මම කිසිම එන්නතක් ගහලත් නෑ ප්ලාස්ටික් සර්ජරි කරලත් නෑ - නතාෂා පෙරේරා

Monday, November 01, 2021 , 0 Comments



“සුළඟක් වී මං යනවා දුර අහසේ ඉගිලෙන්නට“ කියූ පුංචි සමනලිය සහෘද සිත් සතන් තුළ සියුම්ව ලැගුම් ගත්තේ නිරායාසයෙනි. සුළඟටත් වඩා වේගයෙන් දත කළ, පුංචි කතුරක් වගේ කියවූ දහමල්ල ඉන්පසු ඒ සොඳුරු  මතකය අලුත් කළාය. ඒ පුංචි කෙල්ල කාලයත් සමඟ යුවතියක් වුණත් හිතේ ඇදුණු පුංචි දඟමල්ල තවමත් පුංචියට ලැගුම් ගෙන ඇත්තේ පුදුමාකාරයි. ඇය නතාෂා පෙරේරායි. 


කොහොමද මේ දවස්වල ජීවිතේ?


අලුත් ගීතයක් කරන්න බලාපොරොත්තුවෙන් සිටිනවා. ආරාධනා ලැබෙන වැඩසටහන්වලට සහභාගි වෙනවා. ඊට අමතරව වෘත්තීයමය කටයුතු කරමින් සතුටින් කාලය ගත කරනවා.


විවාහයෙන් පස්සේ කලා කටයුතුවලට වාරණයන් වැටුණද?


ඊට හේතුව විවාහයෙන් පසුව විදේශගත වීමට සිදුවීමයි. ස්ථිර පදිංචියට මං ඕස්ටේ‍්‍රලියාවට ගියා. නිවාඩුවට ලංකාවට පැමිණිලා දැන් අවුරුදු  එකහමාරකට ආසන්නයි. දැන් දිගටම ලංකාවටම වී සිටින්නයි බලාපොරොත්තුව. ඒ හේතුව නිසා ආරාධනා ලැබුණු නිර්මාණ ගණනාවක් මට මගහැරුණා. ඊට කලිනුත් කලා නිර්මාණ කිහිපයක්ම  මගඇරුණේ අධ්‍යාපන කටයුතු නිසායි. 2015 නීතිඥවරියක් වීම හා විදේශගත වීම වැනි සාධක නිසා කලාවෙන් පුංචි විරාමයක් ගන්න මට සිදු වුණා.


කලාවෙන් විරාම ගැනීම තුළ ජනප්‍රියත්වයට බාධා ඇති වුණේ නැද්ද?


ඕනෙම දෙයක් එකම විදිහට පවතින්නේ නැහැ කියන සත්‍ය මං තේරුම්

අරගෙනයි සිටින්නේ . ජනප්‍රියත්වයටත් එය පොදුයි. සුළඟක් වී මං යනවා ගීතය කරලා අවුරුදු විස්සක් ගතවී හමාරයි. ජනප්‍රියත්වය එදා මෙන් අදත් එලෙසම පවතින්නේ නැහැ කියලා මම දන්නවා. එය සාමාන්‍ය දෙයක් වගේම ලෝක ස්වභාවය. මං ලොකු නිර්මාණ ප්‍රමාණයක් නොකළත් තවමත් මිනිසුන් මට ආදරය කිරීම පුදුම සහගතයි. එය මං ලද විශාල භාග්‍යයක්. 


දඟමල්ල හා බැඳුණු ප්‍රේක්ෂක ආදරය තවමත් එලෙසම පවතිනවා කියා විශ්වාස කරනවාද?


දඟමල්ල ටෙලි නාට්‍ය විකාශය වෙලා අවුරුදු 17කට ආසන්නයි. එය මෑතකදී විකාශය වුණේ අවුරුදු 15කට පසුවයි. කාලයකට පසු වුණත් සමාජ මාධ්‍ය ඔස්සේ දඟමල්ල ආයෙත් විකාශය වෙන්නේ නැද්ද කියන පැනය  නොඇසූ දිනයක් නැති තරම්. ඒ තරම් දඟමල්ල වැලඳ ගත් පිරිස විශාලයි. ඒ ආදරේ තවමත් තිබෙනවා කියා මට දැනෙනවා.




ඇඟ මගේ නම් ඇදුම් මගේ නම් කාටවත් ඇයි වේදනා කියන සංකල්පය  මත ඉඳන්ද ඔබ ෆැෂන් කරන්නේ?


නැහැ මට කැමැති නැත්නම් මගේ ෆැෂන් වලට කැමැති නැත්නම් බලන්න එපා කියන සංකල්පයේ මම නැහැ. ප්‍රේක්‍ෂකයන් හා රසිකයන් නිසයි මම මෙතන ඉන්නේ. එයාලා අපව ප්‍රතික්ෂේප කරන දවසට අපේ පැවැත්ම ක්ෂේත්‍රයේ ගොඩනඟා ගන්න අපහසුයි. සුළුතරයක් චෝදනා එල්ල කළත් බහුතරයගේ ආදරය මට හිමිවී තිබෙනවා. ඔවුන් වෙනුවෙන් මම ලස්සනට ෆැෂන් කරනවා. මට ආදරේ කරන මිනිසුන් වෙනුවෙනුයි මම ෆැෂන් කරන්නේ. 


