කෙල්ලෝ එකතු වුණාම කොච්චි වගේ - උපේඛා නිර්මාණි

Friday, November 19, 2021 , 0 Comments



සංගීතය හා බැඳුණු ගීතය ද එහි තවත් දිගුවකි. ලංකාවේ කණ්ඩායම් සංගීතයේ ආරම්භය නිල වශයෙන් ගත් කල එය හැට හැත්තෑව දශකවලට දිව යයි. නෙවිල් ෆර්නැන්ඩුගේ ලොස් කැබරේ ලොස් නොයෙල් රණසිංහගේ ලා සිලනියස් සංගීත කණ්ඩායම් සමඟ ආරම්භ වූ කණ්ඩායම් සංගීතය අද වන විට විවිධ ඉසව් ඔස්සේ පැතිරී ගොසිනි. හැට දශකයේ අග භාගයේදී ත්‍රී සිස්ටර්ස් සංගීත කණ්ඩායම බිහිවීම තවත් සුවිශේෂී සලකුණකි. ඒ එතෙක් පිරිමින් පමණක් සහභාගී වූ සංගීත කණ්ඩායම් වෙනුවට සොයුරියන් තිදෙනෙකුගෙන් යුත් ( ඉන්ද්‍රානි පෙරේරා, මල්ලිකා, අයිරාංගනි) සංගීත කණ්ඩායම ආරම්භ වීමයි. කාලයත් සමඟ කාන්තා පිරිමි එකට එක්ව සංගීත කණ්ඩායම් බිහි කරද්දි මෑතකදී නැවතත් කාන්තාවන් හතර දෙනෙකුගෙන් යුත් සංගීත කණ්ඩායමක් අපට මුණගැසුණි. 'කොච්චි' ලෙස නම් කරන ලද මෙය දෙරණ ඩ්‍රීම්ස්ටාර් හී බිහි වුණ තරු හතරකින් සැදුම් ලද්දකි. ඉතිං 'කොච්චි' ගැන තොරතුරු  උපේඛා නිර්මාණි මෙලසෙ පුවත්පතක් සමඟින් පවසා තිබුනා.


 උපේඛා කොච්චි ආරම්භ වෙන්නේ කොහොමද?


මගෙ පුතා ලැබුණ අලුත මට හිතුණා මොනවහරි අලුත් දෙයක් එක්ක ක්ෂේත්‍රයට නැවත එන්න ඕනේ කියලා. උපේඛා නිර්මාණි විදිහට තනිවම කටයුතු කරන අතරෙදි තවත් වෙනසක් කළ යුතුයි කියලා මට හිතුණා. මුලින් ත්‍රී සිස්ටර්ස් සංගීත කණ්ඩායම තිබුණත් අද වනවිට ක්ෂේත්‍රයේ කාන්තා සංගීත කණ්ඩායමක් නැහැ. ඒ අඩුව හඳුනාගනිමිනුයි මේ කණ්ඩායම ආරම්භ කළේ. එය අසාවෙන් කළ දෙයක්.


 


ඔබේ පවුලෙත් ත්‍රී සිස්ටර්ස් ඉන්නවා නේද? ඇයි ඩ්‍රීම්ස්ටාර්ලව තෝරගත්තේ මේ වැඩේට?


මගෙ අක්කලා දෙන්නාගෙන් එක්කෙනෙක් අවුරුදු හතක් වැඩිමල්. අනිත් කෙනා අවුරුද්දක් වැඩිමල් මට වඩා. ඒ අය වෙනත් ක්ෂේත්‍රවලින් ඉදිරියට ගිය අය. ගායනයෙන් මම පමණයි ඉන්නේ. ඩ්‍රීම්ස්ටාර්ලව තෝරගත්තේ මේ අය මගේ එක්කම ඉන්න මට ළඟම අය. ගායනා කරන්න පුළුවන් සංගීතය පිළිබඳ දැනුමක් ඇති හොඳම අය මේ සියලු දෙනාම.


 

ආරම්භක සාමාජිකයෙක් ඉවත් වුණා නේද?


ඔව්. ඇයගේ පෞද්ගලික හේතුවක් නිසා ඇය ඉවත් වුණා.


 

කොච්චි නමට විශේෂ හේතුවක් තියෙනවාද?


කොච්චි නම දැම්මේ මට ඕනෙ වුණා සිංහල නමක් දාන්න. ගොඩක් අපට ඇහෙන්නේ ඉංග්‍රීසි නම්නේ. මට ඕන වුණා රස නමක් දාන්න. නම දාන එකත් ගොඩක් හිතන්න වුණ වැඩක්. මගෙ හස්බන්ඩ් ‍යෝජනා කළා කොච්චි කියන නම. ගර්ල්ස්ලා කොහොමත් සැරයිනේ. ඉතින් ඒ නම හොඳටම හොඳ වුණා.


