ප්‍රේක්ෂක ආදරය අශිර්වාදයක්- ලහිරු පෙරේරා




ශ්‍රී ලාංකීය සංගීතයට වෙනස් ආරයේ රසයක් එක් කළ නව පරපුරේ දක්ෂ ගායකයෙකු, සංගීතවේදියෙකු,සංගීත ගුරුවරයෙකු ලෙසට ඔහුව ආඩම්බරයෙන් හඳුන්වා දිය හැක. ලහිරු පෙරේරා නම් නව පරපුරේ ආදරණීය කලාකරුවා සොයා අපි ගියේ මෙවර රහස් විශේෂාංගයට තොරතුරු සොයා ගෙනය. 



අලුත් වැඩකට අත ගහලා කියලා ආරංචියි ?


ඔව්.. ඔව්...” හුලං බනිස් " කියලා අලුත්ම සිංදුවක් රිලීස් කරා ඊයේ ..පෙරේදා ... 


ඔබේ සිංදු තරමක් වෙනස්? 


මට හැමදාම වුවමනා වුණේ අලුත් දෙයක් කරන්න.සංගීතමය රසවින්දනය ඇතුලෙ සංගීත ,රසය,හරය වැනි බොහෝ දේ ගැබ් කරල තියෙන්නේ ඒ නිසයි. 


හැම සිංදුවක් ම ජනප්‍රිය වෙන්න මොකක් හරි හේතුවක් තියෙනවද?

 මම හිතන්නේ ඒකට හේතුව තමයි මම කරන හැම සිංදුවක්ම හොඳට හොයලා බලලා කරන එක. ඊට   අමතරව කරන දේ හරියට කරනවා නම්, සමාජයේ මත ගැන අධ්‍යයනයක් කරලා තියෙනවා නම් ,හිට් වෙන සින්දු කරන එක අභියෝගයක් වෙන්නෙ නැහැ. 


වාසනාව ලැබීම ගැන විශ්වාස කරනවද ? 


ඔව් . හිස මුදුනින් වාසනාව විශ්වාස කරනවා. වාසනාව 90% කුත් දක්ෂතාවය 10% කුත් තියෙනවා නම්  ඕනෑම කෙනෙකුට තමන් කරන වෘත්තිය කින් ඉදිරියට යන්න පුළුවන්. මම හැම තිස්සේම හිතනවා මම  ගොඩක් වාසනාවන්ත කෙනෙක් කියලා .



පුංචි කාලේ කවුරු වෙන්න ද ආසාවෙන් හිටියේ ?


මගෙ සිංදුවක් අනිත් අය කියන තරම් ජනප්‍රිය වෙන ගායකයෙක් වෙන්න..... තමයි මම පුංචි කාලේ ඉඳලම හීන මැවේ . ඕලෙවල් වලට සංගීතය හදාරන කොට මට අවශ්‍ය වුණා කවදහරි මගේම සින්දු මම හදන මට්ටමට තාක්ෂණය පවා ඉගෙන ගන්න. ඒ නිසයි මම සිංගප්පූරුවට ගිහින් ශබ්ද පරිපාලනය ඉංජිනේරුවකු ලෙසට ඉගෙන ගන්නේ. පුංචි කාලෙ ඉඳන් දැකපු හීනේ තමයි අද සැබෑ වෙලා තියෙන්නේ .



ඔබ වඩාත් ජනප්‍රිය වෙන්නේ ?


 2009 වසරේදී රම්බරි සිංදුවත් එක්ක. ඊට කලින් සිංදු දෙසීයක් විතර හද හදා බලා තියෙනවා. රම්බරි  සින්දුවෙන් පස්සේ ලැබැදියේ ,මොට්ටු ,සින්දු වගේම හැම සිංදුවක්ම ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳ ගත්තා. 


ලැබුණු ප්‍රේක්ෂක ආදරය ගැන කතා කළොත් ? 


රම්බරි සින්දුවේ ඉඳලා අද වෙනකම්ම විවිධ වයස් කාණ්ඩ වලින් විවිධ අයගෙන් තිබිච්ච ප්‍රතිචාර අගය  කිරීම් කිසිම අඩුවක් වෙලා නැහැ. නමුත් මට පෞද්ගලිකව හිතෙනවා පොඩි ළමයි අතර මගේ සින්දු ඉක්මනින් ජනප්‍රිය වුණා කියලා. 


ඔබ නියැලෙන වෘත්තිය හරිම සතුටින් කරන කෙනෙක් ද? 


