මම කැම­තියි ලැබෙන ආදරේ ප‍ෙර­ස්සම් කර­ගන්න - සෙනාලි ෆොන්සේකා

Tuesday, October 26, 2021 , 0 Comments




ෆොන්සේකා පරපුරෙන් කලා දිවියට අත්පොත් තැබූ මෙම සම්මානනීය කලාකාරිනිය ඇගේ පළමු සිනමා පටය හරහාම ජනතාවට සමීප වූවා ය. තම නැන්දණියගේ එනම් මාලීනි ෆොන්සේකාගේ අඩිපාරේ යමින් සිනමා දිවිය ද වර්ණවත් කර ගන්නා ඇය ඊට නොදවනි ලෙස පුංචි තිරයද හැඩ ගන්වන්නී ය. ඇය නමින් සෙනාලි ෆොන්සේකායි. මේ දිනවල ඉතා ආදරණීය චරිතයක් ලෙස රසික හදවත් තුළට සමීප ඇය සිය ආදරණීයන්ට ඇගේ අලුත් විස්තර ගැන පුවත්පතක් සමඟින් මෙලස පවසා තිබුනා. 


 


සෙනාලි මේ දිනවල කොහොමද ජීවිතේ ගෙවෙන්නෙ?


නාඩගම්කාරයෝ එක්ක තමයි මේ දිනවල ජිවිතේ ගෙවෙන්නෙ සහ රැහේ ටෙලිනාට්‍යයේ මගේ චරිතය නිමා වෙමින් පවතිනවා. නමුත් ටෙලිනාට්‍යය දිගටම විකාශනය වෙනවා.


 


රැහේ ටෙලිනාට්‍ය ගැන කතා කළොත් ඒ සඳහා ලැබෙන ප්‍රතිචාර කොහොමද?


මම හිතනවා අපි ලස්සන කතන්දරයක් මිනිස්සු අතරට ගෙනාවා කියලා. රැහේ නිර්මාණය මට විශේෂයි. මොකද මෙය මගේ ලොකු නැන්දිගෙ චිත්‍රපටයක ප්‍රතිනිර්මාණයක් නිසා. හරිම සතුටින් මම නිර්මාණයට දායක වුණෙ. බලාපොරොත්තු වුණාට වඩා ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. සමහර වෙලාවට කාන්තාවන් ඇවිත් කියනවා අපි බලන්නෙ රැහෙ විතරයි කියලා.


 


නාඩගම්කාරයෝ සුදුචූටි හරහා රංගනයට අමතරව ඔබේ ගායන නර්තන හැකියාවලුත් ඉස්මතු කරන්න අවස්ථාවක් ලැබුණා කිව්වොත්?


ඇත්තටම මට ලොකු ගායන හැකියාවක් නැහැ කියන විශ්වාසයෙන් තමයි මම ඉන්නෙ.නමුත් එතන හිටපු පිරිස මාව දිරිමත් කළා. ලස්සනට ගීත ගායනා කරන්න. බොහෝ පිරිසක් කිව්වා මට ගායනා කරන්නට හැකියි කියලා. ඉතින් මම ඒ වෙනුවෙන් පුරුදු පුහුණු වුණා. නර්තනය නම් කුඩා කාලයේ ඉදන්ම පුළුවන් සහ ආසයි.


 


සුදු චූටි චරිතය ඉදිරියේදි වෙනස්කම් රැසකට භාජනය වෙයි කියලා රසිකයො බලාපොරොත්තුවෙන් සිටිනවා?


සරාගෙයි සුදුචුටිගෙයි ආදරෙ කුතුහලයක් තමයි තියෙන්නෙ. මාස්ටර්ගෙ ලොකු දුව නීතියෙ හැටියට වැඩ කරන හොඳ දේවල් විශ්වාස කරන කෙනෙක්. ඒ දේවල් එක්ක කසිප්පු කාරයෙක් එක්ක යාළුවෙයිද කියන කුතුහලය ප්‍රේක්ෂකයන්ට තියෙනවා. නමුත් කෙනෙක් කෙරෙහි ආදරයක් ආකර්ෂණයක් ඇති වෙන්න එයා කසිප්පු කාරයෙක්ද හොරෙක්ද කියන එක බලපාන්නෙ නැහැ. ඇත්ත ජිවිතේ වෙන දේවල් තමයි අපි නාඩගම්කාරයෝ හරහා ප්‍රතිනිර්මාණය කරලා තිබෙන්නෙ.


 


මේ දක්වා එක් වුණු රංගන විලාසයන්ගෙන් වැඩිපුරම ප්‍රතිචාර හිමිවුණු චරිතය පිළිබඳ කතා කළොත්?


රංගනය ආරම්භ වුණ දා සිට මේ දක්වා අදටත් නොඅඩුව ප්‍රතිචාර ලැබුණෙ සිරිපැරකුම් චිත්‍රපටයේ චරිතයට.මගේ ප්‍රථම චිත්‍රපටයට ලැබුණ ආකර්ෂණය ආදරය අදටත් මට ලැබෙනවා. එයට නොදවෙනි ලෙස නාඩගම්කාරයොන්ටත් ප්‍රතිචාර ලැබෙනවා.