 

පවතින වසංගත තත්ත්වය එක්ක කණ්ඩායමක් විදිහට කොහොමද නිර්මාණ කටයුතු කරන්නේ?


කොරෝනා අපේ නිර්මාණ කටයුතුවලට ලොකු බාධාවක් වුණා. ඒ නිසා අපි යූටියුබ් එකටයි නිර්මාණය කළේ.අපේ යූටියුබ් චැනල් එක කොච්චි මියුසික්. මාසෙකට එකක් වගේ තමයි අපි නිර්මාණයක් කරන්නේ. බබාලා දෙන්නෙක් ඉන්න අම්මලා දෙන්නෙක් ඉන්නවා. මේ වෙලාවේ එළියට යන්න අපහසුයි ඒ අය ගැන වගේම රටේ තත්ත්වය හොඳ මදි නිසා. කොරෝනා එක්ක පරිස්සමින් වැඩ කටයුතු කරගෙන යනවා.


 


උපේඛාගේ කණ්ඩායමේ ඔබ පමණයි ඍජුවම ක්ෂේත්‍රයට සම්බන්ධ. අනෙක් අය විවිධ වෘත්තීහි නියැළෙන්නියන්?


ඔව්. නැටලි, එරන්දි සහ ශෂිකා තමයි කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයන් වෙන්නේ. එරන්දි ගුරුවරියක්. ශෂිකා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබනවා. නැටලි දැන් අම්මා කෙනෙක් නිසා රැකියාවෙන් ඉවත් වුණා. මේ හැමෝම ගායනයට හරිම ආදරෙයි. ඒ නිසාම ඒ අයට මොන දේ තිබුණත් කොච්චි වෙනුවෙන් කැපවෙනවා. ඒ අයත් ආසයි එයාලගෙ හැකියාව දකින්න කොච්චි ඔස්සේ. ඒ කැපවීම තියාගෙනයි අපි හතරදෙනා මේ ගමන යන්නේ.


 

කතාවක් තියෙනවනේ කාන්තාවන්ට එකට එකතුවෙලා වැඩ කරන්න බෑ කියලා. කොච්චි ඒක වෙනස් කරලා?


අපි හතර දෙනා අතර එහෙම නෑ. ඇත්තෙන්ම මම ඒ අයට අක්කා වගේ. මම කියන දේ එයාල අහනවා. එයාලා කියන දේ මම අහනවා. අපි හතර දෙනා හොඳට ගැළපෙනවා. හොඳ අවබෝධයක් තියෙනවා. අපි තවම තරුණ අය. අඩුපාඩුවක් තියෙනවා නම් ඒක හදාගන්න අපි අපිටම උදව් කරගන්නවා.


 


ඔබේ පියත් ( ජොලි සීයා/ චන්ද්‍රරත්න සිල්වා) ගායන ක්ෂේත්‍රය තුළ නමක් ඇති චරිතයක්. තාත්තාගෙනුත් හොඳ සහයෝගයක් ලැබෙනවා ඇති?


තාත්තාගෙන් සියයට සියයක්ම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. තාත්තාගෙන් වෙන ලොකුම උපකාරය අපේ බබාව බලාගන්න එක.එවිට අපට නිදහස තියෙනවා නිර්මාණ කරන්න. තාත්තා වගේම මගේ ස්වාමියාගේ දෙමාපියනුත් මතක් කරන්න ඕනෙ ඔවුන්ගෙනුත් ලොකු සහයෝගයක් ලැබෙනවා.


 

කෙනෙකුට ආසාවක් ආවොත් මටත් ආසයි කොච්චි අක්කලා එක්ක එකතු වෙන්න කියලා අවස්ථාව තියෙනවද?


මේ හතර දෙනාම තමයි ඉදිරියටත් ඉන්නේ. එය වෙනස් කරන්නට මම හිතන්නේ නෑ. අපි හතර දෙනා අතර තියෙන්නේ කැඩෙන්නේ නැති බැඳීමක් කියන දේ මම දන්නවා.


 

ගායනයත් එක්ක වාදනයත් කරන්න හිතුවේ නැද්ද?


අපි සම්පූර්ණයෙන් වෝකල් බෑන්ඩ් එකක්. ඒ වුණත් මියුසිකල් බෑන්ඩ් එකක් එක්කත් යනවා ඉවෙන්ට්ස්වලට. මියුසිකල් බෑන්ඩ් එකේ නම් පිරිමි අය ඉන්නේ. කාන්තාවන් යොදාගෙන ඉන්ස්ටෘමන්ට් එක්ක බෑන්ඩ් එකක් කරන්න අදහසක් මට තිබුණේ නෑ. මොකද කාන්තාවන්ට කැපකිරීම් කරන්න වෙනවා. ඔවුන්ගේ පෞද්ගලික කාරණා නිසා එක දිගට රැඳෙන්න අමාරු වෙන්න පුළුවන්. පිරිමින්ට වගේ කැපවෙන්න ඔවුන්ට බෑ. ඒ නිසා එවැනි දෙයක් කිරීමට හිතීමම ලොකු අභියෝගයක්. ඒත් ඔබ කියන නිසා ඒ ගැන හිතලා බලන්න පුළුවන්. (සිනාසෙමින්).