හරිම සතුටින් මම කැමතිම වෘත්තියේ නියැළෙන. නිසා ලැබෙන ප්‍රතිඵල හරිම සාර්ථකයි කියලා මට හිතෙනවා. වර්තමානයේ බොහෝ දෙනෙකුට රස්සාවල් එපා වෙන්න ප්‍රධානම හේතුව තමයි තමන් කැමති රස්සාව වෙනුවට මුදල් ලැබෙන නිසා රස්සාවක් කරන්න සිදුවෙන එක.


ජනප්‍රිය වෙනකොට හිතට ආඩම්බරයක් දැනෙන්න නැද්ද ?


 අදටත් මට හිතෙන්නෙ නැහැ මම ජනප්‍රිය චරිතයක් කියලා .ඒ නිසා කවදාවත් ආඩම්බර කමක් හිතට දැනිලා නැහැ.


පළමු සින්දුවෙන් ම ජනප්‍රිය වෙනකොට මොන වගේ සතුටක් ද හිතට දැනුනේ ?


හදවතට හරිම ආදරණීය සතුටක්. මුලදි බස් එකේ යනකොට සමහරු මාව අඳුනගත්තා. හිනාවෙනකොට කතා කරනකොට මියුසිකල් ෂෝ වලදී දක්වන ප්‍රතිචාර හිතට ලොකු සතුටක් දැනුනා. ප්‍රේක්ෂක ආදරය ආශිර්වාදයක් විදිහටයි මට අදටත් දැනෙන්නේ . 


ඔබ සාර්ථක කෙනෙක් කියලා ඔබ හිතනවද?


ඔව් මම හිතනවා ..මම සාර්ථකයි කියලා. සාර්ථකත්වය මනින්න මිම්මක් නැහැ. මම නම් හිතන්නේ කෙනෙක් සතුටින් සැනසීමෙන් ඉන්නව නං ඒක තමයි ලොකුම සාර්ථකත්වය කියලා. එහෙම නැතුව උපයන සල්ලි ප්‍රමාණයවත්, තියෙන දේපල ප්‍රමාණයවත් මත කෙනෙක්ගෙ සාර්ථකත්වය මනින්න බැහැ. 


බොහෝ දක්ෂයින් ගායන ක්ෂේත්‍රයට එන විට ඔබට මොකක්ද දැනෙන්නේ ? 


අවංකවම සතුටුයි. වැඩක් හරියට කරන්න පුළුවන්, ආත්ම විශ්වාසයෙන් වැඩ කරන අය සංගීත ක්ෂේත්‍රයට එන එක ගැන ගොඩක් සතුටුයි. මම කවදාවත් හිතලා නැහැ.... මම විතරක් සින්දු කියන්න ඕනෙ. මම විතරක් හම්බ කරන්න ඕනෙ ... මට විතරක් මියුසිකල් ෂෝ ලැබෙන්න ඕන කියලා. ඒ සිතුවිලි නිසා කවුරු ආවත් හිතට ඊර්ෂ්‍යාවක් හෝ කුහක කමක් හිතට දැනිලා නැහැ.


ආදරය කියන දේ හිතට දැනෙන්නේ කොහොමද? 


ආදරේ කියන උත්තේජනයක්. හැඟීමක්. කොටින්ම කිව්වොත් ලෝකය රඳා පවතින්නේ ආදරේ නිසා කියලයි මට නම් හිතෙන්නේ 


තාත්තා කැමැත්තෙන් හිටියද ඔබ සංගීත ක්ෂේත්‍රයෙන් ඉදිරියට යනවාට? 


ඔව් . සෞන්දර්ය විෂයට මම චිත්‍ර තෝරා ගන්න යනකොට තාත්තා තමයි කිව්වේ මට මියුසික් තෝරගන්න  කියලා. තාත්තටත් හරිම ලස්සනට සින්දු කියන්න පුළුවන්. තාත්තා වෘත්තීය න් ව්‍යාපාරිකයෙක් .අපිට විශාල බේකරියක් තියෙනවා .මියුසික් කරගන්න බැරි උනොතින් බේකරිය හරි කරයි කියලා තාත්තා එදා හිතුවා. කොහොම වුණත් පසුගිය අවුරුදු දෙකේ කොවිඩ් නිසා අපි ජීවත් වුණේ බේකරියෙන් තමයි .. 


විලාසිතා කරන්න කැමතිද?


ගොඩක් කැමතියි . ලෝකයේ සංගීත ක්ෂේත්‍රයේ ජනප්‍රිය වුණු බොහෝ චරිත ගත්තහම ඒ ඔවුන් ගොඩනගා ගන්න අනන්‍යතාවය ඇතුලේ ගායන හැකියාව වගේම ඔවුනටම ආවේණික වුණු විලාසිතාත් තියෙනවා. ඒ නිසාම ලහිරු පෙරේරා කියන ඉබ්‍රා එක ඇතුලේ පමිසර සියයට 50 කුත් විලාසිතා සිට 60කුත් තියෙන විදිහටයි මම අනන්‍යතාවය ගොඩනඟා ගෙන තියෙන්නෙ.


