මම චරිතවල දිග, පළල මනින්නේ නැහැ - සචින් චතුරංග

Wednesday, November 17, 2021 , 0 Comments

 



සෝමරත්න දිසානායක අධ්‍යක්‍ෂණය කළ ‘බිංදු’ චිත්‍රපටයේ ‘මුතු’ චරිත නිරූපණය කරමින් සිනමාවට පිවිසුණු ඒ පුංචි කොලුගැටයා දැන් ලොකු ඉලන්දාරියෙක් වෙලා. සිනමාවේ විතරක් නෙවෙයි දැන් ඔහුට ටෙලිනාට්‍ය ගණනාවකම සුවිශේෂි චරිත නිරූපණය කිරීමටද වාසනාව හිමිවෙලා එදා ඔබට සමීපවුණු ඒ ‘මුතු’ මේ දිනවල විකාශය වන ‘පාරදිගේ’ ටෙලිනාට්‍යයේ ‘අබියා’ චරිතය නිරූපණය කරමින් ඔබට සමීපවෙනවා. ඉතින්  සචින් චතුරංග  ආ ගිය තොරතුරු ගැන මෙලෙස පුවත්පතක් සමඟින් පවසා තිබුනා.


සචින් ඔබ දැන් ජනප්‍රිය රංගන ශිල්පියෙක්. අපි කැමැතියි ඔබ ‘බිංදු’ චිත්‍රපටයේ නිරූපණය කළ ‘මුතු’ චරිතය ගැන මුලින්ම කතා කරන්න?

‘මුතු’ චරිතය මම රඟපාන කොට මට වයස අවුරුදු දහයක් විතර ඇති. මගේ අයියා තමයි ‘සූරිය අරණ’ චිත්‍රපටයේ ‘පොඩි හාමුදුරුවන්’ගේ චරිතය රඟපෑවේ. ‘බිංදු’ චිත්‍රපටයට මම සම්බන්ධ වුණේ සම්මුඛ පරීක්‍ෂණයකට සහභාගි වෙලා. මම ඒ අවස්ථාවේදීවත් මගේ අයියා ගැන කිවුවේ නැහැ. ඉතින් මාව ‘බිංදු’ චිත්‍රපටයට තෝරාගත් සෝමරත්න දිසානායක මාමාටත්, රේණුකා බාලසූරිය නැන්දාටත් මම විශේෂ ස්තුතිය පුදකරනවා. ඉන්පසුව බඹර වළල්ල, සිරිපැරකුම්, පුංචි අපිත් බය නැහැ, තණ්හා රති රඟා වැනි සුවිශේෂී චිත්‍රපට කිහිපයකම චරිත නිරූපණය කළා.


අද ඔබව ගොඩදෙනෙක් දැන හඳුනන්නේ ‘අබියා’ ලෙසටයි. ඒ අවස්ථාව ගැන කතා කළොත්?

‘පාරදිගේ’ ටෙලිනාට්‍යයේ ‘අබියා’ චරිතය නිරූපණය කිරීමට මට ආරාධනා කළේ සද්ධාසූරිය මංගල බණ්ඩාර මාමා. ‘අබියා’ චරිතයට මම ගොඩාක් කැමැතියි. අද සමාජයේ ‘අබියා’ වගේ මිනිසුන් ඕනෑතරම් ඉන්නවා.


‘අබියා’ට ලැබෙන ප්‍රතිචාර කොයි වගේද?

ලංකාවේ විතරක් නෙවෙයි, විදේශීය රටවල ජීවත්වන මගේ ආදරණීය ප්‍රේක්‍ෂක ජනතාවගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ‘අබියා’ කියන්නේ ඉතින් තමන්ගේ මිතුරා වෙනුවෙන් පණ වුණත් දෙන කෙනෙක් තමයි.


සචින් සාමාන්‍ය ජීවිතයේදීත් ‘අබියා’ වගේමද?

අනිවාර්යෙන්ම මගේ යාළුවන්ට මම පණ වගේ ආදරය කරනවා. ඔවුන්ගේ දුකේදීත්, සැපේදීත් මම ළඟින්ම ඉන්න කෙනෙක්. මගේ මිතුරන් වෙනුවෙන් මට කරන්න පුළුවන් උපරිම දේවල් කරනවා.


එහෙම පණ දෙන්න ගිහින් සචින් අමාරුවේ වැටුණු අවස්ථාත් ඇති..?

මොකද නැත්තේ. ඕනෑ තරම් තියෙනවා. හැබැයි මට ඒ දේවල් මගේ ජීවිතයට අදාළ කරගන්නේ නැහැ. මම කරපු දේවල් හොඳනම් මට ඒ ඇති. ඒ මිනිසුන් ඒ දේවල් තේරුම් ගත් දවසක ‘සමියා’ කියන්නේ කවුද කියලා දැනගනී.


‘පාරදිගේ’ට අමතරව ඔබේ ඉදිරි වැඩකටයුතු කොයි විදියටද සැලසුම් මේ දවස්වල?

බුද්ධික ලොකුකැටිය අධ්‍යක්‍ෂණය කරන ‘අදිසි’ ටෙලිනාට්‍යයේ රූගත කිරීම් ඉදිරියේදී කුරුණෑගල අවට සිදුකෙරෙනවා. එයට සම්බන්ධ වීමට තිබෙනවා. තවත් නිර්මාණ කිහිපයකට සම්බන්ධ වීමට ආරාධනා ලැබිලා තියෙනවා.


ඔබ දැන් ජනප්‍රිය නළුවෙක්. චරිත තෝරාගැනීමක් කරනවාද?

මට තියෙන්නේ චරිත පිපාසයක්. ඒ නිසා මම චරිතවල දිග, පළල මනින්නේ නැහැ. මට කරන්න පුළුවන්නම් මම ඒ නිර්මාණයට හොඳ සාධාරණයක් කරන්න තමයි බලාපොරොත්තුව.


සචින් කාලෙකට එනවා, ආපහු නැවැත නිර්මාණවල දැකගන්නට නැහැ. මේ ආපු ගමන දිගටම රැඳෙයිද?

මම කාලයක් එක දිගට රඟපාලා ටික කාලයක් නිර්මාණ සඳහා සම්බන්ධ වුණේ නැහැ. ඒ වෙන කිසි හේතුවක් නිසා නෙවෙයි. මගේ අධ්‍යාපන කටයුතු නිසා. රඟපෑමෙන් ටිකක් ඈත් වෙලා හිටියා. නැවැත මම අවුරුදු හතරකට විතර පස්සේ තමයි ‘දෙවන ඉනිම’ ටෙලිනාට්‍යයට සම්බන්ධ වුණේ.


ආපු ගමනත් එක්ක අතීතය ගැන මතක් වෙද්දි ඔබට මොකද හිතෙන්නේ?

මගේ වාසනාව සහ දක්‍ෂතාවය මත මම දුරගමනක් ඇවිත් ඉන්නවා. මේ වන විට මම ප්‍රවීණ ශිල්පීන් රැසක් සමග එකට රඟපාලා තියෙනවා. ගොඩාක් දේවල් ඔවුන්ගෙන් මට ඉගෙනගන්න ලැබුණා. ගොඩාක් සතුටුයි මට අද.


වසන්ත විතාරණගේ