දසුනි සිනෙත්මා කියන චරිතය මේ වෙද්දි කලා ලෝකයේ හුරු පුරුදු චරිතයක්. හය හතර නොතේරෙන වියේදීම ප්‍රසිද්ධ වේදිකාවට ගොඩවුණ දසුනි වේගයෙන් ස්වකීය සිහින කරා පිවිසුණු යොවුන් තාරකාවක්. මේ දිනවල ඉතාමත් ජනප්‍රිය ටෙලි නාට්‍ය කිහිපයකින්ම අපට හමුවන දසුනිගේ විස්තර ටිකක් දැන ගන්න අපි ඇයට කතා කළා.
දසුනි පුංචිම කාලෙදි නේද කලාවට පිවිසෙන්නේ?
මාව තරුවක් කිරීමේ හීනය තිබුණේ මගේ තාත්තගෙ හිතේ. මම කලාවට එනවා කියල කිසිම අදහසක් නොතිබුණ කාලයක මගේ තාත්තා තමයි මං වෙනුවෙන් දෙරණ ලිට්ල් ස්ටාර් තරගයට අයැදුම් පත්‍රයක් යොමුකරලා මාව තරගයට යොමුකළේ. එතකොට මට අවුරුදු තුනහමාරයි. දෙරණ ලිට්ල් ස්ටාර් සීසන් 4 සහ 5 සඳහා මම තරග වැදුණා. ඊට පස්සෙ දෙරණ ඩ්‍රීම්ස්ටාර් සීසන් 1 මම තරග කළා. එහි අවසන් වටයට තේරුණ දසදෙනා අතරට මාවත් තේරුණා. ඊට පස්සෙ වෙළෙඳ දැන්වීම්, පුංචි කුස්සිය, සමනල සිරස, පුංචි සත්සර කියන වැඩසටහන්වලට ආරාධනා ලැබුණා. ඒත් සමගම මගේ පළමු රංගනයට ආරාධනා ලැබුණා. ඒ වෙද්දි මට වයස අවුරුදු දහතුනයි.
තාත්තගේ සිහිනය සැබෑ කරන්න පුළුවන් වුණු එක ගැන මොකද හිතෙන්නේ?
මට වයස 13 දී රමේෂ් ඩොලමිගේ ‘සිද්ධාර්ථ ගෞතම’ ටෙලි නාට්‍යයේ රුචිරා කුමරියගේ චරිතයට දායක වුණා. ඊට පස්සේ සනත් අබේසේකර මහතාගේ ‘මහවිරු පණ්ඩු’ ටෙලි නාට්‍යයේ භූමි කුමරිය ලෙස රඟපෑවා. ඒ අතරේදි 2019 වසරේදී මගේ පියා පිළිකා රෝගය හේතුවෙන් මියගියා. තාත්තා නැති වුණත් තාත්තගේ සිහිනය සැබෑ කරමින් මම ඉදිරියටත් කලාවේ නියැළෙන්න හිතාගත්තා.
මේ දවස්වල දසුනිව පුංචි තිරයේ නිතරම දකින්න ලැබෙනවා නේද?
මේ දිනවල මම නීල පබළු, රැල්ල වෙරළට ආදරෙයි සහ දිව්‍යාදරී ටෙලි නාට්‍යවල රංගනයේ යෙදෙනවා. ඒ අතරම චිත්‍රපට දෙකකත් ප්‍රධාන චරිත රඟපෑවා. තවත් චිත්‍රපටයකට සහ ටෙලි නාට්‍යයකට ඇරයුම් ලැබී තියෙනවා.
වැඩිපුරම ප්‍රතිචාර ලැබෙන්නෙ?
මගේ අලුත්ම ටෙලි නාට්‍යය දිව්‍යාදරීට වැඩි ප්‍රතිචාරයක් මේ දිනවල ලැබෙනවා. මගේ වයසට ගැළපෙන චරිතයක් හින්දා ඒ චරිතය රසිකයන් අතර ඉතා ජනප්‍රියයි.
ඔබ පාසල් කාලෙදිමද රංගනයට දායක වෙන්නේ?
මගේ පාසල ගාල්ල ජනාධිපති බාලිකා විද්‍යාලයයි. මගේ කලා කටයුතු සඳහා පාසලෙනුත් ලොකු සහයෝගයක් මට ලැබෙනවා. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටියා. උසස් පෙළ සඳහා ඇතුළත් වීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා.
කලා කටයුතු නිසා ගාල්ල අතැහැර කොළඹ නැවතිලාද ඉන්නේ?
කොළඹ නැවතිලා තමයි රංගන කටයුතුවලට සහභාගි වෙන්නේ. කොළඹ ඉන්නවා වගේම ගාල්ලේ යන දවසුත් තියෙනවා.
නවක ශිල්පිනියක් ලෙස ක්ෂේත්‍රයේ අයගෙන් ලැබෙන සහයෝගය මොන වගේද?
ක්ෂේත්‍රයේ අයගෙන් සහයෝගය වගේම කැපිලි කෙටිලිත් එනවා. ඒ හැම බාධකයක්ම අභියෝගයක් විදිහට භාරගෙන ඉදිරියට යනවා.
ඔබ කරන වැඩ ගැන තීරණ ගන්නේ තනිවමද?
අම්මා තමයි ඒ ගැන තීරණය කරන්නේ. මට තවම වයස අවුරුදු 17යි. ටෙලි නාට්‍යයකට ඇරයුම් ලැබුණාම පිටපත බලලා මට ගැළපෙනවා නම් විතරක් භාරගන්නවා.
දසුනි අනුකරණය කරන කෙනෙක් ඉන්නවාද?
කාවවත් අනුකරණය කරන්නේ නම් නැහැ. තරින්දි අක්කා සහ කෝකිල අයියාට ගොඩක් කැමැතියි.
තරුවක් ලෙස රැඳෙමින් තාත්තගේ හීනය ජීවත්කරවන එකද ඔබගේ බලාපොරොත්තුව?
කලාකාරියක් වෙනවා වගේම මගේ අධ්‍යාපන කටයුතු අවසන් කරලා රැකියාවක් කරන්නත් බලාපොරොත්තුවක් තියෙනවා. තවම හරියටම ඒ ගැන තීරණය කරලා නම් නැහැ. නමුත් අද වනවිට වෘත්තීය මට්ටමෙන් රංගනයේ යෙදී ඉන්නවා.

.jpg)
.jpg)