 

කොහොමද මහත්තුරුන්ගෙන් ලැබෙන සහයෝගය?


ඇත්තටම මගේ හස්බන්ඩ් නැටලිගේ හස්බන්ඩ් එරන්දිගෙ හස්බන්ඩ් වගේම ශෂිකාගේ දෙමාපියන් ඇය තාම විවාහ වෙලා නෑ ලොකු සහයෝගයක් දෙනවා. කොච්චි නිර්මාණවල වීඩීයෝ කරන්නේ ඒවා එඩිට් කරන්නේ මගේ හස්බන්ඩ්. ඕන තැනකට බය නැතුව යන්න පුළුවන්. අපිට දෙයක් කරන්න පිටිපස්සෙන් ඉඳලා සවියක් වෙන්නේ ඔවුන්.


 

උපේඛා ඔබ තනිවම නමක් ගොඩ නඟාගත් කෙනෙක්. ඔබ ගොඩ නඟාගත් නම කොහොමද ඔබේ බෑන්ඩ් එකට යොදාගත්තෙ?


මෙය මම ආරම්භ කළත් මේ සියල්ලගෙන්ම ලැබෙන සහයෝගය නිසයි මට බෑන්ඩ් එක ඉදිරියට ගෙනියන්න පුළුවන් වෙන්නේ.දැන් අවුරුදු දෙක හමාරක් වෙනවා බෑන්ඩ් එකට. තනියම ගායනා කරනවට වඩා බෑන්ඩ් එකකදි ලොකු කැපකිරීමක් වෙහෙසක් ගන්න ඕනෙ එය පවත්වාගෙන යන්නට. ඒ සඳහා මගේ සොයුරියන් සියලුදෙනාම එකාවන්ව ඉන්න එක මට ලොකු හයියක්.


 

කොච්චි නිර්මාණය උපේඛාට කොයිතරම් අභියෝගයක් වුණාද?


ඇත්තෙන්ම මම මෙය ඉතාම ආසවෙන් පටන් ගත් වැඩක්. ඒ වෙද්දි ක්ෂේත්‍රය තුළ තිබුණ හිඩැසටයි මම කොච්චි නිර්මාණය කළේ. ඒ නිසා එයට හොඳ ප්‍රතිචාර ලැබුණා. ප්‍රේක්ෂකයා එය ආදරයෙන් වැලද ගත්තා. අපි හතර දෙනාටම හොඳ දැනුමක් අවබෝධයක් සංගීතය පිළිබඳව තිබෙන නිසා නිර්මාණයක් කරනවිටදී වුවත් එය ලොකු අභියෝගයක් නොවේ. මේ අයගේ හැකියාව මම මුල සිටම අඳුරගෙන හිටියා. ඒ නිසයි මං ඔවුන්ව තෝරගත්තේ.


 


මොනවද ඉදිරියට කොච්චි කරන්නේ?


වෙඩින් කොන්සර්ට් ඒ හැම දේම අපි කරනවා. ඔරිජිනල්ස් තුනක් සහ තව කවර්ස් කිහිපයක් ඉදිරියේ දී කරන්න හිතාගෙන ඉන්නවා. ඒ වගේම විශේෂ වූ වෙනස්ම වැඩක් ළඟදීම කොච්චි තුළින් ගේන්නත් අපි සූදානම්.


 

කොචිචි අරමුණ රසවින්දනය පමණද?


අපේ දක්ෂතාවය එළියට ගෙන ඒම සහ අපේ ආත්ම තෘප්තිය වගේම ලංකාව ඇතුළේ විතරක් නොවෙයි ලෝකයට යන්නයි අපේ අරමුණ. ඒ සඳහා මේ වන විටත් අප වටා එක් වී තිබෙනවා වෙනත් රටවල විශාල සංඛ්‍යාවක්. අපි කරන නිර්මාණ ඔවුන් වැලඳගෙන තියෙනවා. අපිව අගය කරනවා. අපි කියන පොඩි තැනත් අල්ලගෙන ඒ ගැන කතා කරනවා. අපේ නිර්මාණයක් යූටියුබ් එකට දාපු ගමන් රිවිව් කරනවා. අපේ උත්සාහය හැම වෙලේම හොඳම දේ කරන්න.


තිළිණි රාජපතිරණ