පුතාගේ බිරිඳ ඉසිකා මුල් කාලේ එයාට කැමැති වුණේම නැහැ - දිනේෂ් චන්දිමාල්ගේ ආදරණීය මව



ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කවුරුත් වැඩිපුරම ආදරය කරන කැමතිම ක්‍රීඩකයා ඔහුය. එපමණක් නොව ක්‍රිකට් ක්‍රීඩාවේ ටෙස්ට්, එක්දින මෙන්ම විස්සයි විස්ස යන තරග රටා තුනටම හැඩගැහුණු අත්දැකීම් බහුලම ක්‍රීඩකයාද ඔහුය. ඒ වෙන කවුරුත් නොව සුපිරි පිතිකරු දිනේෂ් චන්දිමාල්ය. ශ්‍රී ලංකා කණ්ඩායම අමාරුවේ වැටෙන්නට ගිය බොහෝ තැන්හි ඔහුගේ ඉවසිලිවන්ත පිතිහරඹය කණ්ඩායමට ජයග්‍රහණය රැගෙන ආ හැටි අදටත් අපට අමතක නැත. එහෙත් මොකක්දෝ අවාසනාවක් නිසා දිගු කාලයක්ම මෙකී ක්‍රීඩකයාට කණ්ඩායමේ සිය ස්ථානය අහිමි විය. එය කණ්ඩායමට කොතරම් බලපෑවද කිව්වොත් ඔහු නැතිදා කණ්ඩායමේ මුල් පෙළේ ශක්තියද බලා සිටියදීම ගිලිහී ගියේය. ඒ නිසාමදෝ එළැඹෙන එක්දින ලෝක කුසලානය ඉලක්ක කරගෙන මෙකී සුපිරි ක්‍රීඩකයා නැවතත් කණ්ඩායමට කැඳවා තිබේ. ඉතින් මෙවර දිනේෂ් චන්දිමාල්ගේ මව වන ඩී. ධම්මිකා ශාන්ති ද සොයිසාට කතා කළේ රටම ආදරේ කරන ක්‍රිකට් පිටියේ අහිංසකම ක්‍රීඩකයා ගැන සුන්දර කතාබහක් වෙනුවෙනි.


චන්දිමාල් ක්‍රිකට්වලට උනන්දු වුණේ කොයි කාලේ ඉඳන්ද?


මගේ මතකය හරි නම් එයා වයස අවුරුදු තුන හතරේ ඉඳන්ම ක්‍රිකට්වලට උනන්දුයි. එයාගේ තාත්තා තමයි ඒකට හේතුව. මොකද තාත්තා පාසල් යන කාලේ ක්‍රිකට් ගහලා තියෙනවා. ඉතින් ඒ පුරුද්දටම එයා චන්දිමාල් පොඩි කාලේ එයත් එක්ක පොල්පිති බැට්වලින් ක්‍රිකට් ගැහුවා. එහෙම තමයි අපේ පුතාට ක්‍රිකට් ගැන උනන්දුවක් ඇතිවුණේ.


තාත්තා නිසා ක්‍රිකට් ගැන ආසාවක් ඇතිවුණු චන්දිමාල් ක්‍රිකට්වලට එන්නේ කොහොමද?


චන්දිමාල් මුලින්ම පාසල් ගියේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට. ඒ පාසලේදි තමයි ක්‍රිකට් ගහන්න පටන් ගත්තේ. ඊට පස්සේ අශෝක කියලා සර් කෙනෙක්ගේ ක්‍රිකට් ඇකඩමියකට සම්බන්ධ වුණා. එතැනදි එයා ගොඩාක් දේවල් ඉගෙනගත්තා. ඔය අතරේ සාමාන්‍ය පෙලින් පස්සේ පුතාට කොළඹ ආනන්ද විදුහලට යන්න ලැබුණා. ඒ විදිහට තමයි එයා ක්‍රිකට් ගහන්න පටන් ගත්තේ.


එදා පුතා ක්‍රිකට් ගහනකොට එයා ඉගෙනීම් වැඩ පාඩු කරගනියි කියලා අම්මලාට බයක් හිතුණේ නැද්ද?


මං එයාට මුලදිම කියලා තිබුණේ ක්‍රිකට් වගේම ඉගෙනීම් කටයුතු ටිකත් හරියට කරගන්න කියලා. එයා අපි කියපු විදිහටම හැමදේම සමබරව කළා. ඒ නිසා ඇත්තටම බයක් හිතුණේ නෑ.


