දෝණි තමයි මුළු ලෝකයම -ඉෂාරා සඳමිණි

Thursday, August 12, 2021 , 0 Comments




ඇය පුංචි තිරයේ අහිංසකාවියයි. රංගනය වගේම නිවේදනයෙන්ද ඔබේ හදවතට ආමන්ත්‍රණය කළ ඇය දැන් ආදරණීය මවක්. වෘත්තීයෙන් ආයුර්වේද වෛද්‍යවරියක වන ඇය වසර පහකට පසුව නැවතත් තමන්ට හුරුපුරුදු කැමරාව ඉදිරියට ඇවිත්. නමින් ඇය ඉෂාරා සඳමිණි. කාර්යබහුල වෙලාවක වුවත් සරසවිය අපි වෙනුවෙන් ඇගේ කාලය වෙන් කළේ මේ ආකාරයෙන්.


 


ඔබ වසර ගණනකට පසු නැවතත් ක්ෂේත්‍රයට ඇවිත්?


හිරු නාළිකාවේ විකාශය වන අහස් මාලිගා සඳහා රංගන දායකත්වය ලබා දෙනවා මේ දිනවල. අහස් මාළිඟා හා සම්බන්ධ වීමට ප්‍රථම ආරාධනා බොහොමයක් ලැබුණත් මම ඒවා ප්‍රතික්ෂේප කළා. විශේෂයෙන්ම දුර පළාත්වල රූගත කිරීම් සඳහා යෑමට නොහැකියි දැන් බබා නිසා. ඒත් මටත් හිතුණා වෙනසක් කළ යුතුයි ආයෙම කලාව හා සම්බන්ධ විය යුතුයි කියලා ඒ නිසා අහස් මාලිගාවලින් වැඩ ආරම්භ කළා.


 


අහස් මාලිගා හා ඔබ සම්බන්ධ වෙන්නේ අතර මැදදි. කළින් ඔබේ චරිතය රඟපෑවේ වෙනත් ශිල්පිනියක්?


මම නිර්මාණයේ අධ්‍යක්ෂ නිවන්ත ප්‍රසාර සමඟ මේ ගැන කතා කළා. ඔහු කිව්වේ මට ඇය වෙන්න එපා එය එහෙම වුණොත් අනුකරණයක් වෙනවා. ඔයා ඔයාගේ විදිහට රඟපාන්න ඔයාගේ පැත්තෙන් ඔයාට කරන්න පුළුවන් දේ කරන්න කියලා. ඒ චරිතය මට දැනෙන විදිහට මම කළා. හොඳ ප්‍රතිචාර ලැබෙනවා.


 


වසර ගණනකට පසු නැවත කැමරාව ඉදිරියට එනවිට මොකද හිතුණේ?


මට හිතුණා රඟපාන්න බැරිවෙයි කියලා. මුලදි මට පොඩි චකිතයක් දැනුණත් ටික වෙලාවකට පසුව ඒක හරි ගියා. මීට අවුරුද්දකට පමණ පෙර මම ස්වර්ණවාහිනී ආයුබෝවන් ශ්‍රී ලංකා උදෑසන වැඩසටහන මෙහෙයවීම ආරම්භ කළා. ඒ නිසා තවත් පහසු වුණා නැවත රඟපානවිට.


 


ඔබ දැන් දියණියක් සිටින ආදරණීය මවක්. ඇය සමඟ ගෙවන කාලය කොහොමද?


දෝණි තමයි අපේ මුළු ලෝකෙම. දැන් එයාට අවුරුදු තුනයි. එයාගේ නම ඉසස්‍යා සිදුප්‍රී සදුමිණී පතිරණ. මගේ ස්වාමියා අනුර පතිරණ. ඔහුගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා මගේ කටයුතු කරගන්න. අපි දෙන්නම තමයි අපේ බබාව බලාගන්නේ. මම කාර්යබහුල වෙලාවට ඔහු ඒ කාර්යය කරනවා. විවාහ වීමට පෙර සිටම මම හරිම කාර්යබහුලයි. බබා ලැබුණට පසුව ඇය සමඟ කාර්යබහුල වුණත් ගෙදරට ම වී සිටීම යම් මානසික පීඩනයක් වුණා. මෙය වටහාගත් මගේ ස්වාමියා අරුණ මට කිව්වා අපි කොහොමහරි කාලය කළමනාකරණය කරගමු. ඔයා නැවත නිර්මාණ කටයුතු ආරම්භ කරන්න කියලා. අනුර මට ලොකු ශක්තියක්.


 


ඔබේ ආයුර්වේද යූටියුබ් නාළිකාව හරිම ජනප්‍රියයි?


