1965 වර්ෂයේදී තිරගතවූ සතුටයි කඳුළයි චිත්‍රපටය තුළින් රංගනයට පිවිසෙන නීටා ප්‍රනාන්දු මේ වන විට මෙරට සිටින ප්‍රවීනතම රංගන ශිල්පිනියක්ය. සිය රංගන කුසලතාවය පිණිස දෙස් විදෙස් සම්මාන රැසකට හිමිකම් කියන ඇය මේ වන විට සිනමා නිර්මාණ හැටකට අධික ප්‍රමාණයක් සඳහා සිය රංගන දායකත්වය සපයා ඇත. මෙවර my favourite location විශේෂාංගය වෙන්වන්නේ සම්මානනීය රංගන ශිල්පිනී නීටා ප්‍රනාන්දු මෙරටදී දුටු ලස්සනම සිනමා පසුතලය පිහිටි ප්‍රදේශය පිළිබඳ කතාබහ කිරීම පිණිසය.
මෙරට ඔබේ සිත්ගත් ලස්සනම පසුතලය පිහිටි ප්‍රදේශය ලෙස නම් කරන්නේ කුමන ස්ථානය ද?
එවැනි ස්ථාන කීපයක් ම නම් වශයෙන් සඳහන් කරන්න පුළුවන්. නමුත් ඒ අතරින් නුවරඑළිය සහ ඒ අවට පිහිටි ප්‍රදේශ කීපයක් තමයි මගේ සිත තදින්ම ඇදී ගිය ප්‍රදේශය ලෙස නම් කරන්න පුළුවන් වෙන්නෙ. මොකද ඕනෑම සිනමා නිර්මාණයක් සාර්ථක වෙන්න නම් ඒ නිර්මාණයට උචිත පසුතලයක් යොදා ගැනීම හරිම වැදගත් වෙනව. ඒ අර්ථයෙන් ගත් විට නුවරඑළිය කියන්නේ මා රංගනයෙන් දායකත්වය දුන් සිනමා නිර්මාණ අතරින් අතිශය ජනප්‍රියත්වයට පත් චිත්‍රපට කීපයක් රූගත කළ ප්‍රදේශයක් ලෙස හඳුන්වන්න පුළුවන්.
එම ගීත දෙක සහ ඒ ගීත ඇතුළත් චිත්‍රපට දෙක පිළිබඳ වැඩිදුරටත් යමක් සඳහන් කරනව නම්?
පළමුවෙන් රූගත කළ චිත්‍රපටය තමයි විජය ධර්මශ්‍රී මහතා විසින් අධ්‍යක්ෂණය කළ දුහුළු මලක් කියන චිත්‍රපටය. ප්‍රවීණ රංගන ශිල්පී රවීන්ද්‍ර රන්දෙණිය එක්ක එහි ප්‍රධාන චරිතයක් රඟපාන්න මට අවස්ථාව ලැබෙනව. “බොඳ මීදුම් කඳුරැල්ලේ” කියන අතිශය ජනප්‍රියත්වයට පත් ගීතය ඒ චිත්‍රපටයට ඇතුළත් ගීතයක්. එහි රූගත කිරීම සිද්ධ වුණේ නුවරඑළියෙ සැනසුම් තැන්න කියන නමින් හැඳින් වූ ප්‍රදේශයකයි. අනෙක් ගීතය ඇතුළත් චිත්‍රපටය නම තමයි රජගෙදර පරවියෝ. ඒ චිත්‍රපටයට තමයි වික්ටර් රත්නායක ශූරීන් ගායනා කරන නීල බිඟු කැල ගීතය ඇතුළත් වෙන්නේ. සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා එක්ක ඒ ගීතය සඳහා රංගනයෙන් දායකත්වය දැක්වූ දර්ශන පෙළක් ගීතයට උචිත ආකාරයට ලස්සනට රූගත කරන්න අවස්ථාව හිමි වුණා. මා රංගනයෙන් දායකත්වය ලබාදුන් චිත්‍රපට අතරින් නුවරඑළියේ රූගත කළ ඒ චිත්‍රපට දෙක මට විශේෂයි.
