රූපය ලස්සන වෙලා දෙබස් කටපාඩමින් කිව්වා කියලා රංගන ශිල්පීන් වෙන්න බැහැ - කුසුම් රේණු

Wednesday, September 15, 2021 , 0 Comments




විටෙක ඇය ගජබා රජතුමාගේ සිත්ගත් “පුරන්සිනා” විය. තවත් විටක ඇය “ජසයා හා ලෙන්චිනා” හී “ලෙන්චිනා” වී සැමගේ සිත් සතන් සොරා ගත්තාය. දෙවැනි මහින්ද වේදිකා නාට්‍යයේ “වාසුකි” වී හොඳම නිළිය ලෙස සම්මානනීය වූ ඒ අපූරු රංගන පෞරුෂය ඊට හාත්පසින්ම වෙනස් වුයේ “නෝනාවරුනි මහත්වරුනි” හි මධුරි වීමෙනුයි. මේ අටුවා ටීකා දිගහැරුණේ සොදුරු කලාකාරිනියක් වූ කුසුම් රේණු ගැනයි. ඇයගේ අලුත්ම විස්තර ගැන පුවත්පතක් සමඟින් ෙමලස පවසා තිබුනා.


කොහොමද මේ දවස්වල ජීවිතේ?


හිතේ ලොකු සතුටක් නැති කාලයක්. වසංගත තත්වය නිසා මියයන සංඛ්‍යාව ඉතාමත් ඉහළයයි. ඒ නිසා මගේ වැඩිමහල් සහෝදරයාගේ ජීවිතයත් අහිමි වුණා. ජීවිතය කොයිතරම් කෙටිද කියා උගන් වන දුක්බරම කාලයකයි අප මේ ජීවත් වෙන්නේ.


කලා කටයුතුවලට මේ දිනවල සම්බන්ධ වුණාද?


මේ දිනවල බොහොමයක් කලා කටයුතුවලට මම සම්බන්ධ වුණේ නැහැ. “chat and music" වගේ වැඩසටහන්වලට සම්බන්ධ වුණා. ඒ වගේම සිරස ගුවන්විදුලි නාට්‍යයේ හඬ කැවීම් ගෙදර සිට සිදුකරනවා. ඊට අමතරව ඒකාබද්ධ කලා සංගමයේ ලේල්කම් විදිහට මං  කටයුතු කරනවා. එකී සංගමය තුළින් දුෂ්කර පළාත්වල අසරණ වෙලා සිටින ජනතාවට සහන සැලසීමට වියළි ආහාර මලු ලබාදීම, සාමාජික කලාකරුවන්ට සහන බඩු මලු ලබාදීම හා කොවිච් නිසා අසරණ වී සිටින සහෝදර කලාකරුවන්ට බෙහෙත් හේත් හා බඩු මලු ලබාදීම මේ දිනවල සිදු කරනවා.


ඔබ හා ඔබගේ සමකාලීනයන් කලා ක්ෂේත්‍රයේ ඉදිරියට ක්‍රමානුකූලව පියවර තැබුවත් වර්තමානයේ නවකයන් එක් පිම්මකින් තරු බවට පත්වෙනවා. ඔබ මෙම ද්විත්ව යුගයන්හි රංගන ශිල්පීන් අතර යම් වෙනසක් දකිනවාද?


ඕනෑම ගමනක සුන්දරත්වය හා නිසි ප්‍රමිතිය රඳා පවතින්නේ පියවරෙන් පියවරට ගමන්  කිරීම තුළයි. එහිදී මූලිකම ලක්ෂණය හැදෑරීමයි. හතු පිපෙනවා වගේ බිහිවෙන නවක  රංගන ශිල්පීන් ගැන හිතට දැනෙන්නේ ලොකු කනගාටුවක්. ඔවුන්ට නිසි මගපෙන්වීම හා  ඔවුන්ව රංගන වැඩමුළුවලට යොමු කිරීමේ වගකීම ඒ නිර්මාණවලට සම්බන්ධ කරගන්නා ප්‍රවීණයන්ගේ කාර්යභාරයක්. කලාව කියන්නේ ජනතාවගේ බුද්ධියට කතා කරන මාධ්‍යයක්. ඒ නිසා දෙබසක් කටපාඩමින් කියන්න පුළුවන් වීම තුළවත්, රූපය ලස්සන වීම  තුළවත් රංගන ශිල්පීන් වෙන්න අපහසුයි.


“නෝනාවරුනි මහත්වරුනි” ටෙලි නාට්‍යයේ මධුරිගේ චරිතය ඔබගේ රංගන ජීවිතය උඩු යටිකුරු කළා නේද?


මධුරිගේ චරිතය මගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය කියා කීවොත් නිවැරදියි. 1984දී වේදිකාවේ රංගන ශිල්පිනියකට හිමිවිය යුතු හොඳම සම්මානය වන රණමයුර සම්මානය මට හිමි වෙනවා. ඒ සම්මානයත් ලබාගෙන 1986දී මං රංගනයෙන් කෙටි විරාමයක් ලබා ගන්නේ මගේ දරුවා සමඟ වැඩි කාලයක් ගතකිරීමටයි. දෙවැනි වතාවට රංගන ජීවිතයට මං පිවිසෙන දෙවැනි මහින්ද වේදිකා නාට්‍යයෙන්. ඒ නාට්‍යයට රාජ්‍ය සම්මාන උළෙලේ හොඳම නිළිය සම්මානය මට හිමි වෙනවා. ඉන්පසුව “ගාමණි" කියලා නාට්‍යයක අධිතාත්වික චරිතයක් වගේම “නෝනාවරුනි මහත්වරුනි” හි මධුරිගේ චරිතය මට එක විට කිරීමට ආරාධනා ලැබුණා. නමුත් ඒ නාට්‍ය දෙකෙහිම එකිනෙකට වෙනස් රංගනයන් සිදු කරන්න මට හැකි වුණා. “නෝනාවරුනි මහත්වරුනි" නාට්‍යයේ මධුරිගේ චරිතයට සාධාරණයක් ඉටු කරන්න මට ලොකු ශක්තියක් වුණේ විජය නන්දසිරි අයියයි.


