ශනුද්‍රියි මායි ගැළපෙනවද කියලා ඔයාලම තීරණය කරන්න - දිනේෂ් ගමගේ

Tuesday, August 10, 2021 , 0 Comments




‘වැහි බිඳු වැටෙනවා නම්’ ගැන කතා කරමු??


මේ ගීතයේ තනුව නිර්මාණය කළේ මම. සංගීතය අමිත් ගුරු ගේය පද රචනය මනුරංග විජේසේකරගේ, මියුසික් විඩියෝව නිර්මාණය කළේ තිසර ඉඹුලාන විසින්.


ලැබෙන ප්‍රතිචාර කොහොමද?


ගීතය නිකුත් කරලා දින දෙකකින් පමණ නැරඹුම් මාර ලක්ෂි 5ක් පමණ වෙලා තිබුණා. හොඳ ප්‍රතිචාර ලැබෙනවා.


මේ ගීතය නිර්මාණය වුණේ කොහොමද?


පසුගිය කොරෝනා ලොක් ඩවුන් කාලයේ මම සහ මනුරංග අයියා ඇතුළු පිරිසක් සින්දුවක් ලියන්නේ කොහොමද, තනුවක් නිර්මාණය කරන්නේ කොහොමද කියන එක සජිවීව කරලා පෙන්වීමට ලයිට් එකක් ආවා. ඒ වෙලාවේ තනුව නිර්මාණය කරපු ගීතයක් මේක. පසුව මම ම්ක අමිත් අයියාට සහ තිසර අයියාටත් යැව්වා. ඊට අවුරුද්දකට පසුව තමයි වීඩියෝව නිර්මාණය කරන්න ලැබුණේ.


මේ ගීතය අහනවිටම දමිළ ආභාසයක් දැනෙනවා. තිසර ඉඹුලාන කියන්නේ ලංකාවේ සිටින දක්ෂ මියුසික් වීඩියෝ අධ්‍යක්ෂවරයෙක්. ඔහු තමයි ඇඳුම් පවා තීරණය කළේ. මියුසික් විඩියෝව ඔහුගෙන්ම අදහසකින් නිර්මාණය වූවක්.


ශනුද්‍රිව මේ මියුසික් වීඩියෝව සඳහා තෝරා ගත්තේ ඇයි?


ශනුද්‍රි අවුරුදු 3ක පමණ සිට මගේ හොඳ යහළුවෙක්. ඒ වගේම මම දැකලා තිබෙනවා ශනුද්‍රි දමිළ විලාසිතාවේ ඇඳුම් ඇඳලා ඉන්නවා. ඇයගේ පෙනුමේ පොඩි දමිළ ස්වරූපයක් තිබෙනවා. එම නිසා වීඩියෝවට ගැළපෙනවා කියලා හිතුණා සහ තිසර අයියත් එයාව ගැළපෙනවා කියලා තීරණය කළා.


ඔබේ ගීතවල දමිළ ආභාසයක් තිබෙනවා. එයට විශේෂ හේතුවක් තිබෙනවාද?


මගේ ගම නුවරඑළිය. මම පොඩි කාලේ සිට ආශ්‍රය කළේ දමිළ මිතුරන්. ඒ යහළුවන්ගේ ගෙවල යනවා. දමිළ චිත්‍රපට බලනවා. එම නිසා මම හදන සින්දුවල දමිළ ආභාසයක් තිබෙනවා. මම පොඩි කාලේ හිතාගෙන සිටියේ දමිළ චිත්‍රපටවල ඉන්නවා වගේ දමිළ කෙල්ලෙක් බඳින්න. ඒ දේවල් එක්ක තමයි නිර්මාණවලට ඒ ආභාසය ඇවිල්ලා තිබෙන්නේ.


දමිළ යුවතියක් පෙම්වතියක් කරගත්තේ නැද්ද?


මමත් එහෙම ආසාවෙන් හිටියා. නමුත් මට දමිළ පෙම්වතියක් සිටියේ නැහැ.


