ඉෂාන් කියන්නේ හොඳ චරිතාංග නළුවෙක් වෙන්න දඟලන කොල්ලෙක්



මේ දිනවලදී පුංචි තිරයේ අතිශය ජනප්‍රිය ‘පාරදිගේටෙලි නාට්‍යයේ ඔබට අමතක නොවෙන චරිතයක්  ඔබට හඳුනාගන්න පුළුවන්. වෙනම භාෂා ශෛලියකින් ඔහුගේම ආරකට රංගනයේ යෙදෙන ඉෂාන් එස්. වන්නිආරච්චි එහෙම නැත්නම් බජාර් එකේ ‘ජෙරාඩ්' කියන්නේ නව පරපුරේ නිසි අධ්‍යයනයකින් ක්ෂේත්‍රයට පිවිසි අයෙක්. ඉතින් ඔහුගේ රංගන ජීවිතයේ රසබර හා හරබර තැන් ගැන මෙලෙස පුවත්පතක් සමඟින් පවසා තිබුනා.



කොහොමද මේ දවස්වල ජීවිත්තේ?


මේ දවස්වල පාරදිගේ ටෙලිනාට්‍යයත් සමඟ ටිකක් විතර කාර්යබහුල වෙලා තිබෙනවා. රටේ පවතින කොවිච් වසංගතයත් එක්ක ක්ෂේත්‍රය පොඩ්ඩක් වැටිලා තිබුණා. නමුත් දැන් ප්‍රවේශමෙන් හෙමින් රංගන කටයුතු සිදුකරගෙන යනවා.


කොහොමද පාරදිගේනාට්‍යයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර?


ඇත්තටම ප්‍රේක්ෂක ප්‍රතිචාර මහ ඉහළින් ලැබෙනවා. පාරදිගේ නාට්‍යයේ මම රඟපාන චරිතය ‘ජෙරාඩ්'. මේ ජෙරාඩ් කියන චරිතයට ප්‍රේක්ෂකයා කොච්චර ආදරෙයිද කියනවා නම් මේ ළඟදී මට අම්මා කෙනෙකුයි පොඩි ළමයි දෙන්නෙකුයි මුණගැහුණා. ඉතින් ඒ වෙලාවෙදි ඒ අම්මා මගෙන් අහනවා “අපේ දුව අහනවා ජෙරාඩ් මාමා ඇත්තටම කතා කරන්නෙත් ඔය විධියටද කියලා. ඒ වගේම ගොඩක් දෙනෙක් මට පෞද්ගලිකව මුණගැහිලා අහනවා ඔය ඇත්තටම නාට්‍ය රඟපාන චරිතයමද සැබෑ ජීවිතෙත් කියලා. ඔය වගේ විවිධ ප්‍රේක්ෂක ප්‍රතිචාර පාරදිගේ නාට්‍යයට ලැබෙනවා.


කොහොමද ඔබ ක්ෂේත්‍රයට පිවිසෙන්නේ?


මම ක්ෂේත්‍රයට පිවිසුණේ ඇත්තටම 2018 සිරස වසන්ත අවුරුදු කුමාරයා වීමෙන් පසුව. ඉන්පසුව තමයි මට නාට්‍යයක ප්‍රධාන චරිතයක් ලැබුණේ. ඊට පෙරත් මම 2011 අවුරුද්දේ වගේ අවුරුදු කුමරා තරග වට ගණනාවකටම සහභාගි වුණා. ඒ හැම එකකින්ම සිද්ධ වුණේ පළමුවැනි වටෙන්ම හෝ දෙවැනි වටෙන් ඉවත් වීමට වුණු එක. නමුත් මම උත්සාහය අත්හැරියේ නැහැ. මමම මියුසික් වීඩියෝ සහ ලිරිස්සේ හදලා පොඩි පොඩි උත්සාහයන් දැරුවා සහ රඟපෑම සම්බන්ධව ඉගෙනීම් කටයුතු දිගටම සිද්ධ කළා.


ප්‍රවීණ කලාකරුවන් සමග වැඩකටයුතු කිරීමට ලැබීම ගැන අත්දැකීම මොකද සිතන්නේ?


ඇත්තටම ගොඩක් සතුටුයි. එදා පොඩි කාලේ මම බලපු නාට්‍යවල සිටි නළු නිළියන් සමඟ අද මම එකට වැඩ කරනවා. බිමල් ජයකොඩි වගේ  ක්ෂේත්‍රයේ දැවැන්තයන් සමග වැඩ කරන්න ලැබීම මට වචනයෙන් විස්තර කරන්න බැරි සතුටක්. මට ඒ පිළිබඳව තියෙන්නේ නිහතමානී සතුටක්.


ඔවුන් අතරින් වැඩිපුරම හිත්තේ රැඳුණු චරිත කවුරුන්ද?


