එහෙම බැලුවොත් නිළියෝ ගොඩක් කසාද බඳින්න වෙනවා - යෂ් වීරසිංහ

යෂ්.. මේ දවස්වල මොකද කරන්නෙ?


මේ දවස්වල අපේ රටේ පාලකයන්ගේ වැඩ නිසාම මාර අමාරුවෙන් හොඳට ජීවත් වෙන්න උත්සාහ කරනවා. මහේෂ් රත්සර මද්දුම ආරච්චි ලියපු ධනුෂ්ක රත්නායක අධ්‍යක්ෂණය කරන කියා දෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍යයේ රෑගත කිරීම් මේ දවස්වල කෙරෙනවා. ඊට අමතරව තවත් අලුත් නිර්මාණයකටත් ආරාධනා ලැබුණා. ඒකෙ රෑගත කිරීම් ලබන සතියේ පටන් ගන්නවා. මම සම්බන්ධ වුණු අලුත් ටෙලිනාට්‍ය හතරක මුල් කොටස් රෑගත කිරීම් අවසන් කරලා තියෙනවා. ඉතිරි කොටස් රෑගත කිරීම් තව ටික දවසකින් සිදුවේවි.


දිගැසිට රඟපාන සචින්තනී සහ යෂ් මේ වෙද්දි කලා ලෝකයේ ආදරණීය ප්‍රේම කතා අතරට එක්වෙලා තියෙනවා. ඇත්තටම සචින්තනී යෂ්ගෙ පෙම්වතියද?


නැහැ.. දිගැසි අනර්ඝ පෙම්වතුන් කරගෙන. ඒකට බොහෝ දෙනා හරි කැමතියි. අපිටත් කට්ටිය මුණගැහුණාම &අනේ හරියට ගැලපෙන ජෝඩුව* කියලා කියනවා. හැබැයි එහෙම ගලපලා කට්ටිය කියන විදිහට බැලුවොත් මට නිළියො ගොඩක් දෙනෙක් කසාද බඳින්න වෙනවා. නාට්‍යයේ ප්‍රචාරණ වැඩවලට අපි දෙන්නා එකතුවෙලා පොඩි පොඩි වැඩසටහන් කිහිපයක්ම කළා. ඒ හැර සචින්තනී - යෂ් කියන්නෙ හොඳ යාළුවො. සචින්තනී උගත්කම දක්ෂතා වගේම හොඳ ගතිගුණ තියෙන හොඳ යාළුවෙක්.


යෂ්.. පුංචි කාලේ වෙසක් සැමරීම හා ලබපු අත්දැකීම් ගැන ආයෙත් මතක් කළොත්?


වෙසක්, පොසොන්, නත්තල් වගේම අලුත් අවුරුද්ද කියන්නෙ හරි ආදරණීය මතකයන් තියෙන කාලයක්. වෙසක් ළං වෙද්දි කොහෙන් හරි බටපතුරු හොයාගෙන අපි සෑහෙන කාලෙක ඉඳන් සූදානම් වුණා. දන්සල් ගියා. තොරණ බලන්න ගියා. ඒවා හරි අපූරු මතකයන්.



යෂ් වෙසක් කූඩු එහෙම හදන්න දන්නවද?


ඔව්.. මම වෙසක් කූඩු හදන්න දන්නවා. ඉස්කෝලෙ වෙසක් කූඩු තරගවලට සෑහෙන්න හැදුවා. මම කුමාරතුංග මුනිදාස පාසලේදි තමයි වැඩිපුරම වෙසක් කූඩු හැදුවෙ. ඒ කාලෙ වෙසක් කූඩු තරග තිබුණා. පිට පිට අපි කූඩු තරගවලට ලස්සන වෙසක් කූඩු හැදුවා. එක දවසක් උදේ ඉඳන් හදපු වෙසක් කූඩුව හරියට හැදුණේ නැහැ. ඒ වසරේ පන්ති නායකයා වුණේ මමයි. ඒ නිසා මම ඒ වෙසක් කූඩුව අරගෙන පොළොවේ ගැහුවා. කොහොම හරි අපේ පන්තියේ හිටපු එකෙක් අන්තිම මොහොතේ පොඩි කෙසෙල් බඩයකට ගොක් කොළවලින් සැරසිලි කරලා අපූරු වෙසක් කූඩුවක් හැදුවා. ඒකට අපිට ලකුණු දෙකක් ලැබුණා.


වෙසක් එකට යෂ් සිල් අරගෙන තියෙනවද?


ඔව්.. මට මතක හැටියට දෙපාරක් විතර සිල් අරගෙන තියෙනවා. මම එක තැන ඉන්න බැරි පොඩි අමාරුවක් තියෙනවා. ඒ නිසා ඒ දවස් දෙක එක තැනකට වෙලා පුදුම අමාරුවෙන් ගත කළා. මම සිල් ගන්න ආසයි. හැබැයි එක තැන ඉන්න බැරි ගතිය නිසා ඒක මට ඔරොත්තු දෙන්නෙ නැහැ. හැබැයි දන්සල් ගිහින් ලබපු අත්දැකීම් ගොඩක් තියෙනවා. ඉස්සර බයිසිකල්වලින් දන්සල්වලට ගියා. ලොරියක් හයර් එකට අරගෙන ලොරිය පිටිපස්සේ නැගලා දන්සල්වලට ගියා. පෝලිම්වල ඉඳලා වැස්සට තෙමිලා දන්සල්වලට ගිය ඒ කාලේ හරි ෂෝක්. 


ඊළඟට තියෙන බලාපොරොත්තු මොනවද?


ඇත්තටම මේ රටේ බලාපොරොත්තුත් එක්ක තිබුණු බලාපොරොත්තු ඔක්කොම සුන්වෙලා ගියා. පාස්කු ප්‍රහාරයත්, කොවිඩ් වසංගතයත් එක්ක අවුරුදු තුනක් විතර රට ආපස්සට ගියා. මේ පවතින තත්ත්වය මේ විදිහටම තිබුණොත් ඉදිරියක් දකින්න හරි අමාරුයි. මේක ලස්සන රටක්. ඒ රට මේ රටේ පාලකයන් විනාශ කළා. 










Previous Post Next Post