මට කිසිකෙනෙක්ව අභිබවන්නවත් තරග කරන්නවත් වුවමනා නැහැ



මේ දිනවල ස්වාධීන රූපවාහිනි නාළිකාවේ විකාශය වන හිතුවක්කාරි ටෙන් වෘතාන්තයේ රන්මිණිගේ චරිතයට පණ පොවන ඇය දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයේ සහේලි ලෙස ඔබ හඳුනාගත් එමාශා සෙනවිරත්නයි. ඇය ගැන තොරතුරු ඇය මෙන්න මේ විදයට පුවත්පතක් සමඟින් පවසා තිබුනා.

කොහොමද මේ දවස්වල ජීවිතේ?


කොවිඩ් හේතුවෙන් පහුගිය කාලයේ නිවෙස්වලටම වෙලා සිටියා. දැන් ආයෙමත් වැඩ කටයුතු ආරම්භ වෙලා තිබෙනවා. එම නිසා ටිකක් කාර්යබහුලයි. ජීවිතේ හොඳින් සතුටෙන් ගෙවෙනවා.


හිතුවක්කාරි ගැන කතා කරමු?


ස්වාධීන රූපවාහිනියේ සතියේ දිනවල රාත්‍රි 8.30ට විකාශය වන හිතුවක්කාරි ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය වන රන්මිණීගේ චරිතය තමයි මම නිරූපණය කරන්නේ. මෙය අධිෂ්ඨානශීලී අහිංසක තරුණියක් තමන්ගේ සිහිනය ඔස්සේ ගොස් ජීවිතය ජයගන්න ආකාරය වටා ගෙතුණු කුතුහලය පවුලේ ආදරය ගැන කතාවක්. අධ්‍යක්ෂණය ජී. නන්දසේන මහත්මයාගේ. නිෂ්පාදනය කුෂාන් ටෙලි ෆිල්ම්ස් විසින්. තිරපිටපත මහේෂ් සත්සර මද්දුමආරච්චිගේ. ශ්‍රියන්ත මෙන්ඩිස්, මීනා කුමාරි, සාරංග දිසාසේස්කර, ශාන්ත ගාල්ලගේ, හර්ෂි රසාංගා, අනුරාධා එදිරිසිංහ, සූර්යා දයාරුවන් ආදී ප්‍රවීණ සහ දක්ෂ රංගන ශිල්පීන් මේ ටෙලිනාට්‍ය සඳහා රංගනයෙන් දායකත්වය ලබා දෙනවා.


හිතුවක්කාරිට හොඳ ප්‍රතිචාර ලැබෙනවාද?


ඔව්. සිතුවාටත් වඩා හොඳ ධනාත්මක ප්‍රතිචාර ලැබෙනවා.


ඔබ රංගන ක්ෂේත්‍රයට පිවිසුණේ කොහොමද?


මම මුලින්ම රූපවාහිනි වෙළෙඳ දැන්වීම්වලට සම්බන්ධ වුණා. එහෙම සිටින විට මට ටෙලිනාට්‍ය සඳහා ආරාධනා ලැබුණා. නමුත් ඒ වන විට ටෙලිනාට්‍ය සඳහා සම්බන්ධ වෙන්න උනන්දුවක් තිබුණෙ නැහැ අධ්‍යාපන කටයුතු සඳහා මුප්තැන දුන් නිසා. ඉන් පසුව නොහිතපු වෙලාවක 2018 වසරේදී මට දෙවැනි ඉනිම සඳහා ආරාධනා ලැබුණා. ඉතින් ඒකට සම්බන්ධ වුණා.


දැන් අධ්‍යාපන කටයුතු අවසන් කරලා තිබෙන්නේ?


මම විද්‍යාවේදී කළමනාකරණ ගෞරව උපාධිය හදාරලා තිබෙනවා. ඒ වගේම මම ව්‍යාපාර පරිපාලනය සම්බන්ධයෙන් පශ්චාත් උපාධියත් අවසන් කළා. මේ දිනවල මම චීන භාෂාව ඉගෙන ගන්නවා. මම හරි ආසයි හැම වෙලාවෙම අලුතෙන් දෙයක් ඉගෙන ගන්න.


අධ්‍යාපනය ලැබූ ව්‍යාපාර ක්ෂේත්‍රයෙන්ම ඉදිරියට යන්න බලාපොරොත්තුවක් තියෙනවද?


ඔව් අනිවාර්යයෙන්ම. මම දැනට පෞද්ගලිකව කරගෙන යන ව්‍යාපාරයක් තිබෙනවා. ඒකට මම ළඟදීම Hanzy's Clothing.lk කියලා මගේම ඇදුම් ව්‍යාපාරයක් එකතු කරන්න බලාපොරොත්තුවෙන් සිටිනවා. ඒක කාලෙක සිට තිබුණු මගේ හීනයක්. ඊට අමතරව මෙම ආයතන කිහිපයක සන්නාම තානාපතිවරියක් ලෙසත් කටයුතු කරනවා.


රංගනයට පිවිසෙන විට පවුලේ අය කැමැති වුණාද?


ඔව්. පවුලෙන් කිසිම අකැමැත්තක් තිබුණේ නැහැ. නමුත් මට කුඩා කාලයේ ලැබුණු අවස්ථාවලට නම් ගෙදරින් ඉඩක් ලැබුණේ නැහැ.


රංගන ශිල්පිනියක් වෙන්න කුඩා කාලයේ ඉඳන් හීනයක් තිබුණාද?