(සිනාසෙමින්) මම ආයුර්වේද වෛද්‍යවරියක් වගේම කලාවෙත් ඉන්න කෙනෙක් නිසා මට අවශ්‍ය වුණේ මේ දෙකටම ගැළපෙන දෙයක් කරන්න. මගේ බලාපොරොත්තුව වුණේ මිනිස්සු නීරෝගීව ඉන්න ගමන් ලස්සනට තියන්න. මුලින් හිතුවේ ආයුර්වේද ට්‍රීට්මන්ට් සෙන්ටර් එකක් පටන් ගන්න වුණත් පවතින වසංගත තත්ත්වය එක්ක එය කල් දාන්න සිදු වුණා. ඒ නිසා යූටියුබ් චැනල් එක ආරම්භ කළා. හැමෝටම ආරධනා කරනවා ආයුර්වේද බයි ඉෂාරා සඳමිණි යූටියුබ් චැනලය හා එකතු වෙන්න කියලා.


 


ඔබ ප්‍රධාන චරිතය නිරූපණය කළ උතුම් පැතුම් ටෙලිනාට්‍යය නැවත විකාශය වෙනවා. එදා ඔබ කළ රංගනය දෙස අද බලනවිට මොකද හිතෙන්නේ?


ඇත්තටම සතුටුයි. එයට අදටත් ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. වෙනත් වෘත්තියක් කිරීමෙන් වේතනයක් පමණක් ලැබුණත් කලාව කිරීමෙන් මුදල් ලැබෙනවාට වඩා ආත්මතෘප්තියක් ලැබෙනවා. ඒ දවස්වල මට තිබුණ කාර්යබහුලත්වය නිසා මට උතුම් පැතුම් බලන්න වුණේ නෑ. අද බලනවිට ලොකු සතුටක් තියෙනවා.


 


අවුරුදු පහකට පසුව නැවත ක්ෂේත්‍රයට එනවිට මොකද හිතුණේ?


අද බොහෝ දෙනා කලාව සමඟ එකතුවෙලා. තරුණ ශිල්පීන් ශිල්පිනියන් බොහොමයක් ඇවිත්. පිරිස වැඩි නිසා මම හිතුවේ නෑ මා වෙනුවෙන් ඉඩක් ඇති කියලා. ඒත් ඒ හිඩැස එලෙසම තිබුණා. ඒ පිළිගැනීම එලෙසමයි. මම නිර්මාණ විශාල ප්‍රමාණයකට දායකවෙලා නොතිබුණත් ඒ හැම නිර්මාණයකම ලැබුණ චරිත හදවතට දැනුණ ඒවා. ඒ කාලේ මට ජනප්‍රියම නිළියට හිමි සම්මානයත් ලැබුණා. කලාව තුළින් මට මුදලක් ලැබුණත් කලාව කියන්නේ මගේ විනෝදාංශය.


 


අහස් මාලිගාහි ඔබට කටයුතු කරන්න වෙලා තියෙන්නේම නවක නළු නිළි පිරිසක් එක්ක. කොහොමද ඒක දැනුණේ?


පළමු වතාවට තමයි මේ අය මට හමුවුණේ. අපි මේ තරුණ පිරිස සමඟ ගනුදෙනු කළ යුතු ආකාරයක් තිබෙනවා. අපි ජ්‍යෙෂ්ඨයෝය. අපි ශිල්පීන්ය කියලා හිතලා ඒ අය සමඟ ගනුදෙනු කළොත් අපි හා ඔවුන් අතර සම්බන්ධතාවය ළෙංගතු වෙන්නේ නෑ. තව තවත් ඈත් වෙනවා. අපිට පුළුවන් නම් ඒ අයගේ තැනට ඇවිත් එයාලා එක්ක ගනුදෙනු කරන්න එයාලා අපි එක්ක සුහදව මේ ගමන යනවා. දෙපැත්තක ඉන්නවට වඩා අපි එයාලගේ තැනට එන්න ඕන. මම කළේ ඒක.


 


එදාට වඩා අද සමාජ මාධ්‍ය සමඟ නළු නිළියන්ගේ ලොකු බැඳීමක් තියෙනවා?


සමාජ මාධ්‍ය හරහා ප්‍රේක්ෂකයා ඉතාම සමීපවෙලා. ප්‍රතිචාරත් ඉතාම උණුසුම්. ඉස්සර ටෙලි නාට්‍යයක් විකාශය වුණාම නැවත බලන්න පුළුවන්කමක් තිබුණේ නෑ. අද වනවිට ඒ තත්ත්වය වෙනස් වෙලා. අද යූටියුබ් එක හරහා නැවත නැවත නිර්මාණ රසවිඳීය හැකියි. මේ නිසා කාලය ඉතුරු කරගන්න හැකියි. ඇත්තටම එය ලොකු වෙනසක්. හැම දේකම හොඳ වගේම නරකත් තියෙනවා. නරක ඈත් කරලා හොඳ දේ කරන්න පුළුවන් නම් හොඳයි.


 


ඉදිරියේදී ඔබ දිගටම ප්‍රේක්ෂකයාට දකින්න ලැබේවිද?


අහස් මාලිගා නිර්මාණයට අමතරව තවත් නිර්මාණ දෙකකට සම්බන්ධ වුණා. ඉදිරියේදී ඒ නිර්මාණ විකාශය වේවි. ඊට අමතරව නිවේදන කටයුතු කරනවා.