'මුතු කිරිල්ලී' ටෙලිවෘතාන්තය අදත් මනසෙහි සිතුවමක් ලෙස ඇඳී තිබෙන්නේ පුදුමාකාරවයි. එසේ කාලයකදී ප්‍රේක්ෂකයන් වසඟ කරගත් මුතු කිරිල්ලී මෑතකදී පුංචි තිරය තුළින් සමීපවනේ මේනක රාජපක්ෂ අධ්‍යක්ෂණය කළ ‘ගුග්ලි ටෙලි නිර්මාණය තුළිනුයි. ඉතිං නෙහාරා පීරිස් එම නිර්මාය ගැන වගේම පුද්ගලික ජිවිතයේ තොරතුරු ගැන මේ විදියට පුවත්පතක් සමඟින් පවසා තිබුනා.
කොහොමද මේ දවස්වල ජීවිතේ?
ගොඩක් සතුටින්. ඒ වගේම කාර්යබහුලව කාලය ගත කරනවා.
කලා කටයුතුවල විස්තර කිව්වොත්?
හිරු නාළිකාවේ උදෑසන වැඩසටහනේ සතියට දින 02ක් නිවේදන කාර්යයේ යෙදී සිටිනවා. මේනක රාජපක්ෂ අධ්‍යක්ෂණය කරන දෙවැනි ටෙලි නාට්‍ය වන 'ගුග්ලි" හි රංගනයෙන් දායක වෙනවා. එය දෙසැම්බර් මාසයේ විකාශය වීමට නියමිතයි. ඊට අමතරව මගේ ඩාන්සින් ස්ටඩියො එකෙහි පන්ති පැවැත්වෙනවා. ඒවායේ වැඩකටයුතු හා දරුවාගේ වැඩකටයුතු සමඟ කාලය ගත කරනවා.
චූටි දුවගේ උපන්දිනය නුදුරේදී සැමරුවා නේද?
ඔව්. වසංගත තත්ත්වය නිසා පුංචියට උපන්දිනය සැමරුවා. පවුලේ නෑදෑයන් පිරිස හා කලා ශිල්පීන් සුළු පිරිසක් සමඟ පුංචියට ලස්සනට දුවගේ උපන්දිනය සැමරුවා.
ප්‍රසූතියෙන් පසු ඔබ ඉක්මනින් ශරීර ස්වභාවය යථා තත්ත්වයට පත්කර ගත්තා. ස්ථුල බව මට්ටු කළේ කොහොමද?
එය මේ දිනවල බොහෝව්දෙනෙක් විමසන, මං ආසාවෙන් පිළිතුරු දෙන පැනයක්. එයට දියහැකි සරලම හා කෙටිම පිළිතුර හිතුවොත් ඕනෑම දෙයක් කළ හැකියි කියායි. සති 06ක් ගතවනතෙක් ව්‍යායාම් කිරීමට වෛද්‍යවරුන් නිර්දේශ කළේ නැහැ. සති 6 ඉක්මවීමත් සමග මෙම ව්‍යායාම කිරීම ආරම්භ කළා. ගර්භණී සමයේදී මගේ බර කිලෝග්‍රෑම් 30කින් වැඩිවුණා. මාස 04ක් තුළ මගේ පුහුණුකරු අරමුණු කරගත් බර ප්‍රමාණය කිලෝග්‍රෑම් 55යි. නමුත් එකී කාලය තුළ මගේ බර කිලෝග්‍රෑම් 52 දක්වා අඩු කර ගැනීමට මට හැකිවුණා. මේ වනවිට මගේ බර 49යි. දැන් නම් ටිකක් කන්න පුළුවන් වාතාවරණයක් ගොඩනැඟිලා තිබෙනවා.
ගුග්ගි ටෙලිනාට්‍යයේ ඔබගේ භූමිකාව කෙබඳුද?
එය ලස්සන කතාවක්. මම මෙහි නිරූපණය කරන්නේ විවාහ එක් දරු මවකගේ චරිතයක්. එය පවුලේ හැමෝටම එකට සිට නැරඹිය හැකි නිර්මාණයක්.
