ඇක්ට් එකට වඩා රිදම් එකට කැමැති ජූඩා

Thursday, October 21, 2021 , 0 Comments



මේ දිනවල විකාශය වන ‘නාඩගම්කාරයෝ,’ ‘පාර දිගේ’ ඇතුළු ටෙලිනාට්‍ය රැසක් ඔබට තිළිණ කළ සද්ධා සූරිය මංගල බණ්ඩාර නම් ප්‍රවීණ තිරපිටපත් රචකගේ ආදරණීය පුත් ඉඳුවර සූරියබණ්ඩාර මේ දිනවල විකාශය වන ‘පාරදිගේ’ ටෙලිනාට්‍යයේ ‘ජූඩා’ ලෙසින් ඔබට සමීප වෙනවා. ඉතින්  ‘ජූඩා’ගේ රංගන චාරිකාව ගැන ඔහු මෙලෙස පුවත්පතක් සමඟින් පවසා තිබුනා.


ඉතින් කොහොමද..?

හොඳින් ඉන්නවා කලා කටයුතු කරගෙන.


ඔබට ‘සූරිය’ කියලා කතා කරන්නද ‘ජූඩා’ කියලා කතා කරන්නද?

මාව ගොඩාක් දෙනෙක් දැනහඳුන ගත්තේ ‘ජූඩා’ ලෙසින් තමයි. අදටත් පාර තොටේදී මාව කවුරු හරි දැක්කොත් ‘ජූඩා’ කියලා තමයි කතා කරන්නේ. ඉඳුවර සූරිය බණ්ඩාර නමත් මතු වුණේ ‘ජූඩා’ නිසයි. ඉතින් මම ‘ජූඩා’ට කැමැතියි.


ඉතින් කියමුකො බලන්න ‘පාරදිගේ’ – ‘ජූඩා’ වුණේ කොහොමද කියලා?

නළුවෙක් වෙන්න මගේ හිතේ ආශාවක් තිබුණේ නැහැ. මගේ තාත්තා තමයි සද්ධ සූරිය මංගල බණ්ඩාර කියන්නේ. ඔහුගේ මගපෙන්වීම යටතේ තමයි මම මේ ක්‍ෂේත්‍රයට සම්බන්ධ වුණේ. ප්‍රසන්න මහාගමගේ සර් යටතේ රංගන පිළිබඳව අවුරුද්දක් විතර හැදෑරුවා. ඉතින් ඔහොම කාලය ගෙවාගෙන යනකොට හිතට පොඩි ආශාවක් ආවා රඟපාන්න.


ඔබේ පළමු රංගනය ප්‍රේක්‍ෂකයන්ට විඳීමට හැකිවුණේ ‘පාරදිගේ’ හරහා. ඉතින් ඒ වෙනස් අත්දැකීම ඔබට දැනුණේ කොහොමද?

රංගනය කියන්නේ අමුතු දෙයක්. එය හිතන තරම් කරන්න පහසු දෙයක් නෙවේ. රඟපානවා කියල නිකම් ආවාට ගියාට රඟපාන්න බැහැ. චරිතය හොඳට තේරුම්ගෙන ඒ තුළ ජීවමාන රංගනයක් කිරීමයි වැදගත්. ඉතින් ‘ජූඩා’ චරිතය පැහැදිලිව කිවුවොත් මට අභියෝගයක් වුණා. හිතේ බයක් තිබුණා මට කරගන්න පුළුවන් වෙයිද කියලා. ඉතින් සියලුමදෙනාගෙන් ලැබුණු සහයෝගය එක්ක මගේ අඩුපාඩුකම් හදාගෙන ‘ජූඩා’ට සාධාරණයක් කිරීමට මම උත්සාහ කළා.


ඔබ රංගනයෙන් වාගේම පසුබිම් සංගීතයෙන්ද ‘පාරදිගේ’ට දායකත්වය සපයනවා?

මම මුලින්ම ‘අග්නි පියාපත්’ ටෙලිනාට්‍යයට තමයි පසුබිම් සංගීතයෙන් සම්බන්ධ වුණේ. මම පොඩි කාලේ ඉඳලම උත්සාහ කළේ මගේ

හැකියාවෙන් ඉදිරියට යන්න. මම රඟපෑමට වඩා කැමැත්තක් තිබුණේ සංගීත පැත්තට තමයි. ඒ ආශාවත් එක්ක තමයි ටෙලිනාට්‍යවලට පසුබිම් සංගීතයෙන් සම්බන්ධ වුණේ. පිටපත හොඳට කියවලා, බලලා මොන වගේ රිදම් එකක්ද කියලා තේරුම් අරගෙන එයට ගැළපෙන විදියට සංගීතය සපයනවා.


‘ජූඩා’ගේ ඉදිරි සැලැසුම කොයි වගේද?

චිත්‍රපට අධ්‍යක්‍ෂණය පැත්තට යොමුවෙන්න තමයි මගේ එකම බලාපොරොත්තුව. මගේම රංගනයත් වගේම සංගීතයත් මුසුකොට හොඳ නිර්මාණයක් කිරීම තමයි මගේ මීළඟ පියවර.


වසන්ත විතාරණගේ