හිතපු තරම් ලේසි නැහැ වැඩේ - චතුෂි රත්නායක



2021 – ස්වර්ණ කුමරිය’ ලෙසට අභිෂේක ලැබූ ඇය ‘මල් පිපෙන කාලේ’ ටෙලිනාට්‍යයේ ‘මේකලා’ චරිතයට පණ පොවමින් රංගනයට ද යොමුවෙලා. ඉතින් ඇය මේ ගත්ත උත්සාහයේ ප්‍රතිඵලයත් එක්ක ඇයගේ ඉදිරි රංගන චාරිකාව ගැන චතුෂි රත්නාය  මෙලස  පුවත්පතක් සමඟින් පවසා තිබුනා. 


චතුෂි දැන් ජනප්‍රිය රංගන ශිල්පිනියක්වෙලා නේද?

තවම නම් එහෙම නැහැ…


ඉතින් කියමුකෝ බලන්න ඔබට ‘මල් ගොමුවේ’ හැඩ වෙන්න ලැබුණු විදිය ගැන?

ලකී රංගොල්ල අයියා හරහා තමයි මට ‘මල් පිපෙන කාලේ’ ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙන්න ලැබුණේ. ලකී අයියා කිවුවා මෙහෙම වැඩක් කරනවා රඟපාන්න කැමැතිද කියලා. ඉතින් ඔය විදියට තමයි ‘මේකලා’ චරිතය මට කරන්න ලැබුණේ.


මොනවද හිතුණේ මෙහෙම ටෙලියක රඟපාන්න ලැබුණම?

ගොඩාක් සතුටුයි මේ ලැබෙන ප්‍රතිචාරත් එක්ක.


‘මේකලා’ චරිතය වෙනුවෙන් ඔබට අමුතුවෙන් එකතු කරලා කරන්න දෙයක් නැහැ නේද?

‘මේකලා’ චරිතය වගේම තමයි මම ඉන්න විදිහත්. ඒ නිසාම ගොඩාක් පහසුවෙන් නැචුරල් විදියටම මම රඟපානවා. ‘මේකලා’ කියන්නේ තමන්ගේ යහළුවා තේරුම් අරගෙන ඔහුට උදවු කරන චරිතයක්.


සාමාන්‍ය ජීවිතයේදීත් චතුෂි ඒ වගේමද?

ඇත්තටම මමත් එහෙම තමයි. මම කාගෙවත් හිත රිද්දන්න කැමැති කෙනෙක් නෙවෙයි. මමත් ගොඩාක් මගේ යහළුවන්ට උදවු කරන කෙනෙක්.


හිතන තරම් පහසුද රඟපෑම ඔබට..?

මම ටෙලිනාට්‍ය, චිත්‍රපට ආශාවෙන් නරඹන කෙනෙක්. මම හිතුවෙත් රඟපාන එක ඒ තරම් අමාරු නැතුව ඇති කියලා. චරිතයක් රඟපානවා කියන්නේ මොන තරම් අමාරුද කියලා මට දැන් තමයි තේරුණේ මමත් ඒ දේවල් අත්විඳපු නිසා.


ඔබ ‘ස්වර්ණ කුමරිය’ ලෙසට අභිෂේක ලබලත් ඇයි රඟපෑමට එන්න ප්‍රමාද වුණේ?

‘2021-ස්වර්ණ කුමරිය’ ලෙසට මම අභිෂේක ලැබුවායින් පස්සේ තමයි මාව ගොඩදෙනෙක් දැනහඳුන ගත්තේ. ටෙලිනාට්‍යයවලින් මට ආරාධනා ආවා. ඒත් මම ඒ කාලවකවානුවේ ජාත්‍යන්තර පෙරපාසල් ගුරු පුහුණුව පාඨමාලාව හදාරමින් සිටිය නිසා මට සම්බන්ධ වෙන්න බැරි වුණා. ලැබුණු විවේක කාලයත් එක්ක තමයි මට ‘මල් පිපෙන කාලේ’ ටෙලිනාට්‍යයේ ආරාධනා ලැබුණේ. ඒ නිසා මට සම්බන්ධ වෙන්න පුළුවන් වුණා.


‘ස්වර්ණවාහිනි’යෙන් තමයි ඔබව රටක්ම දැනහඳුන ගත්තේ. රූපවාහිනී නාලිකාවෙන් ප්‍රශ්න නැද්ද?

එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. මගේ මහගෙදරට වගේ තමයි ‘ස්වර්ණවාහිනිය’ට සලකන්නේ. ඉතින් ‘දෙරණ’ රූපවාහිනි නාලිකාවත් ගොඩාක් ජනප්‍රිය නාලිකාවක්. ඒ නාලිකාවේ ටෙලිනාට්‍යයකට සම්බන්ධ වෙන්න ලැබීමත් සතුටුයි.


වසන්ත විතාරණගේ





Previous Post Next Post