කලාවට ඕපපාතිකයෙක් නොවුණු පියාගේ ජනප්‍රියත්වය භාවිත කර කලාවට නොපැමිණි ඔහු ගයාන් ගුණවර්ධන. නිවේදකයෙක්, ගායකයෙක් වගේම රංගන ශිල්පියෙක් හැටියටත් කා අතරත් ජනප්‍රිය ගයාන් මේ වෙද්දී සංගීත කණ්ඩායමක් පවත්වාගෙන යනවා. ඒ අතරතුර ඔහු පූජනි භාග්‍යා එක්ක විවාහ වෙලා කියලත් ආරංචියි. මේ හැම දෙයක් ගැන ම කතා කරන්න සතිඅන්ත කලා පුවත්පතකට ඔහුව සම්මුඛ කරගෙන තිබුණේ මෙසේයි.
ගයාන් ගායනයට විතරක් කොටු නොවි අංශ කිහිපයකින්ම දක්ෂතා දක්වන එක ගැන මාපියන් මොකද කියන්නේ ?
තාත්තා නම් කොහොමත් සතුටුයි. මොකද මේ ගමනට මම එයාගේ උදව් හෝ එයාව පාවිච්චි නොකර මේ තරම් දුරක් ආවට. තාත්තා නිතරම කිව්වේ මගේ කොපියක් නොවී ඔයා ඔයාගේ ගමන යන්න කියලා. අම්මට සංගීත දැනුම නැහැ. නමුත් සතුටු වෙනවා. මගේ එකම අක්කා දැන් ඉන්නේ විදෙස්ගත වෙලා. එයත් සතුටු වෙනවා. දැන් අම්මවයි තාත්තාවයි බලාගන්නේ මම හම්බ කරන මුදල්වලින් නිසා. අක්කා විදෙස්ගත වුණේ මම අම්මවයි තාත්තාවයි බලාගන්නම් එයාට යන්න කියලා කිව්ව නිසා. ඉතිං හැමෝම සතුටුවෙනවා මගේම පාරක මම ගමන් කරන එකට.
රංගනයට සමු දෙනවා කියන්නේ ඇත්තද..?
ඔව්. හරි විදිහට මුදල් ලැබෙන්නේ නැහැ කැප වුණාට. රංගනයට ටික කාලයක් සමු දෙනවා. 2025 වර්ෂය වනතුරු. ඒ අතරතුර සංගීත වැඩ කරනවා. ගීත කිහිපයක් එළියට දාන්නත් අදහස් කරගෙන ඉන්නවා. ඒ වගේම ආසයි චිත්‍රපටයකට පසුබිම් ගායනය කරන්න තාත්තා වගේ. තවම ආරාධනා නම් ලැබිලා නැහැ.
පූජනී භාග්‍යා එක්ක විවාහ ජීවිතයක් ගත කරනවා කියන්නේ ඇත්තද.?
ඒ කතාව තමයි හැමෝම හිතන්නේ. අපි දෙන්නා බ්‍රයිඩ්ල් ෂූට් දෙක තුනක් කරා. ඒ නිසා හැමෝම හිතනවා අපි විවාහ වෙලා කියලා. තවම අපි විවාහ වෙලා නැහැ
දෙන්නා එතකොට කවදාද විවාහ වෙන්නේ, පූජනී ලේළී කර ගන්න ගයාන්ගේ තාත්තා කැමති ද?
විවාහ වෙන්න තවම තීරණය කරලා නැහැ. තීරණය කරපු දවසට බලමු.
එතකොට දැන් එයානේ පෙම්වතිය, ඇයි ඒ ගැන කෙලින් කතා කරන්නේ නැත්තේ.?
2019 අවුරුද්දේ තමයි අපි අදුර ගන්නේ. මගේ හුස්මක් තරමට ගීතය ට්‍රෙඩිං වුණා. මගේ සංගීත ජීවිතේ සාර්ථක වෙන්න එක හේතුවක් පූජනී භාග්‍යා කියන්නේ. ශම්මි මල්ලිත් එහෙමයි. ඒ දෙන්නා මගේ වම් අතයි දකුණු අතයි කිව්වොත් හරි.
සංගීත ජීවීතේ සාර්ථක වුණා වගේ පූජනී නිසා ඔයාගේ ජීවීතේම සාර්ථක වෙයි නේ.?
ඔව් ජීවිතේම සාර්ථක වෙයි. හැමදේකටම උදව් කරන්නේ පූජනී. දුක, සැප, වැටීම්, හැමදේම ළඟම මෙච්චර කල් හිටියේ පූජනී තමයි. විවාහයට සුදුසුම කෙනා එයා කියලා හිතුණොත් දෙපාරක් නොහිතා බඳිනවා. ඒත් විවාහයට තව කල් තියෙනවා. එදාට බලමු.