බොඳ මීදුම් කඳු රැල්ලේ… ගීතය රූගත කළ මතකය අවදි කරන්න පුළුවන්ද?
ඔව්.. මම ඉහත සඳහන් කළ සැනසුම් තැන්න කියන ප්‍රදේශයේ තමයි ඒ රූගත කිරීම සිද්ධ වෙන්නේ. දුහුළු මලක් චිත්‍රපටයේ ඒ රූප රාමු පෙළ නැරඹූ ප්‍රේක්ෂකයන් ඉන්නවනම් ඒ අයට මතක ඇති එය කොතරම් අපූරු දර්ශනයක් ද කියන එක. උදෑසන 6.00 පමණ වෙද්දි අපේ කණ්ඩායම දර්ශන තලයට යනව. ඒ ගිහින් ටික වෙලාවක් යද්දී උදෑසන හිරු එළිය වැටෙන්න ගන්නව. පුළුන් වගේ මීදුම මැදින් උදෑසන හිරු එළිය වැටෙන දර්ශනය හරිම මනස්කාන්තයි. ඒ වගේ පරිසරයක තමයි රවීන්ද්‍රයි මමයි ඒ දර්ශන පෙළ සඳහා පෙනී සිටියේ.
නීල බිඟු කැල… ගීතය ඇතුළත් රජගෙදර පරවියෝ චිත්‍රපටය පිළිබඳවත් ඔබ සඳහනක් කළා. ඒ පිළිබඳව වැඩිදුරටත් යමක් සඳහන් කරනවා නම්
සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා හා එක්ව ඒ ගීත සඳහාත් රංගනයෙන් දායකත්වය දෙන්න මට අවස්ථාව ලැබුණා. නුවරඑළිය ප්‍රදේශයේ කඳු පල්ලම් ගහන තේ වතු යායක් මැද තමයි එම රූගත කිරීම සිද්ධ වුණේ. විවෘත කාර් රථයක නැගල කඳු පල්ලම් පසුකරමින් යන දර්ශනයකුත් ඊට ඇතුළත් වෙනව. ඇත්තටම ඒ කාලේ මගේ පුංචි බයකුත් තිබුණ එවැනි දර්ශන සඳහා පෙනී ඉන්න. ඒ බව දැනගන්න ගාමිණී ෆොන්සේකා නිතර නිතර මාව බියට පත් කරමින් සතුටු වුණු අවස්ථා පවා තිබුණ.
ඔබගේ රංගන ජීවිතය තුළ මුහුණ දුන් අසීරුම රංගන භූමිකාව පිළිබඳව මෙනෙහි කරන්න පුළුවන්ද?
මා රංගනයෙන් දායකත්වය ලබාදුන් පාංශු චිත්‍රපටයේ එවැනි අසීරු රංගනයක් තිබුණා. එහි එන බබා නෝනා කියන චරිත රඟපාන්නෙ මම. ඒ රංගනය තුළ ගඟක පීනන දර්ශනයක් තිබෙනව. නමුත් ඒ වෙද්දි මට පීනන්න බැහැ. ඒ හින්ද මම ඒ චිත්‍රපටයෙන් ඉවත් වෙන්නත් තීරණය කළා. නමුත් අපේ කණ්ඩායමේ බලවත් ඉල්ලීම මත මට තවදුරටත් රඟපාන්න සිද්ධ වුණා. ඒ අනුව වසරක පමණ කාලයක් වතුරෙ පීනන්න පුරුදු වෙලා තමයි ඊට පස්සේ ඒ රූගත කිරීම සිද්ධ කළේ. ඒ මහන්සියේ ප්‍රතිඵලයක් විදිහට ප්‍රංශයේ පැවති නීස් ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේ හොඳම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වෙන්නත් මට අවස්ථාව හිමිවෙනවා.
රුවන් ජයවර්ධන

.jpg)
.jpg)
.jpg)