 


සෙනාලි කියන්නෙ කලා පවුලක එක් පුරුකක්. පවුලෙන් ලැබෙන සහයෝගය ගැනත් මතක් කරමු.


ඇත්තටම ගොඩක් අය හිතනවා මගෙ ලොකු නැන්දි මාලිනි ෆොන්සේකා නිසා මට රගපාන්නට අවස්ථා බොහොමයක් ලැබෙනවයි කියලා. එහෙම අවස්ථාවක් මට කොහෙත්ම ලැබෙන්නෙ නැහැ. එහෙම මට ලැබෙනව නම් මම අද මීට වඩා නිර්මාණ සඳහා රංගනයෙන් දායක වී තිබෙන්නට පුළුවන්. මම එහෙම පවුලෙන් වාසි බලාගෙන වැඩ කරන කෙනෙක් නෙමෙයි. ලොකු නැන්දි පවා විශ්වාස කරන දෙයක් තමයි දක්ෂතාවක් තියනව නම් අනිවාර්යයෙන් එළියට දෙන්න කියන එක. කොපමණ අඳුරන හිතවත්කම් තිබුණත් අධ්‍යක්ෂකවරයා අපි හොඳයි කියලා තීරණය කරනව නම් තමයි අපිව ඒ චරිතයට තෝරා ගන්නෙ.


 


ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට දිනෙන් දින නව මුහුණු එකතු වෙනවා. ඒ එකතු වුණු මුහුණු සෙනාලිට අභියෝගයක් කියලා දැනෙන්නෙ නැද්ද?


එ් අභියෝගයක් මම බාර ගන්නෙ හොඳ විදියට. එය නරක පැත්තෙන් බාර අරගෙන වැඩ නැතිවෙයි කියන තැන මම නැහැ. ලැබෙන චරිතයට සියයට දෙසීයක් සාධාරණයක් කරන්න තමයි මට අවශ්‍යය. එය තමයි මට අභියෝගාත්මක. මමත් කුඩා කාලයේ ඉඳන් හීන දැක්කා රංගන ශිල්පිනියක් වෙන්න. ඒ වගෙ තව ගොඩක් අය ඉන්නවා. අවුරුදු හතක් මම දැන් මේ ක්ෂේත්‍රයට ඇවිත්. බොහෝවිට මම කරපු චරිත ප්‍රේක්ෂකයාගෙ හිතේ නැවතුනා කිව්වොත් මම හරි.


 


ඔබ සමාජ මාධ්‍ය ජාලාවල නිතර නොදකින රුවක්. එය ඔබේ ජනප්‍රියත්වයට බාධාවක් කියලා ඔබට සිතෙන්නෙ නැද්ද?


මම සෝෂල් මීඩියා වල ඉන්නවා; නැත්තෙ නැහැ. බොහෝ වෙලාවට මම කරන වැඩේ ඒ වෙලාවට විඳින කෙනෙක්. ඒ කියන්නෙ මම ෂූට් එකකට ගියත් කාලා බීලා විනෝද වෙනවා මිසක් එය ජයාරූපයකට ගන්න මට අමතක වෙනවා. අනික මේක අලුත් තාක්ෂණික යුගයක්. අපි සෝෂල් මීඩියාවල ඉන්නවා වගේම රංගන ශිල්පිනියක් ලෙස අපේ අගයක් තබා ගන්නත් අවශ්‍යයි. මගෙ නැන්දි කියන දෙයක් තියනවා ඒ කාලේ තාක්ෂණය වැඩිපුරම තිබුණෙ නැති නිසා එයාලා මිනිස්සු අතරට ගියෙ රංගනයෙන්; පුවත්පත් වලින් සහ රූපවාහිනියෙන්. එවිට ප්‍රේක්ෂකයා දකින්නෙ නැන්දලාගෙ දක්ෂතා විතරයි. එවිට ආදරෙ වැඩිපුර ලැබෙනවා. මමත් කැමතියි ඒ වගේ එපා නොවන චරිතයක් වෙන්න. හැම තිස්සෙම පෝස්ට් දානවට වඩා මම කැමතියි ලැබෙන ආදරේ පරිස්සම් කරගන්න.


 


රංගනයේදි ප්‍රේමණීය චරිත නිරූපණය කරනවා. සැබෑ ජීවිතයේ ප්‍රේමයේ සුන්දරත්වය විඳින්න බලාපොරොත්තුවක් නැද්ද?


මම සැබෑ ජිවිතේ ප්‍රේමය විඳලා තියෙනවා. මෙච්චර වයසක් වෙලත් ඒ දෙය නෑ කිව්වොත් බොරුවක්. ඒ දේවල් එක්ක මිනිස්සු ගැන ජීවිතේ ගැන ඉගෙන ගත්තා. ඉදිරියේදි හොඳ කෙනෙක් මගේ ජිවිතේට එයි කියලා මම බලාපොරොත්තුවෙන් කාලයට ඉඩදීලා බලාගෙන ඉන්නවා. මට ගොඩක් දේවල් ලැබුණෙ හරි වෙලාවට.