මට ඇත්තටම ඉසුරු ලොකුහෙට්ටිආරච්චි කියන චරිතය අමතක කරන්න බැහැ. ඔහු තමයි මගේ ගුරුවරයා වුණෙත්. ඔහු නිතරම මගේ අඩුපාඩු හදලා හොඳ විධියට රංගනයක් කරන්නේ කොහොමද කියලා අවවාද, උපදෙස් ලබාදෙනවා. ඊට අමතරව බිමල් ජයකොඩි, යහස් සචින්ත්‍ර, ඉන්දික ප්‍රසන්න යන අය හඳුන්වන්න පුළුවන්.


නවක රංගන ශිල්පීන් ක්ෂේත්‍රයට පැමිණෙනවාටත් වඩා වේගයෙන් ආපසු යනවා. මොකද මේකට හේතුව?


මම විශ්වාස කරන විදිය තමයි ඕනෑම දෙයක් කරනවා නම් ඒ ගැන ඉගෙන ගන්න ඕනි. ඒ වගේම ඔහුට හෝ ඇයට වාසනාව තිබෙන්නත් ඕනේ. සමහරුන්ගේ ජානවලින්ම රංගනය පිහිටනවා. ඒ වගේ අයට ක්ෂේත්‍රයේ යම් ස්ථාවරයක් තිබෙනවා. නමුත් රියලැටි, ටින්ටෙක් හෝ කවර ආකාරයකින් වේවා රංගනයට පිවිසුණත් තමන් කැමරාවක් ඉදිරියේ ඉන්න  ඕන කොහොමද, ගන්න කැමරා ශොට්ස් මොනවද වැනි දේවල් ගැන මූලික අවබෝධයක් නැතිව ත්‍රයට පිවිසුණොත් තමයි නළුවන් හෝ නිළියන් ඉක්මනින් පිටවෙලා යෑම සිද්ධ වෙන්නේ.


දැනට ඔබ රංගනයෙන් ටෙලි නාට්‍ය කීයකට පමණ සම්බන්ධ වෙලා තිබෙනවද?


මම දැනට නීල පබලු, කිඳුරාදරී, රාවණ සීසන් 2 , බ්රෝ, අහස් මාලිගා සහ පාරදිගේ යන නාට්‍යවලට දායක වී තිබෙනවා.


ඔබ විලාසිතා කරන්න කැමැතිද?


ඔව. අනිවාර්යයෙන් විලාසිතා කරන්න කැමැතියි. 


ඉෂාන් එස්. වන්නිආරච්චි කොහොමද ඔබව රසිකයන්ට හඳුන්වලා දෙන්න ඕනේ. පවුලේ විස්තර එහෙම?

මම, අම්මා, තාත්තා සහ නංගි තමයි මගේ පවුලේ ඉන්නේ. ඉෂාන් එස්. වන්නිආරච්චි කියන චරිතය නළුවෙක් නොවෙන්න තිබුණා මගේ උත්සාහය සහ උනන්දුව නොතිබුණා නම්. එහෙම නොවුණා නම් මම ගුරුවරයෙක් හරි ඩ්‍රාෆට්මන් කෙනෙක් වෙන්න ඉඩ තිබුණා. නමුත් මම ඇලුම් කළේ සහ මම නිතරම සිතුවේ හොඳ චරිතාංග නළුවෙක් වෙන්න. ඒක නිසා මට කියන්න පුළුවන් ‘ඉෂාන් එස්. වන්නිආරච්චි කියන්නේ කලින් කිව්වා වගේ හොඳ චරිතාංග නළුවෙක් වෙන්න දඟලන කෙනෙක් කියලා.


නළුවෙක් විධියට ඔබ කරන්න ආසාවෙන් ඉන්න චරිත තියෙනවද?


මෙහෙමයි. මට ලැබෙන ඕනෑම චරිතයක් මට පුළුවන් උපරිමයෙන් හොඳට කරන්න තමයි ආශාව තිබෙන්නේ. මේ චරිතය ලැබුණොත් මම මෙහෙම කරනවා, මේ චරිතය ලැබුණොත් මේ විදියට කරනවා කියලා සිතාගෙන නැහැ. මට ලැබෙන්නේ මොන විධියේ චරිතයක්ද ඒ චරිතය ප්‍රේක්ෂකයාගේ හදවතට දැනෙන විධියට කරන්න තමයි මම ගොඩක්ම ප්‍රිය කරන්නේ.


කොහොමද ඉදිරි කටයුතු සැලසුම් වෙන්නේ?


අනාගතය සැලසුම් වෙන්නේ පාරදිගේ නාට්‍යත් එක්කයි. මොකද මේ දිනවලදී මගේ සම්පූර්ණ අවධානය තියෙන්නේ පාරදිගේ ටෙලිනාට්‍යයට. ඊට අමතරව තවත් නාට්‍යක වැඩ කටයුතුවලට අතගහලා තිබෙනවා. ඒ වගේම ඩ්‍රාෆ්ට්මන්ට් වැඩ වගේම මගේ බිස්නස් වැඩකටයුතු සිදුකරගෙන හෙමින් ගමනක් යනවා.







Previous Post Next Post