චරිතාංග රංගන ශිල්පිනියක් විදියට ක්‍ෂේත්‍රයේ රැඳෙන්න කැමති


පාසල් කාලයේ පටන් ඇයගේ එකම සිහිනය වුණේ රංගන ශිල්පිනියක් වීමට. ඒ සිහින බලාපොරොත්තු එක්කම ඇය දැන් වේදිකාවේ දක්ෂ රංගන ශිල්පිනියක්. දක්ෂ රංගන ශිල්පිනයක්ම විතරක් නොවෙයි දැන් සම්මානනීය රංගන ශිල්පිනියක්. ඒ වගේම ඇය ජනප්‍රිය ටෙලිනාට්‍ය රැසකගේද තිරපිටපත් රචිකාවියක්. ඉතින් මේ අපි ඔබට කියන්නේ ඒ සම්මානනීය රංගන ශිල්පිනිය තනුජාවි විජේවික්‍රමගේ කතාවයි…


තනුජාවි ඔබටත් සම්මානයක් හිමිවුණා නේද?

ඔව් අයියේ… පසුගියදා පැවැති 42 වැනි යෞවන සම්මාන රාත්‍රියේදී හොඳම සහාය නිළිය සම්මානය මට හිමිවුණා. ඒ හිමිවන්නේ ආශා හංසිකාගේ ‘පුනරාගමනය’ දිගු වේදිකා නාට්‍යයේ මගේ රංගනය වෙනුවෙන් තමයි ඒ සම්මානය හිමිවුණේ.


ඔබට මෙයට පෙරත් සම්මාන හිමිවෙලා තියෙනවද?

උතුරු මැද පළාත් කලා උළෙලේ හොඳම නිළිය ලෙසට මට සම්මාන නවයක් විතර හිමිවුණා. එයට අමතරව සමස්ත ලංකාවලින් පවා මම විවිධ අංශවලින් ජයග්‍රහණ ලබාගෙන තිබෙනවා.


ඉතින් ඔබගේ මේ දවස්වල කලා කටයුතු කොහොමද?

ඉෂාන් කුලතිලක අධ්‍යක්‍ෂණය කරන ‘ලේඩිස් ඔන්ලි’ ටෙලිනාට්‍ය මම ‘මධු’ ලෙසට රඟපානවා. ඒ නිර්මාණය ගැහැනු ළමයි පස්දෙනෙක් හරහා තමයි කතාව සිදුවන්නේ. එයට අමතරව ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්‍ෂණය කරන ‘නන්නත්තාර’ ටෙලිනාට්‍යයෙත් රූගත කිරීම් සඳහා යොමුවෙලා ඉන්නවා. ඒ නිර්මාණ දෙකත් එක්ක තමයි මගේ කාලය ගෙවෙන්නේ මේ දවස්වල.


තනුජාවිගේ ඉදිරි අරමුණ කොයි වගේද?

චරිතාංග රංගන ශිල්පිනියක් ලෙසට මේ ක්‍ෂේත්‍රයේ රැඳෙන්න තමයි. ඒ වගේම හොඳම නිළිය ලෙසට සම්මානයක් ගන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා ඉදිරියේදී.


ඔබේ පළමු රංගනය ගැන කතා කළොත්?

මම වේදිකාවෙන් තමයි ටෙලිනාට්‍ය රංගනයට සම්බන්ධ වුණේ. මිඳු සමීර හසුන් අධ්‍යක්‍ෂණය කළ ‘මීදුම් අම්මා’ ටෙලිනාට්‍යයේ ‘මැණිකා’ ලෙසට තමයි මාව ගොඩදෙනෙක් දැනහඳුන ගත්තේ. ඉන්පසු කෝපි කඬේ, ගිරිදේවි, ගමනේ යා නිර්මාණවල සුවිශේෂී චරිත නිරූපණය කළා.


ගිරිදේවි ටෙලිනාට්‍යයේ ඔබේ රංගනයේ වෙනසක් අපි දැක්කා?

ඒ වෙනස හැමෝටම දැනෙන්න ඇති කියලා මටත් හිතුණා. ‘වත්සලා’ නපුරු කෙනෙක් විදියට තමයි ගොඩදෙනෙක් දැක්කේ. ඉතින් ඒ විදියටම මමත් ‘වත්සලා’ වගේ නපුරු ඇති කියලා ප්‍රේක්‍ෂකයන් හිතුවා. මොකද මම නපුරු චරිතයක් කරපු පළමු අවස්ථාව නිසා ප්‍රේක්‍ෂකයන්ට ඒ චරිතය හොඳට මතකයි.