ඔබේ විලාසිතා බොහෝදෙනෙක් අනුකරණය කරන බව හැඟෙනවාද ? 


වයස් භේදයක් නැතුව මාගේ විලාසිතා අනුකරණය කරන බව දැන ගන්න ලැබිලා තියෙනවා. කොණ්ඩ මෝස්තර, සපත්තු, කලිසම්, කෝවිතරක් නෙවෙයි යොදා ගන්න පාට පවා ඒ හැමදේම මිනිස්සු ආදරයෙන් වැළඳගෙන තියෙනවා . 


නිරෝගිකම ආරක්ෂා කරගැනීමට මොනවද කරන්නේ ? 


නිරෝගී කම අංක එක. ඒ නිසා ඒ වෙනුවෙන් ගොඩක් මහන්සි වෙනවා. මේ දිනවල නම් උදේ හවස ජිම් යනවා ව්‍යායාම කරන්න. ඩයට් ලෑන් එකට අනුවයි කන්නේ බොන්නේ. 


විනෝදාංශ විදියට මොනවද කරන්නේ?


සිංදු හදන එකයි ....ඇඟ හදාගන්න ව්‍යායාම කරන එකයි තමයි මගේ ලොකුම විනෝදාංශය . 


ජීවිතේ වඩාත් සතුටු වුණු දවස ? 


මගේ ලොකු පුතා හරිම ලස්සනට සින්දුවක් කියනවා අහපු පළමුවැනි දවසේ මට පුදුමාකාර සතුටක් හිතට දැනුනා. ලොකු පුතාට වයස අවුරුදු අටයි .ඔහු මේ වන විටත් කලාවේ විශේෂ විවිධ හැකියාවන් පෙන්වනවා. දරුවෙකුගේ දක්ෂතා දැක්කහම පියෙකු විදිහට හදවතට දැනෙන්නේ කියන්න බැරි අප්‍රමාණ 

සතුටක් .


පුතාලා තුන් දෙනත් කලාවට සම්බන්ධ වෙනවට කැමති ද?


අනාගතයේ දී පුතාලා මොන රස්සාවක නිරත වෙනවද කියන එක එයාලා තෝරා ගනී .නමුත් තාත්තා කෙනෙක් විදිහට මගේ එකම ප්‍රාර්ථනාව කෙනෙකු රිද්දන්නේ නැතුව සතුටින් ජීවත් වෙන්න පුළුවන් මිනිස්සු තුන් දෙනෙක් වෙනවා නම් මට එරී ඇති . 



ජනප්‍රිය චරිතයක් වෙන කොට ...,තාරුණ්‍යයේ වැඩි ආකර්ශනයක් ලැබෙන කොට බිරිඳගෙන් තහංචි සීමා මායිම් වැටිලා නැද්ද?


 නැහැ. මට මං වෙලා වෘත්තිය කරන්න දීලා තියෙන එක මගේ බිරිඳගෙන් මා දකින උතුම්ම ගුණයක්. මගේ ප්‍රථම ප්‍රේමය ඇය. ඇය මට ආදරේ කරන්නෙ මම ක්ෂේත්‍රයට එන්නත් කලින්. ඒ සැබෑ ආදරේ ඇතුළෙ කවදාවත් ඇය ට මගේ ජනප්‍රියත්වය ගැටලුවක් වුණේ නැහැ. ඇය එයට බොහොම කැමතියි. ඒ අත්දැකීම සතුටින් විඳිනවා. මම යම් තැනක සිටිනවා නම් එහි ගෞරවය ඇයට අනිවාර් යෙන්ම හිමිවිය යුතුයි . 



ජීවිතයේ වඩාත් සංවේදී වුණු දවස? 


මගේ අනාගතය එදා දැකලා ,හිතට මහා ශක්තියක් ගොඩනගා ගන්න විදිහට මග පෙන්වපු ජීවිතේ හමුවුනු වටිනා කෙනෙක් තමයි අනාවැකි ඉදිරිපත් කරන්නෙකු වන සෙනෙවිරත්න නාරායන මහතා .එතුමාගේ වියෝව හදවතට වඩාත් සංවේදී කරුණක් වුණා . 


ජීවිතය ගැන මොකද හිතෙන්නේ?

ජීවිතය කියන්නේ හරිම අවිනිශ්චිත දෙයක් නිසා ජීවිතයේ හරි මාවත හොයාගෙන යන්න පරක්කු වෙන්න හොඳ නෑ කියලා තමයි මට නම් හිතෙන්නේ. 


අසුන්තා එදිරිසූරිය






Previous Post Next Post