කුඩා කාලයේ හීනයක් තිබුණා. නමුත් ඒක ලොකු වෙනකොට ටික ටික හිතින් ඉවත් වෙලා තිබුණේ. කාලයක් ගියාට පසුව කුඩා කාලයේ තිබුණු හීනය සැබෑ කරගන්න අවස්ථාව ලැබුණා.


පාසල් කාලයේත් කලා කටයුතුවලට සම්බන්ධ වුණාද?


පන්සලේ English day එකේ නාට්‍යවලට සම්බන්ධ වෙලා තියෙනවා වගේම ගීත ගායනා කරලත් තිබෙනවා.


ප්‍රධාන චරිතයක් කරන්න ලැබුණු මෙම අවස්ථාවේ ඔබට ප්‍රවීණයන්ගෙන් ලැබෙන සහයෝගය ගැන කතා කරමු?


හිතුවක්කාරි ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂවරයාගේ සිට තේ හදන කෙනා දක්වාම හැමෝම හරිම හිතවත්. හොඳට වැඩ කරගෙන යන්න ප්‍රවීණයන්ගෙන් ඇතුළු සියලු දෙනාගෙන්ම විශාල සහයෝගයක්  ලැබෙනවා. මේ වෙලාවේ ආදරයෙන් ඒ හැමෝම මතක් කරනවා.


නවකයෙක් හැටියට මේ ක්ෂේත්‍රය තුළ ඔබ මුහුණ දුන් අභියෝග මොනවාද?


මම මේ ක්ෂේත්‍රයට ඇවිල්ලා දැන් අවුරුදු හතරක් වෙනවා. මම කිසිවෙක්ව අභිබවා යන්නවත්, තරග කරන්නවත් උත්සාහ කරන්නේ නැහැ. අද මම ඉන්න තත්ත්වයට වඩා හෙට මම ඉන්න තත්වය වැඩිදියුණු කර ගන්නයි මම උත්සාහ කරන්නේ. මම මාවම අභියෝගයක් කරගෙන තමයි ඉස්සරහට යන්නේ. සමහර අය ඉන්නවා ඊර්ෂ්‍යාව පදනම් කරගෙන තව කෙනෙක්ව පහතට දාන්න උත්සාහ කරන. මම හිතනවා ඒක හැම ක්ෂේත්‍රයකම වගේ දකින්න ලැබෙන පොදු දෙයක් කියලා.


ඔබ රංගනය හදාරා තිබෙනවාද?

මම ආයතනයකට ගිහින් රංගනය හදාරලා නැහැ. ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් දක්ෂයන් දිහා බලාගෙන මම ස්වයං අධ්‍යයනයක යෙදෙනවා.


ඔබ රංගනයේදී තෝරා බේරා ගැනීම් කරනවද?


ඔව්. මම තෝරා බේරාගෙන රඟපාන්නේ . මගේ පවුල් පරිසරය, මවුපියන් ගැන සිතලා, මට සාධාරණයක් ඉෂ්ට කරන්න හැකියාවක් තිබෙන හොඳ චරිතයක් ලැබුණොත් මම බාරගන්නවා.


වෘත්තීයමය රංගන ශිල්පිනියක් විදිහට ඉදිරියට කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවද?


රංගනයේ නියැළෙන එක මට සතුටක්. මට ලැබෙන හොඳ නිර්මාණවලට ඉදිරියේදීත් අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙනවා. රංගනය වෘත්තියක් ලෙස කරගෙන යන්න අදහසක් නැහැ 


සිනමාවට පිවිසෙන්න අදහසක් තිබෙනවාද?


සිනමාවට පිවිසෙන්න අදහසක් තිබෙනවා. පසුගිය කාලේ මට අවස්ථාත් ලැබුණා. නමුත් මගේ අධ්‍යාපන කටයුතුත් සමග එම නිර්මාණවලට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. කොවිඩ් වසංගතය නිසා සිනමාවට තිබෙන ඉඩ මේ කාලයේ ටිකක් අඩුවෙලා තිබෙනවා. ලෝකයේ සහ රටේ තත්ත්වය යහපත් අතට හැරුණාම ලැබෙන හොඳ නිර්මාණයකට සම්බන්ධ වෙන්න මම  බලාපොරොත්තුවෙන් සිටිනවා.


පවුලේ අය ගැනත් මතක් කරමු?


මගේ පවුලෙ හතර දෙනෙක් ඉන්නවා. අම්මා නියෝජ්‍ය විදුහල්පතිවරියක්. තාත්තා ඉන්ජිනේරුවරයෙක්. මගේ සහෝදරයා තිලිණ  ඔහු Cinematographer කෙනෙක්. ඔහුත් මේ ක්ෂේත්‍රයට සම්බන්ධයි. ඒ අයගෙන් මට ලැබෙන රැකවරණය සහයෝගය අතිවිශාලයි. ඒ වගේම ඒක මට ගොඩක් වටිනවා.


ඉදිරියේදී ඔබව දකින්න පුළුවන් නිර්මාණ මොනවාද?


එකිනෙකට වෙනස් චරිත සහිත නිර්මාණ කිහිපයකම ඉදිරියේදී ප්‍රේක්ෂකයන්ට මාව දකින්න හැකියාව ලැබේවි.


ඉදිරි බලාපොරොත්තු මොනවාද?


සතුටින් යහපත් ජීවිතයක් ගත කරන එක තමයි මගේ බලාපොරොත්තුව.


කුශාන්ති අනුරාධා බණ්ඩාර






Previous Post Next Post