කාලයකදී කලාවෙන් අටෑක්වීම තුළ ජනප්‍රියත්වය අඩුවුණේ නැද්ද?
මට ඇත්තටම එහෙම සිතෙන්නේ නැහැ. පාරතොටේ මිනිස්සු තවම මාව අඳුරනවා වගේම එයාලගේ ආදරය මට තවමත් එලෙසින්ම ලැබෙනවා. බොහෝදෙනෙක් කලාවෙන් අදෑත් වූ විට ඔවුන්ගේ ජනප්‍රියත්වය අඩුවෙනවා. නමුත් මමත් මේනකත් ගොඩක් වාසනාවන්තයි. තවම අප වටා විශාල ප්‍රේක්ෂක පිරිසක් සිටිනවා.
ඩාන්සින් ස්ටුඩියෝ එකක් ආරම්භ කරන්න සිතුවේ ඇයි?
ලංකාවේ දක්ෂ නර්තන පුහුණුකරුවන් බොහොමයක් සිටියත්, ඔවුන් සතු දැනුම නව පරම්පරාවට බෙදාදීමට සුදුසු ස්ථානයක් නොමැතිවීම ලොකු අඩුපාඩුවක් ලෙස මම දුටුවා. ඒ නිසා මගේ නමින් ඔවුන්ට පුහුණුවීම් කරන්න හා පන්ති, වැඩමුළු පැවැත්වීමට ස්ථානයක් මම ගොඩනැඟුවා. එය සියලු සැප පහසුකම්වලින් සම්පූර්ණයි. මම කිසිදු පන්තියක් වෙනුවෙන් පුහුණුවීම් නොකළත් දරුවන් මගෙ ස්ථානයේ අධ්‍යාපනය ලබනවිට මට නිහතමානි ආඩම්බරයක් වගේම සතුටක් දැනෙනවා.
කලාකරුවන්ට සමාජ මාධ්‍ය ඔස්සේ මඩ ප්‍රහාර එල්ල කිරීම දැන් ප්‍රවණතාවක් බවට පත්වෙලා. ඔබ එකී තත්වය දකින්නේ කොහොමද?
මඩ ප්‍රහාරවලට කොච්චර පුරුදුවෙලාද කියනවා නම් දැන් කවුරු මොනවා කිව්වත් දැනෙන්නෙම නැති තරම්. ක්ෂේත්‍රයට පැමිණි මුල් කාලයේදී ලොකු
වේදනාවක් දැනුණා. ඇයි මිනිස්සු මෙහෙම කරන්නෙ කියා කලකිරීමක් දැනුණා. නමුත් දැන් ඒ ගැන ගානක්වත් නැහැ.
ඔබ විලාසිතා කරන්නේ තෝරාබේරා ගෙනද?
මම ෆැෂන් පිටිපස්සේ යන කෙනෙක් නෙවෙයි. මම අනුගමනය කරන්නේ මටම ආවේණික වූ විලාසිතා ක්‍රමයක්. මට ලස්සනයි කියා හිතෙන ඕනෑම ඇඳුමක් මම අඳිනවා.
වර්තමානයේ බොහොමයක් රංගන ශිල්පීන් සුදුවීමට එන්නත් වගේම ප්ලාස්ටික් සැත්කම් කරනවා. ඔබත් එකී කුලකයට එක්වෙන්න කැමැත්තක් තිබෙනවද?
එවැනි රූපලාවණ්‍ය විධික්‍රම අනුගමනය කරන කිසිවකුටත් මම චෝදනා එල්ල කරන්නේ නැහැ. එය ඔවුන්ගේ රුචිකත්වය. නමුත් මම පෞද්ගලිකව එවැනි සැත්කම්, එන්නත්වලට බයයි. එකී ප්‍රතිකාර දිගින් දිගටම නොකළොත් ඒවායෙන් ලැබෙන ප්‍රතිඵල දීර්ඝකාලීනව පවත්වාගත නොහැකියි. ඒ වගේත්ම එවැනි රූපලාවණ්‍ය කටයුතුවලට වියදම් කරනවට වඩා වියදම් කළ යුතු කාරණා බොහොමයක් මගෙ ජීවිතයේ තිබෙනවා. මටයි මේනකටයි ජීවිතේ ගොඩක් බලාපොරොත්තු තිබෙනවා. ඒ වෙනුවෙන් කැපකිරීමට මුදල්, ශ්‍රමය, කාලය මට අවශ්‍යයි.