ඔහුගේ වාග් විලාසය මගේ රංගනයට බෙහෙවින් පහසු වුණා. එය කොතෙක් සාර්ථක වුණාද කියනවා නම් බොහොමයක් මිනිසුන් ඇත්තටම හිතුවේ විජය නන්දසිරි මගේ නීත්‍යනුකූල ස්වාමිපුරුෂයා කියලයි. හාස්‍යමය රංගනය කියන දෙබස් මැනවින් උච්චාරණය කරමින් මතු කරගත යුතු තාත්වික රංගනයක් කියායි එදිරිවීර සරස්චන්ද්‍ර මහතා කියන්නේ. දෙකට කැඩුණු පණුවෙක් වගේ දඟල දඟල තමන් විහිළුවක් වෙන එක හාස්‍යමය රංගනයක් නෙමෙයි. තමන් සිරියස් වෙන තරමටයි එය ප්‍රේක්ෂකයන්ට කොමඩි එකක් බවට පත් වන්නේ. ඒ ඇවතුම් පැවතුම් වගේම ඒ ලක්ෂණ මගේ හා විජය නන්දසිරි සංකලනය තුළ තිබුණා කියා මං විශ්වාස කරනවා.


රංගන විශ්වවිද්‍යාලයක් වූ වේදිකාව තුළින් ලබන උසස් අධ්‍යාපනය කෙමෙන් කෙමෙන් නවකයන්ට අහිමි වෙනවාද කියා සැකයක් තියෙනවා. සාපේක්ෂව වේදිකාව පසුබෑමට ලක්වෙලා නේද?


නැහැ... මං කිසිසේත්ම වේදිකාවේ පසුබෑමක් දකින්නේ නැහැ. බොහොමයක් නවකයන් වේදිකාව අති දක්ෂව ග්‍රහණය කරගෙන සිටිනවා. වේදිකාවට ගොඩවෙන්නේ එක්තරා පිරිසක් පමණයි. නමුත් වේදිකාව හිස් වෙලා නැහැ. වේදිකාව අදටත් පෝෂණය තත්වයක පවතිනවා කියා මම විශ්වාස කරනවා.


ඔබගේ හා ශ්‍රියන්ත මෙන්ඩිස් මහත්මයාගේ ප්‍රේම වෘතාන්තය ක්ෂේත්‍රයේ බෙහෙවින් කතාබහට ලක්වෙන්න ඇති. ඒ මතකය අලුත් කළොත්?


වේදිකා නාට්‍ය තුළින් මං ඔහුව හ4දුනා ගත්තා 1984දී සයිමන් නවරත්ගම මහත්මයාගේ පණ්ඩුකාභය වේදිකා නාට්‍යයේ මං උම්මාද චිත්‍රාගේ චරිතයට හා ශ්‍රියන්ත අයියා දිසගාමිණීට රඟපානවා. ඒ වේදිකා නාට්‍යයේ විශාල පිරිසකගෙන් මං හඳුනන කෙනකුට හිටියේ ශ්‍රියන්ත අයියා විතරයි. ඒ නිසා ඔහුත් සමග ටිකක් ළඟින් ඇසුරු කරන්න මට හැකියාව ලැබුණා. ඒ වගේම ඒ නාට්‍යයේ තිබුණු ප්‍රේම ජවනිකා නිසා තවත් ඔහුගේ ඇසුර මට ළඟින්ම දැනුණා. එසේ කාලයක් ගත වන විට එය ප්‍රේම සම්බන්ධයක් දක්වා දුරදිග ගියා. මං බෞද්ධ වීමත් ඔහු කතෝලික වීමත් නිසා අපේ සම්බන්ධෙට පවුලින් ලොකු කැමැත්තක් තිබුණේ නැහැ. නමුත් ඒ ගැටලු නිරාකරණය වෙලා 1986දී අපි විවාහ දිවියට එළැඹුණා.



දේශපාලනයට යොමු වීම තුළ සුන්දර කලාකරුවා අහිමි වෙනවා කියලා මතයක් තියෙනවා. ඔබ ඒ ගැන දරන අදහස කුමක්ද?


කලාකරුවන් කියන්නේ අනාගතය දකින පිරිසක්. ඔවුන් දකින දේ කියන්න ඔවුන්ට පෞද්ගලික අයිතියක් තියෙනවා. ඔවුන්ට කොටස් කරලා, වෙන් කරන්න ඔවුන් අමුතු සතු කොට්ඨාසයක් නෙමෙයි. ඔවුනුත් සමාජයේ එක්තරා කණ්ඩායමක්. එක් එක් පුද්ගලයන්ගේ දේශපාලන මතිමතාන්තර වෙනස් වෙනවා. පවතින වකවානුවේදී, ඒ මොහොතේදී ඡන්දය දිය යුතු හොඳම කෙනාවයි අප තෝරා ගැනීමට උදවු කළ යුත්තේ. මන්ගේ දේශපාලන මතවාදය හංගන්නෙ නැතිව ප්‍රකාශ කරන්න තරම් කශේරුකාවක් මට තිබීම ගැන මං සතුටු වෙනවා. මඩේ ඉන්දපු ඉන්නක් වගේ දෙපැත්තට වැනි, වැනී ඉන්නවට වඩා ඒය ගෞරවනීයයි.