තනුජාවි චිත්‍රපට සඳහා යොමුවුණේ නැද්ද?

‘උදුම්බරා’ චිත්‍රපටයට සම්බන්ධ වුණා. මම ඒ චිත්‍රපටයේ ජැක්සන් ඇන්තනි සර් සමග තමයි රඟපෑවේ. ඊට පස්සේ චිත්‍රපට සඳහා සම්බන්ධ වෙන්න බැරි වුණා.


ඔබ දක්‍ෂ රංගන ශිල්පිනියක් වගේම දක්‍ෂ ටෙලි පිටපත් රචිකාවියක් ලෙසට කටයුතු කරනවා නේද?

ගුවන්විදුලි නාට්‍යයක් ලෙසට මම ‘කෙම්මුර අඩවිය’ රචනා කරගෙන යනවා. ‘දෙරණ’ රූපවාහිනියේ විකාශ වුණු ‘රාවණ’ ටෙලිනාට්‍යය රචනා කළේත් මමයි. මේ දවස්වල තවත් ටෙලිනාට්‍ය කිහිපයක් රචනා කරමින් තමයි ඉන්නේ.


‘රවණා’ වගේ නිර්මාණයක් රචනා කිරීම හිතන තරම් පහසු නැහැ නේද?

ශානිකා නංගි තමයි මාව ලක්සිරි සර්ට චරිත් කොතලාවල සර්ට හඳුන්වලා දුන්නේ. තුෂාර තෙන්නකෝන් අයියා තමයි ‘රාවණ’ ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂණය කළේ. ඉතින් ඔහු අවුරුදු විස්සක් විතර මේ ‘රාවණ’ ගැන විස්තර හොයලා තියෙනවා. ඉතින් ඔහුගේ සහාය ඇතිව කතාබහ කරමින් නිර්මාණය රචනා කළා.


හැදෑරීමක් ඇතිවද ඔබ මේ ගමනට මුලපුරන්නේ?

ජයන්ත චන්ද්‍රසිරි සර් යටතේ රංගනය පිළිබඳ හැදෑරීමක් කළා. ඩිල් ෆිල්ම් රංග පාසලේ ඔහුගෙන් ලොකු දැනුමක් මට ලැබුණා. රචනාව පැත්තෙන්නම් මම හැදෑරීමක් කරලා නැහැ.


-වසන්ත විතාරණගේ







සුජාතා අත්තනායකව කොපි කරනවද? 


මේ දවස්වල නිතර දෙවේලේ අපිට අසන්නට ලැබෙන සින්දුවක් තමයි ‘ක්‍ෂිතිජයේ’ ගීතය. ඒ පසුගිය දවස්වල ‘මල් පිපෙන කාලේ’ ටෙලිනාට්‍ය තුළින්. එලෙස සුන්දරව හඬ මුසු කරන ඒ ගීත කෝකිලාව කවුද කියල ඔබ සිතනවා ඇති. ඒ සිතිවිල්ලට පිළිතුරක් ලෙස ‘මව්රට’ ජාතික පුවත්පතේ ‘හාට්’ අපි ඇය ගැන කියන්න හිතුවා. ඇය නිර්මාණී ශාලිත්‍යා. ඇයගේ හඬ අකුරු කළේ මේ විදියට…


ඔබේ හඬට ගොඩදෙනෙක් මේ දවස්වවල වශීවෙලා. මුලින්ම කියන්නකෝ ඔයාගේ විස්තර ටිකක්?

මගේ නම නිර්මාණී ශාලිත්‍යා. මගේ ගම් පළාත කෑගල්ල ප්‍රදේශයේ දිවෙල ගමේ. මගේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, නංගියි.


‘ක්‍ෂිතිජයේ’ ගීතය මේ තරම් ජනප්‍රිය වීමට හේතුව මොකද්ද?

‘මල් පිපෙන කාලේ’ ටෙලිනාට්‍ය තුළින් තමයි මෙය ජනප්‍රිය වුණේ. ගිහාන් චාමික පද රචනයෙන්ද, චතුරංග ද සිල්වා තනු නිර්මාණයෙන්ද සම්බන්ධ වුණා. ‘ක්‍ෂිතිජයේ’ ගීතයට දැන් හොඳ ප්‍රතිචාර තියෙනවා. ‘මල් පිපෙන කාලේ’ ටෙලිනාට්‍යයේ ‘පිනි මුතුගේ’ හඬට තමයි මම හඬ මුසුකරන්නේ.


