එක රැයකින් තරුවක් වුණාම එක රැයකින් බැහැලා යනවා - සචිත්‍ර යෂ්මින්ද

Friday, October 22, 2021 , 0 Comments

 




ටෙලි නාට්‍ය කලාවේ වෙනස් මානයන් සොයා ගිය "වෙස්, හේළි" වැනි නාට්‍යවල ඔහුගේ රංගන ප්‍රතිභාවය අපූරුවට කියා පෑවේය. එකිනෙකට වෙනස් චරිතවලින් ප්‍රේක්ෂක සිත්සතන්හි ලැගුම්ගත් ඔහු මේ දවස්වල අපට සමීප වන්නේ, "කියාදෙන්න ආදරේ තරම්" ටෙලි නාට්‍යයෙනුයි. ඔහු සචිත්‍ර යෂ්මින්ද වීරසිංහයි. 


යෂ් කියල නික් නේම් එකක් තියෙන්නේ ක්‍ෂේත්‍රයේ භාවිතයේ පහසුවටද?


සචිත්‍ර යස්මින්ද වීරසිංහ කියනවට වඩා යෂ් වීරසිංහ කියන එක පහසුයි. ක්‍ෂේත්‍රයේ බොහෝ දෙනා හදුනනෙත් මාව ඒ නමින්. ඒ නිසා ඒ නමම භාවිත කරනවා.


මේ දවස්වල සම්බන්ධ වී සිටින කලා කටයුතු මොනවාද?

"කියා දෙන්න ආදරේ තරම්" නාට්‍යයේ රූගත කිරීම් කරනවා. තවත් ටෙලි නාට්‍යයකට ආරාධනා ලැබුණත් කොවිඩ් තත්වය නිසා එය තාවකාලිකව නවත්වා තිබෙනවා.


වෙස් නාට්‍යයෙන් ඔබේ ජීවිතයෙත් වෙස් පෙරළුණා නේද?


ඔව්. මං ගොඩක් මිනිසුන් අතර රැදුණේ වෙස් නාට්‍යයෙනුයි.


ඉන්ජින්නේරු ක්ෂේත්‍රය පිළිබඳ හැදෑරීම් කරලා නළුවෙක් වුණේ ඇයි?

රංගනය උත්පත්තියෙන්ම ගෙන ආ ඇගේ තිබුණු දෙයක්. ඒ නිසා එය යටපත් කරගෙන ඉන්න හැකියාවක් නැහැ. රංගන ක්ෂේත්‍රයට මං වැඩියෙන් ආකර්ෂණය වුණෙත් ඒ නිසයි. එකි නැඹුරුවීම තුළ මට පාඩුවක් වුණේ නැහැ.


ඉන්ජිනේරුවකු වීමේ සිහිනය මේ වනවිට සම්පූර්ණයෙන්ම අත්හැරලද?


මං එම හීනය අත්හැරලා දැම්මෙ නැහැ. නමුත් එය මට අතහැරුණා. එය ඉදිරියේදී හැදෑරිය යුතුයි කියලා මං හිතනවා. එවිට රංගනයෙන් තාවකාලිකව ඉවත් වෙලා එයට පූර්ණ අවධානය ලබාදෙනවා.


ඒ කියන්නේ ආර්ථික වශයෙන් ස්ථාවර තත්වයට පත්වෙලා නැවතත් රංගනයට අවතීර්ණ වෙනවද?



එහෙමමත් නෙමෙයි, මම මගේ උපාධිය තවම සම්පූර්ණ කළේ නැහැ. එය සම්පූර්ණ කරගන්න තරමක කාලයක් අවශ්‍යව වෙනවා. නමුත් තවම මට ඒ ගැන ස්ථාවර තීරණයක් නැහැ.


වෘත්තීමය රංගන ශිල්පියකුට ආර්ථික වශයෙන් ශක්තිමත් වීමට හැකියාවක් තිබෙනවා කියා ඔබ විශ්වාස කරනවද?


අමාරුයි. බොහොමයක් දෙනා වෘත්තියක් ලෙස යම් ක්‍ෂේත්‍රයක නිරත වන අතරතුරයි රංගන කටයුතු සිදු කරන්නේ. මමත් වෘත්තීමය වශයෙන් ස්ථාවර තත්වයක් ගොඩනඟා ගන්න බලාපොරොත්තු වෙනවා.


ඔබව බොහෝ විට දකින්නේ ක්‍රියාදාම රංගන ශිල්පියෙක් විදිහටයි. එවන් චරිතවලටම ඔබව තෝරා ගැනීමට විශේෂ හේතුවක් තියෙනවද?


මං මාර්ෂල් ආර්ට් කරල තියෙනවා. යම් චරිතයකට මාව තෝරා ගත්තම නාට්‍ය ටිකක් උස්සන්න මගේ සටන් ජවනිකා එක් කරන අවස්ථා තිබෙනවා. මං ක්‍රියාදාමවලට වැඩි වශයෙන් සම්බන්ධ වුණාට නිරූපණය කළ චරිත එකිනෙකට වෙනස්.



ඔබ ක්‍ෂේත්‍රයට පිවිසෙන්නේ කොහොමද?