චන්දිමාල් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ඉන්නකොට ගෙදර ගෙනාපු සම්මානය අම්මට මතකද?


ඒක නම් කවදාවත් අමතක වෙන්නේ නෑ. මොකද එදා එයා ගෙදර ගෙනාවේ එසේ මෙසේ සම්මානයක් නෙවෙයි. එයා එදා ගෙනාවේ 15 න් පහළ ලංකාවේ හොඳම පන්දු රකින පාසල් ක්‍රීඩකයාට ලැබෙන සම්මානය. ඒ සතුටට මං අහල පහළ ගෙවල්වලට කිරිබත් කැවුම් පවා හදලා බෙදුවා.


ඒ සතුට 2004 අවුරුද්දේ ලංකාවට බලපෑ සුනාමිය අතුරුදන් කරාලු නේද?


ඔව්. එදා අපි හැමෝම වගේ ගෙදර හිටියා. මට බාල දරුවා ලැබෙන්න හිටියේ. චන්දිමාල් හිටියේ සාලෙට වෙලා ටීවී එකේ යන ක්‍රිකට් මැච් එකක් බලන ගමන්. ඔය අතරේ තමයි සුනාමිය ආවේ. මමයි චන්දිමාල්ගේ තාත්තයි දරුවෝ ටිකත් අරන් පුළුවන් ඈතට දිව්වා. අපි එදා බේරුණේ එහෙමයි. එදා අපිට ඉතුරු වුණේ ඒ වෙලාවේ ඇඳගෙන හිටපු රෙදි ටික විතරයි.


එදා චන්දිමාල්ට ක්‍රිකට් ජීවිතේ ගොඩාක් දේවල් නැතිවුණා නේද?


ඇත්තටම එයාට ගොඩාක් දේවල් නැතිවුණා. හැබැයි එයාට දරාගන්න බැරිවුණේ එයාගේ ක්‍රිකට් බඩු බෑග් එකයි, ලංකාවේ හොඳම පන්දු රකින පාසල් ක්‍රිකට් ක්‍රීඩකයාට ලැබුණු සම්මානයයි සුනාමියෙන් නැතිවුණු එකට. ඒත් වාසනාවකට වගේ සුනාමිය ඇවිත් දවස් කීපයකින් ක්‍රිකට් බඩු බෑග් එක සොහොන් පිට්ටනියක තිබිලා හම්බුණා. සම්මානයත් ගෙදර වත්තේම තිබිලා හම්බ වුණා.


සුනාමියෙන් පස්සේ අම්මලා ආයෙත් නැගිට්ටේ කොහොමද?

ඇත්තටම අපි සුනාමියෙන් ගොඩක් අසරණ වුණා. ඒ වෙලාවේ අපිට ගොඩාක් අය උදව් කළා. ඉන්න තැන් පවා දුන්නා. ඔය අතරේ තමයි පුතාට කොළඹ ආනන්ද විදුහලට යන්න ලැබුණේ. ඒත් මට පුතාව කොළඹ යවන්න බය හිතුණා. ඒ බය නැති කළේ ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ. උන්වහන්සේ තමයි කිව්වේ "අම්මේ හැදෙන ළමයා අම්මා තාත්තා හිටියත් හැදෙනවා, නැතත් හැදෙනවා" කියලා. ඊට පස්සේ තමයි මං චන්දිමාල්ව කොළඹ යවන්න හිත හදාගත්තේ.


එවැනි දුෂ්කරතා විඳපු චන්දිමාල් අද ජාතික කණ්ඩායම නියෝජනය කරද්දි අම්මට මොකද හිතෙන්නේ?


දිනේෂ් චන්දිමාල්ගේ අම්මා විදිහට අද පුතා ඉන්න තැන ගැන කියාගන්න බැරි සතුටක් තියෙන්නේ. හරියට හීනයක් වගේ. එයා ගොඩාක් කැපකිරීම් කළා මේ තැනට එන්න. ඉතින් මට ඒ සතුට වචන කරන්න තේරෙන්නේ නෑ. අද එයා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩා කරනවා දකිනකොට ගොඩාක් වෙලාවට මට සතුටට ඇඬෙනවා. ඇත්තම කිව්වොත් එයාට ජීවිතේ ඕන තරම් අඩුපාඩු තිබුණා. ඒත් අපි එයාට අඩුපාඩුවක් දැනෙන්න ඇරියේ නෑ.