ලංකාව වගේ සංස්කෘතික රටක ජීවිතය විඳීම, ෆැෂන් කිරීම වැනි කාරණා නිදහසේ කිරීමට අපහසුද?

එය දකින කෙනාගේ කෝණය මත වෙනස් වෙනවා. සංස්කෘතිය, සදාචාරය

කියන තැනදී යම් යම් වාරණයන් පැනවෙනවා. තැනට සුදුසු ලෙස විලාසිතා කිරීම තුළ එකී තත්වයන් උද්ගත වෙන්නේ නැහැ. මං කලාව තුළ ජීවත් වෙන කෙනෙක් වගේත්ම ෆැෂන් කරන්න ගොඩක් කැමැති කෙනෙක්. සුළුතරයක් විවිධ චෝදනා එල්ල කළත් බහුතරයක් ඒ ෆැෂන් ෆලෝ කරනවා. ඒ පිළිබඳව කාගෙවත් කතාබහට ලක් වෙන්නෙත් නැහැ. කලාව තුළම විලාසිතා කළත් නීතිඥ වෘත්තිය තුළදී මම මේකප් භාවිත කරන්නෙත් නැහැ. එක් එක් අවස්ථාවලදී අපට එහි ස්වභාවයට හැඩගැසෙන්න පුළුවන්නම් එය ගැටලුකාරී තත්වයක් නෙමෙයි.



ෆැෂන් කරන්නේ foreign celebrity කෙනකුව ෆලෝ කරලද?


මං විදේශීයව ජීවත් වුණු කෙනෙක් විදිහට ඒ රටේ විලාසිතා මම දැක්කා. ලෝකයේ විලාසිතා මං දෑසින්ම අත්දුටුවා. ඒ නිසා කාවවත් මා ෆලෝ කරන්නේ නැහැ. මට ගැළපෙන ෆැෂන් ෆලෝ කරන්න මම මැළි වෙන්නෙත් නැහැ. 


සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල කරන මඩ ප්‍රහාර, චෝදනා කාන්තාවක් ලෙස දරාගත්තේ කොහොමද?


ක්ෂේත්‍රය තුළ රැඳී සිටිනවා නම් ඔසවා තැබීම් වගේම මඩ ප්‍රහාර දරා ගන්නට හැකි විය යුතුයි. වර්ණනා කරනකොට ඉදිමෙනත් මඩ ප්‍රහාර එල්ල කරනකොට මානසිකව  ඇදවැටෙන්නත් අප පුරුදු පුහුණු වුණොත් ජීවත් වෙන්න අපහසුයි. ඒ සියල්ල උපේක්ෂාවෙන් දරා ගැනීමයි බෞද්ධාගමේ හරය. එය හුදෙක් සාමාන්‍ය දෙයක් ලෙස සාධාරණීකරණය කරගන්න පුළුවන් නම් ක්ෂේත්‍රය තුළ රැඳී සිටින්න පමණක් නෙමෙයි ජීවත් වෙන්න පහසුයි.



රූපය වෙනස්වීම ගැන ක්ෂේත්‍රයේ වගේම සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ කටකතා පැතිරුණා. ඔබ ඒ පිළිබඳව දරන මතය මොකක්ද?


තවමත් විවිධ කටකතා පැතිරෙනවා. මම එය ඉදුරා ප්‍රකාශ කළත් මිනිසුන් පිළිගන්නේ තමන්ට අවැසි දේ පමණයි. මං කිසිම එන්නතක් හෝ ප්ලාස්ටික් සැත්කමක් සිදු කරල නැහැ. එය ඕන තැනක මට ඔප්පු කරන්න පුළුවන්. මගේ නම භාවිත කර විවිධ එන්නත් වර්ග අලෙවි කිරීමේ ජාවාරමක නිරත වෙනවා. මම ඔවුන්ට පෞද්ගලිකව කතා කරල එය නිවැරදි කළා. ෆැෂන් කරන්න වගේ ලස්සනට ඉන්න අවශ්‍යයි. නමුත් ඇතැම් ආලේල්පනවලින් සිදුවන හානිකර තත්වයන්වලට ටික කාලයක් ගත වෙනවා. ඒ නිසා ස්වභාවික රූපලාවණ්‍ය සත්කාරවලින් සම පැහැපත් කර ගැනීමයි වඩාත් වැදගත්.


කලාව තුළින් ආර්ථිකය ස්ථාවර තත්වයක් ගොඩනඟා නොගත්තේ එයින් පැවැත්මක් ගොඩනඟා ගන්න අපහසු නිසාද?


 මං ක්‍ෂේත්‍රයට පිවිසෙන්නේ ළමා ගායිකාවක් විදිහට. කලාවත් එක්ක අධ්‍යාපන කටයුතු සමබර කරගන්න මට හැකි වුණා. මං කවදත් කලාවට කළේ අර්ධකාලීනව. ඒ නිසා ඉදිරියේදිත් අධ්‍යාපන සුදුසුකම් මත වෘත්තීය කටයුතු කරමින් කලා කටයුතුත් කැපවීමෙන් කිරීමට බලාපොරොත්තු වෙනවා.