වේදිකාවෙන් ආව නිසා මට චිං ගේ චරිතය කරන්න ලේසි වුණා - අමාලි දීපිකා

Wednesday, September 15, 2021 , 0 Comments

 



චලෝ, පුර්ණ සහ චිං කියන්නේ මේ දිනවල ස්වර්ණවාහිනී නාළිකාවේ විකාශය වන චලෝ නාට්‍යයේ ප්‍රධාන භූමිකා තුන. ඒ අතරත් චිං ගැන මේ දවස් වල බොහෝ දෙනා කතා වෙනවා. ඒ නිසාම  චිංට පණ පොවන අමාලි දීපිකා ෙම් දවස් වල අලුත් විස්තර ගැන ෙමලස පුවත්පතක් සමඟින් පවසා තිබුනා.


 


කොහොමද චිං ට ලැබෙන ප්‍රතිචාර?


ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ ගැන නිහතමානී සතුටක් තියෙනවා.


 


කොහොමද චිං වෙන්න අමාලිට අවස්ථාව ලැබුණේ?


මේ චලෝ නාට්‍යය පටන් ගන්න මුල් කාලේ මෙහි අධ්‍යක්ෂ හසුන් සමීර අයියා චිංගේ චරිතයට කෙනෙක් හොයලා තියෙනවා. එතැනදී තමා සංජීව උපේන්ද්‍ර අයියා කියලා තියෙන්නේ ඔය කියන හැඩරුව සහ රඟපාන්න පුළුවන් කෙනෙක් විදියට මගේ ගැන. එදා සංජීව අයියම තමා හසුන් අයියට කතා කරන්න මට දුරකතන ඇමතුම අරන් දෙන්නේ. ඒ විදියට සංජීව අයියගේ මඟ පෙන්වීම යටතේ තමා මම චිංගේ චරිතය මට ලැබෙන්නේ.


 


මොකද හිතුණේ මේ චරිතය ලැබුණාම?


මේක 2008 වසරේ උසස් පෙළ පන්තියක දරුවන් වටා ගෙතුණු කතාවක්. අනික් අතට මම පාසල් වයස ඉක්මවලා ඉන්න කෙනෙක් විදියට මට පාසල් චරිතයක් කරන්න ලැබීමත් විශේෂත්වයක්. ඒ වගේම බිබිල කියන ගමට ගියාම වැව් වලින් නාලා ගංගා වලින් එගොඩ මෙගොඩ වෙලා, යන්න එන්න පාරක් හරි හැටි නැති. ද්‍රරිද්‍රතාව පෙන්නුම් කරන වටපිටාවක නිර්මාණයක් නිසා චිං කියන චරිතයෙන් මම වෙනස්ම අත්දැකීම් ලැබුවා. මට ෆුට් බෝල් කියන්නෙම අලුත් දෙයක්. මෙතැනදී මතක් කරන්න ඕනේ චලෝ නිර්මාණයේ ම අපේ ෆුට් බෝල් කණ්ඩායමේ පුහුණුකරු විදියට ඉන්න සුරන් දිසානායක. එයා රංගන ශිල්පියෙක් වුණත් සැබෑ ජීවිතෙත් ෆුට් බෝල් පුහුණුකරුවෙක් නිසා එයා මට විශේෂයි. මොකද ජීවිතේටවත් ෆුට් බෝල් සෙල්ලම් නොකරපු කෙනෙක් වුණු මට ඔහු ලොකු සහයෝගයක් ලබා දෙමින් චරිතයට අවශ්‍ය විදියට මාව හසුරුවනවා.


 


මේ චරිතය අභියෝගයක් කියලා හිතුණේ නැද්ද?


මට මුලදි චකිතයක් තිබුණා. මුලින්ම හිතුවා දර්ශන තලයට ගිහින්ම බලනවා කියලා. බිබිල කියන පරිසරයට ගිහින් පාසල් ඇඳුම ඇන්දට පස්සේ අලුත්ම ජවයක් ආවා. පාසල් සුදු ඇඳුම ආයෙම ඇඳලා ඉන්නකොට හිතට පිරිච්ච ස්වභාවයක් දැනුණා. මුල් කොටස් කිහිපය රඟපානකොට තමා මටත් මේ චරිතයේ තියෙන ගැඹුරු ස්වභාවය දැනුණේ. මම වේදිකාවෙන් ආව කෙනෙක් නිසා මගේ තියෙන දක්ෂතා සහ පුහුණුවීම් එක්ක මට පුළුවන් වුණා චිංගේ චරිතයට හැඩගැහෙන්න.