ශනුද්‍රි ප්‍රියසාද් සමඟ ප්‍රේම සම්බන්ධයක් තිබෙනවා කියලා කතාවක් තිබෙනවා. ඒක ඇත්තද?


ගොඩක් අය මගෙනුත් ඒ ගැන අහලා තිබුණා. එයා මගේ හොඳ යාළුවෙක්. එයා ගැන මං

ගොඩක් දේවල් දන්නවා. මං ගැනත් එයා ගොඩක් දේවල් දන්නවා. අපි අවුරුදු 3ක පමණ ඉඳන් හොඳ යාළුවෝ.


ඔබ කිවා දමිළ ගැහැනු ළමයෙක් විවාහ කරගන්න කැමැත්තක් තිබුණා කියලා. ඔබේ රුචිකත්වයයි ශනුද්‍රිගේ පෙනුමයි අතරේ යම් සමානකමක් තිබෙනවා නේද?


එයාගේ විදිහට මම කැමැතියි. එයා හිතන පතන විදිහටත් මම කැමැතියි. නැත්නම් අවුරුදු 3ක් මිත්‍රකමක් පවත්වාගෙන යන්න බැහැනේ. යාළුවෝ විදිහට අපි අපේ දේවල් ශෙයාර් කරගෙන තිබෙනවා. එයා හරි හොඳ කෙනෙක්. අපි දෙන්නා ගැළපෙනවාද කියලා ඔයාලම තීරණය කරන්නකෝ. කැමැති නම් ඒ ගැන අදහසක් මගේ ෆේස්බුක් එකේ සටහනක්  දාන්න.


ගීත නිර්මාණයක් සාර්ථක කරගැනීමට කළ යුතු දේවල් මොනවාද?


රැල්ලෙන් පිට වැඩ කිරීම තමයි කළ යුතු, ඒ වගේම හදිසියේ නිර්මාණ කරන්නේ නැතිව වැඩේට නිසි වටිනාකමක් දීලා යම්කිසි කාලයක් අරගෙන නිර්මාණයක් සිදුකළොත් සාර්ථක කරගන්න පුළුවන්. ඒ වගේම මේ ගීතය සාර්ථක වීමට ලොකුම හේතුව දක්ෂයන් පිරිසක් එකට එකතු වීමයි. අමිත් ගුරු, මනුරංග විජේසේකර සහ තිසර ඉඹුලාන කියන්නේ දක්ෂයන්. එය මේ වැඩේ සාර්ථක වීමට හේතුවක් වුණා.


ඉදිරි වැඩකටයුතු මොනවාද?


මගේ ගීත එකතුවක් ඉදිරියේදී නිකුත් වීමට නියමිතයි. රයිනි චාරුකා, උමාරියා සහ වස්ති එකේ අනුක යන තිදෙනාගෙ මම තනු නිර්මාණය කළ ගීත 03ක් එන්න තිබෙනවා. දැනෙනා තුරු මා ගීතයේ දමිළ වර්ෂන් එකක් කළා. වීඩියෝ එක රූගත කරන්න  චෙන්නායි යන්න සිටියේ කොවිඩ් නිසා යන්න බැරිවුණා. මගේ ලොකු හීනයක් තිබෙනවා  ලංකාවෙන් ගීතයක් එළියට ගෙනියන එක.


මේ මොහොතේ මතක් කළ යුතු පිරිසක් සිටිනවාද?


ඔව්. අනිවාර්යයෙන්ම මේ මොහොතේ මම සිටින තැනට එන්න මට ලොකුම ශක්තිය වුණේ මගේ වටේ සිටිය පිරිස. මගේ අම්මා, තාත්තා, අයියා ඒ වගේම ළහිරු පෙරේරා, මනුරංග අයියා, නිසල් ගමගේ, ළහිරු ඩී. කොස්තා, අමිත් ගුරු, චමිල් පතිරණ, තිසර ඉඹුලාන, විනෝද් මෙල්පිටිය යන පිරිසව විශේෂයෙන් මතක් කරන්න අවශ්‍යයි.