‘දෙරණ’ ඩ්‍රීම් ස්ටාර් හරහාද ඔබට මේ වාසනාව උදා වුණේ?

‘දෙරණ ඩ්‍රීම් ස්ටාර්’ සීසන් 10 වටයේ අවසන් විසිදෙනා අතරට මාව තේරුණා. පසුකාලීනව මට ලැබුණු කෙටි පණිවුඩ ප්‍රමාණයත් එක්ක මට තරගයෙන් ඉවත් වෙන්න සිදුවුණා. ඉතාමත් දක්‍ෂ පිරිසක් එක්ක තමයි මමත් තරග කළේ. පස්සේ තමයි ‘දෙරණ’ රූපවාහිනියේ අධ්‍යක්‍ෂ ලක්සිරි වික්‍රමගේ සර් මට කතා කරලා මේ ‘මල් පිපෙන කාලේ’ ටෙලිනාට්‍යයේ ගීත කිහිපයක් ගායනා කිරීමට අවස්ථාව ලබා දුන්නේ.


මොකද හිතුණෙ එහෙම අවස්ථාවක් ලැබුණාම?

ඇත්තටම එදා මට හිතාගන්න බැරි සතුටක්. තරගයෙන් ඉවත්වෙලා වැඩි කාලයක් යන්නත් කලින් ටෙලිනාට්‍යයක පසුබිම් ගායනයට සම්බන්ධ වෙන්න ලැබුණා. ඒකට ‘දෙරණ’ රූපවාහිනියේ සියලුම දෙනාට මම ස්තුතිය පුද කරනවා මට මේ අවස්ථාව ලබාදුන්නු එකට.


‘දෙරණ ඩ්‍රීම් ස්ටාර්’ තරගයේදී ඔබ විවිධ භාෂාවෙන් ගීත ගායනා කළා නේද?

ඔව්… මට උවමනා කළේ මගේ දක්‍ෂතාවයෙන් උපරිම ප්‍රයෝජන අරගෙන දෙයක් කරන්න. ඒ නිසා මම පොඩි කාලේ ඉඳලා අහපු විදේශීය ගීත පවා ඒ අවස්ථාවේදී ගායනා කළා.


තවත් සමහරු කියනවා ඔබ ප්‍රවීණ ගායන ශිල්පිනී සුජාතා අත්තනායක මහත්මිය අනුකරණය කළා කියලා. ඇත්තද මේ කතාව?

මම වැඩිපුරම ගායනා කළේ එතුමියගේ ගීත තමයි. මම එතුමියගේ හඬට ගොඩාක් කැමැති නිසා. හැබැයි මම එතුමියව අනුකරණය කළේ නැහැ.


ඔබටත් ඉදිරියේදී රඟපාන්න ආරාධනාවක් ලැබුණොත්?

එහෙම අවස්ථාවක් ලැබුණොත් සලකා බලනවා. නමුත් මම ගොඩාක්ම කැමැති ගායිකාවක් ලෙසට මගේ නාමය ඉදිරියට සුන්දර ලෙස රැකගෙන යන්න තමයි.


ප්‍රසංග වේදිකාවෙත් ගායනා කිරීමට ඔබ සූදානම්ද?

මම ‘දෙරණ ඩ්‍රීම් ස්ටාර්’ තරගයට සම්බන්ධ වෙන්නත් කලින් ඉඳලා ප්‍රසංග වේදිකාවේ ගීත ගායනා කළා. රටේ දැන් තිබෙන ප්‍රශ්නත් එක්ක රට සුබවාදී අතකට ආවට පස්සේ මම ප්‍රසංග වේදිකාවට නැවැත සම්බන්ධ වීමට අදහසින් තමයි ඉන්නේ.


ඔබේ ආදරණීය පෙම්වතාගෙන් ලැබෙන සහාය කොයි වගේද?

මගේ පවුලේ අයගෙන්ම ලැබුණු නිදහස වගේම ඔහුගෙනුත් මට ලොකු සහායක් ලැබෙනවා මගේ වැඩකටයුතු කරගෙන යෑමට.


-වසන්ත විතාරණගේ






Previous Post Next Post