2014 විස්සයි විස්ස ලෝක කුසලාන තරග ජයග්‍රහණය අම්මට අමතක නැතුව ඇති. මොකද දිනේෂ් චන්දිමාල් තමයි ඒ ලෝක කුසලානයේ නිත්‍ය නායකයා ලෙස මුල් තරග කිහිපයේම කටයුතු කළේ?


එදා එයා අපේ කණ්ඩායම ලෝක කුසලානය පේනමානෙටම අරන් ගියා. ඒත් අවාසනාවකට එයාට අන්තිම තරග ටික අහිමිවෙලා ගියා. එදා නම් අපිට ගොඩාක් දුක හිතුණා. ඒත් ලසිත් මාලිංගගේ නායකත්වය එක්ක ඒ ලෝක කුසලානය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළා. පුතා කණ්ඩායමේ නොහිටියත් ලසිත් මාලිංග කණ්ඩායමේ නායකයා වෙලා ලෝක කුසලානය ජයග්‍රහණය කරපු එකට පුතා ගොඩාක් සතුටු වුණා. එයා කිව්වේ එයාට අන්තිම තරගය ක්‍රීඩා කරන්න බැරිවුණත් මාලි අයියත් එක්ක අපේ කණ්ඩායම ලෝක කුසලානය දිනපු එක ගැන හරිම සතුටුයි කියලා තමයි.


අම්මට හිතෙන විදිහට පුතා වැඩිපුරම සතුටුවුණේ කවදද?


එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ එක්දින ශතකයක් ගහපු දවසේ එයා පුදුම සතුටකින් හිටියේ. ඊට පස්සේ 2014 විස්සයි විස්ස ලෝක කුසලානය දිනපු දවසේ සතුටු වුණා. හැබැයි ඒ හැම එකටම වඩා සුනාමියට ගිය එයාගේ ක්‍රිකට් බඩු බෑග් එක ආයෙත් එයාට හම්බ වුණු දවසේ එයා සතුටු වුණා.


දිනේෂ් චන්දිමාල්ගේ විවාහය ගැනත් රස කතාවක් තියෙනවලු නේද?


එයා විවාහ වුණේ පාසල් යන කාලේ යාළු වුණු ගැහැනු ළමයා එක්ක. එයා ඉසිකා ජයසේකර. ඇල්පිටියේ ගෑනු ළමයෙක්. ඉසිකා මුලදි චන්දිමාල්ට කැමති වෙලාම නෑ. ඒත් පුතා දිගටම අහලා. එයා ඒත් කැමතිවෙලා නෑ. පස්සේ පුතා එයාට කිව්වලු "ඔයා මට කැමති නොවුණොත් මං ක්‍රිකට් අතාරිනවා. කැමති වුණොත් හොඳට ලකුණු එහෙම ගහනවා" කියලා. අන්තිමේ කෙල්ල කැමතිවෙලා. ඒ කැමති වුණු දවසෙත් මට මතක විදිහට පාසල් ක්‍රිකට් තරගයක් තිබුණා. එදා එයා කිව්වත් වගේ සීයක්ද කොහෙද ගැහුවා.


චන්දිමාල්ටත් වඩා අම්මා ආදරේ ඉසිකාට නේද?


මට නම් එයා ලේලියක් නෙවෙයි, මගේම දුවෙක් වගේ. මට ඉන්නේ පුතාලම පස්දෙනෙක්. චන්දිමාල් තමයි වැඩිමලා. දුවලා නොහිටිය මට මුලින්ම දුවෙක් වුණේ ඉසිකා තමයි. එයා අපිටත් ගොඩාක් ආදරෙයි. අපි ගැන නිතරම හොයලා බලනවා. මමත් ඉතින් එයාට ගොඩාක් ආදරෙයි.


චන්දිමාල්ට කටට රහට උයන්න පුළුවන් කියන්නේ ඇත්තද?


ඒක නම් බොරු. එයාට එහෙම උයන්න බෑ. ඒත් රොටියක් පුච්චන්න පොල් සම්බෝලයක් හදන්න වගේ නම් පුළුවන්.


චන්දිමාල්ගේ ක්‍රිකට් ජීවිතේ අම්මා දකින්නම කැමති හීනයක් තියෙනවද?


ලබන වසරේ 2023 එක්දින ලෝක කුසලානය එනවනේ. මගේ ලොකුම හීනය තමයි ඒ ලෝක කුසලානයට චන්දිමාල් ක්‍රීඩා කරනවා දකින එක. මං හිතනවා එයා ඒ තරගාවලියේදි රට වෙනුවෙන් ලොකු දෙයක් කරයි කියලා.





Previous Post Next Post