මං ක්ෂේත්‍රයට පිවිසෙන්න හඬ කැවීම් ශිල්පියෙක් විදියටයි. ලොකු අම්මගෙ මගපෙන්වීම  මත මං එහි මුලකුරු කියවනවා. ඉන්පසු ක්ෂේත්‍රයට යොමු වී පොඩි පොඩි චරිත නිරූපණය කරන්න අවස්ථාව ලැබෙනවා. එසේ කාලයත් සමඟ හෙමින් නමුත් සාර්ථක ගමනක් යන්න මට හැකියාව ලැබුණා.


රංගනය පිළිබඳ හැදෑරීමක් කර තිබෙනවාද?


නැහැ. රංගනය පිළිබඳව හැදෑරීමක් කරලා නැහැ. නමුත් රංගනයේ නිරත වන විට ලැබෙන හැම අත්දැකීමකින්ම අධ්‍යාපනයක් ලබනවා.


කලා පසුබිම නොමැතිනම් යම් විරසිංහව ක්‍ෂේත්‍රයේ දකින්න ලැබෙන එකක් නැද්ද?


නැහැ. එය එහෙමම කියන්න අපහසුයි. ඔවුන්ගෙන් මට ලැබුණ නිවැරැදි මඟපෙන්වීම පමණයි. දැනහැඳුනුම්කම් මත රංගන කටයුතුවලට සම්බන්ධ වීම මම මට කරගන්න අසාධාරණයක් කියලයි මට හිතෙන්නෙ . මං හැමවිටම විශ්වාස කරනවා යම් කෙනකුගේ පැවැත්ම රඳා පවතින්නේ තමන්ගේ දක්ෂතාව මතයි කියලා. සම්බන්ධකම්වලින් ඉදිරියට යනවට වඩා කට්ට කාගෙන ඉදිරියට යෑමයි වැදගත්.


එකපාරම කඩපාවෙන සබන් බෝල වගේ නළු නිළියන් හා ක්ෂේත්‍රෙය් හැලහැප්පිම් එක්ක ඉදිරියට යන රංගන ශිල්පීන් අතර වෙනසක් ඔබ දකිනවාද?


මම බොහෝ විට සමාජයේ විවිධ තරාතිරම් හා ගැටෙන කෙනෙක්. එදිනෙදා අපට ඇස ගැටෙන චරිත අපි හොඳින් අධ්‍යයනය කරන්න අවශ්‍යයි. යම් චරිතයක් තුළින් නිරූපණය කරන මනුස්සයෙක්ගේ ජීවිතය තුළින් මට ගෝචර වුණු දෙයක්. එක රැයකින් තරුවක් වුණාම එක රැයකින්ම බැහැලා යනවා. එය කාලයක් තිස්සේ මහන්සි වෙලා, හොඳ නිර්මාණවලට සම්බන්ධ වෙලා, සමාජය විලේෂණය කරලා, ගොඩනඟාගත් කෙනකුගේ හැකියාවට සම වෙන්නේ නැහැ.


ඔබ මෙතෙක් වැඩ කරලා නැති නමුත් ඉදිරියේදී වැඩ කරන්න කැමැති අධ්‍යක්‍ෂවරයෙක් සිටිනවාද?

මං ගොඩක් නිර්මාණවලට දායක වුණු කෙනෙක් නෙමෙයි. මෙතෙක් මට වැඩ කරන්න ලැබුණ හැම අධ්‍යක්‍ෂවරයෙක්ටම මං ගොඩක් ආදරෙයි වගේම කැමතියි. විශේෂයෙන්ම ධනුක රත්නායක අයියව මතක් කරන්න කැමැතියි. අශෝක හඳගම, ජයන්ත චන්ද්‍රසිරි  ධනුක රත්නායක අයියව මතක් කරන්න කැමැතියි. අශෝක හඳගම, ජයන්ත චන්ද්‍රසිරි වැනි ප්‍රවීණයන් සමග වැඩ කරන්න මං බොහොම කැමැත්තෙන් සිටිනවා.


ආදරය ගැන මොකද හිතෙන්නේ?


මනුස්සයෙක්ව ජීවත් කරවන්න ඔක්සිජන් තරමටම ආදරයත් අවශ්‍යයි. ඒ ආදරය අපට විවිධාකාරව හමුවිය හැකියි. මවුපියන්ගෙන්, සහෝදර සහෝදරියගෙන් ලැබෙන ආදරයත් එයට අයිතියි. ආදරයක් හරියාකාරව ලැබෙනව නම් යම් කෙනකුට අරමුණකට ළඟාවෙන්න පහසුයි.


 ඔබේ අරමුණට යන්න ගැළපෙන සහකාරියක් මුණගැසුණද?

 තවම නැහැ.


අනාගත බලාපොරොත්තු මොනවාද?


රංගන ක්ෂේස්ත්‍රයෙන් ජාත්‍යන්තර මට්ටමට යන්න බලාපොරොත්තුවක් තියෙනවා. එය නුදුරේදීම සාර්ථක වෙයි කියලා විශ්වාස කරනවා.