක් අහගෙන පාඩුවේම ඉන්න කැමති කෙනෙක්.


රංගන ශිල්පිනී ශලනි තාරකා ඔබේ ජීවිතයේ සුවිශේෂී මිතුරියක් කියලා ආරංචියි?


ඇය මට මිතුරියක් කියනවට වඩා මගේම සහෝදරිය කියලා කිව්වොත් හරි. හැමදාම මට හෙවණැල්ලක් වෙලා, මට මගෙම අක්කා වගේ ඇය එදත් හිටියා, අදත් ඉන්නවා. අනිවාර්යෙන්ම හෙටත් ඉන්නවා කියලා


ආදරය ගැන මොකද හිතන්නෙ


ආදරය කියන්නෙ හරිම ලස්සන දෙයක්. ආදරේ කියන්නෙ වචනෙන් කියන්න ඕනා දෙයක් නෙවේ කියලයි මම දකින්නෙ. ආදරය කියන්නෙ දැනෙන්න ඕන දෙයක්.


මේ වෙද්දි පෙම්වතියක්ද?


ඒකට උත්තරය පස්සෙ දෙන්නම්.


ක්ෂේත්‍රයේ කෙනෙක්ගෙන් ප්‍රේම ආරාධනාවක් ආවොත් පිළිගන්නවද?


නැහැ.


පෙම්වතෙක් තෝරාගන්නව නම් ඔහුගෙන් බලාපොරොත්තුවෙන දේවල් මොනවද?


ඉවසීම, එකිනෙකා අතර අවබෝධය, විශ්වාසය, අනිත් කෙනාට එයාගෙ අදහස්වලට වටිනාකමක් ගෞරවයක් දෙන්න පුළුවන් වෙන්න ඕන.


මේ වෙද්දි තරුණ පරම්පරාවෙ ගොඩක් දෙනෙක් විවාහය කියන දේ තමන්ගෙ ජීවිතයේ ඉලක්කවලින් පස්සට දාලා තියන දෙයක්. මේ ගැන අදහස මොකක්ද?


මම නම් එහෙම දෙයක් දකින්නෙ නැහැ. ගොඩක් තරුණ අය ඉක්මනින්ම විවාහ වෙනවා තමයි මම නම් පහුගිය කාලෙම දැක්කෙ. විවාහයට නියමිත කාලයක් කියලා නම් කරන්න බැහැ. ඒක එක එක්කෙනාගෙ කැමැත්ත මත සිදුවෙන දෙයක්.


ලස්සන වෙන්න මොනවද කරන්නෙ?


විශේෂයෙන් නම් මොනවත් කරන්නෙ නැහැ.


ඉදිරියෙදි ඔබව දැකගතහැකි නිර්මාණ මොනවද?


මාර්තු 20 සිට ක්‍රිස්ටි ෂෙල්ටන්ගේ ‘කුංචනාද’ කියන ටෙලි නාට්‍යය සිරස නාළිකාවේ රාත්‍රි 7:30 ට විකාශනය ආරම්භ වෙනවා. ඒ ඇරෙන්න කෝලම් කුට්ටම සහ අක්ෂි නිර්මාණ සමග රූපගත කිරීම් සමග තමයි කාලය ගතවෙන්නෙ.


රසිකයන්ගෙන් ලැබෙන ආදරය ගැන මොකද හිතන්නෙ?


ඒක ලොකු ආශිර්වාදයක්, ඒ ආදරේ තමා නිර්මාණයක් කළාට පස්සෙ තියන එකම ශක්තිය. එයාලගෙ ප්‍රතිචාර ගොඩක් වටිනවා, ඒ ආදරේට හැමදාම මමත් ගොඩක් ආදරෙයි.





Previous Post Next Post