 


ඔබ කලාවට ආධුනික කෙනෙක් නෙවෙයි, අපි අතීතය මතක් කරොත්?


ඇත්තටම මම පුංචි කාලේ ඉඳන්ම කලා පසුබිමක හැදෙන කෙනෙක්. මගේ තාත්තා වේදිකාව සමීපව ඇසුරු කරන කෙනෙක්. ඒ වගේම තමා මම පුංචි කාලේ ඉඳන්ම භරත සහ උඩරට ආදී නැටුම් සම්ප්‍රදායන් හදාරලා තියෙනවා. තාත්තගේ ආභාසයෙන් මම 2006 දී මුලින්ම වේදිකාවට එන්නේ වේදිකා නාට්‍ය නිළියක් විදියට. නර්තනයෙන් සහ වේදිකා නාට්‍ය පැත්තෙන් සම්මාන පවා ලැබුවා. වේදිකා නාට්‍ය බලන්නේ සීමිත පිරිසක් නිසා නිළියක් විදියට ප්‍රේක්ෂකයන් එතරම් පිරිසක් මාව හඳුනා ගන්නේ නැහැ. චිං කියන චරිතයෙන් තමා නිළියක් විදියට බහුතර ප්‍රේක්ෂකයන් පිරිසක් අතරට එන්න අවස්ථාව ලැබුණේ.





චිං පාසලේ ඉගෙන ගත්තට අමාලි නම් පාසලේ උගන්වන කෙනෙක් නේද?


ඔව්. මගේ වෘත්තීය ගුරු වෘත්තීය. මහරගම මධ්‍ය මහා විද්‍යාලයේ නර්තනය හා රංග කලාව විෂය උගන්වන්නේ. මම වෘත්තියෙන් ගුරුවරියක් වුණත් කලින් කරන් ආව කොටස නවත්තන්න කැමති නැහැ. ඒ නිසා කරගෙන ආව නර්තනය සහ වේදිකා නාට්‍ය නිර්මාණවලින් ඈත් වෙන්නේ නැහැ. මම ආස හැමදාම කලාව තුළ නියැළෙන්න. මොකද නර්තනය සහ නාට්‍ය තමා මගේ ජීවිතය. ඒ නිසා වෘත්තියට කැපවෙන ගමන් කලාව තුළත් නියැළෙනවා.


 


ගුරුතුමී ළමයෙක් වෙලා ඉන්නකොට පාසලෙන් ලැබෙන ප්‍රතිචාර ගැනත් කියමු


පාසලේ සහෝදර ගුරු මහත්ම මහත්මීන් කියනවා අපි එක්ක සාරියකින් වැඩිහිටියෙක් වගේ ඉන්න අමාලි පොඩියට පාසල් ඇඳුම ඇඳලා ඉන්නවා දකිද්දී හරි සතුටුයි කියලා; ඒවගේම හරි පුදුමයි දඟල දඟල ඉන්නවා දකිද්දී කියලා. ඒ වගේම දරුවෝ නම් ඉතින් කියන්නේ අනේ අපේ ටීචර් හරි ශෝක් ආදරේ හිතෙනවා කියලා.


 


චරිත තෝරා බේරා ගන්නේ කොහොමද?


ලංකාවේ තියෙන සමහර සමාජීය ගැටලු කිහිපයක් තියෙනවනේ. ඇතැම් චරිත සමාජය බාර ගන්න විදිය එක්ක. ඒ කොහොම වුණත් පිටපතට සාධාරණයක් කරන්න පුළුවන් විදියට නිර්මාණයේ අවශ්‍යතාව අනුව මගේ සීමාව තුළ ඉඳන් ලැබෙන ආරාධනා ඉදිරියටත් බාර ගන්නවා.


 


හෙට දවස ගැන තියෙන බලාපොරොත්තු මොනවද


මේ ගමන එන්න මට හැමදාම උදව් කළේ මගේ අම්මා තාත්තා. අදටත් ඒ දෙන්නගේ ආශිර්වාදය මට නොඅඩුව ලැබෙනවා. ඒ ආදරය ආශීර්වාදය ඉදිරියටත් ලබමින් නර්තනය නාට්‍ය කලාව සහ රංගනය කියන දේ ජීවිතෙන් අත නොහැර ඉදිරි ගමන ලස්සනට ගෙවන්න තමා බලාපොරොත්තුව.