ඔබගේ අනාගත බලාපොරොත්තු මොනවද?
ජීවිතයේ අරමුණු බොහොමයක් තිබෙනවා. මගේ පුංචි පවුල තුළ සතුටින්, සැනසීමෙන් සිටීමයි එකම බලාපොරොත්තුව. දරුවා පිළිබඳ බලාපොරොත්තු ගොඩක් තිබෙනවා. හොඳ දරුවකු ලෙස ඇයව සමාජගත කිරීමට මම ගොඩක් මහන්සි වෙනවා වගේම කැපවෙනවා.
අම්මා කෙනකු විධියට ඒ වගකීම ඔබට දැනෙන්නේ කොහොමද?
එය බරක් නොවුණත් හිතට ලොකුවට දැනෙන වගකීමක්. ඒ ආදරණීය වගකීම මගේ සැමියා මේක රාජපක්ෂ, ඔහුගේ මව සහ පියා, මගේ මව හා පියා යන සියලුදෙනා අතරෙහි එකලෙස බෙදී තිබෙනවා. ප්‍රසන්න හා ශාමලී යන අප නිවෙසේ සහායට සිටින දෙපළගෙනුත් ලොකු සහයෝගයක් මට ලැබෙනවා.
රිදී තිරයට ආරාධනාවක් ලැබුණොත් පිළිගන්නවද?
මේ වනවිට මෙම චිත්‍රපට තුනකට රංගනයෙන් දායක වී තිබෙනවා. සිපගැනීමේ දර්ශනයක් පවතින නිසා එක් චිත්‍රපටයක් ප්‍රතික්ෂේප කිරීමට සිදුවුණා. ඒ වගේම තිරපිටපතට අකැමැති නිසා තවත් චිත්‍රපටයක් ප්‍රතික්ෂේප කළා. එසේ තෝරාබේරාගෙන නිර්මාණවලට දායක වෙනවා.
රංගනයේ ස්වයං වාරණයන්ට යටත්වීම තුළ වෘත්තීය මට්ටමක් පවත්වා ගැනීමට අපහසුයි නේද?
රංගනය කියන්නේ මගේ ජීවිතය නෙවෙයි. මගේ පවුල් ජීවිතයයි අංක එක.
ක්ෂේත්‍රයට පැමිණි මුල් අවධියේම ජනප්‍රියත්වයේ හිණිපෙත්තට යෑමට මට වාසනාව ලැබුණා. ඒ වගේත්ම නොයෙක් සම්මාන උළෙලවල්හිදී සම්මාන 13ක් පමණ ලබාගැනීමට අවකාශය ලැබුණා. මම රංගනයේ පරතෙරට ගොස් හමාරයි. ඊට වඩා ළගා කරගත යුතු යමක් මට ඉතුරු වී නැහැ. ඒ නිසා වාරණයන් තුළිනුත් යම් තත්ත්ව යක් නඩත්තු කළ හැකියි කියා මම විශ්වාස කරනවා.
ඔබ ඉදිරියේදී රංගන දායකත්වය ලබාදෙන්නේ සැමියා අධ්‍යක්ෂණය කරන නිර්මාණවලට පමණද?
අනේ නැහැ. මේක දිගටම අධ්‍යක්ෂණ කාර්ය සිදුකරයිද දන්නෙත් නැහැ. ඔහු මට ආරාධනා කළ නිසා වගේම ඒ පිටතට මං ගොඩක් කැමැති නිසා මම ඒ චරිතය භාරගත්තා.