හැඩ ඇඟ­කට වැඩිය වටින්නේ රංගන පරා­සය සහ එයට ගැළ­පෙන හැඩ­යයි - දුලීකා මාරපන

Monday, August 30, 2021 , 0 Comments




චරිතාංග රංගන ශිල්පිනියක ලෙස ප්‍රේක්ෂක ආදරය දිනාගත් දුලීකා මාරපන මේ දිනවල විකාශය වන නිර්මාණ ත්‍රිත්වයකින් ඇගේ රංගනයේ රුව ගුණ විදහාපාමින් සිටින්නීය. කලා ක්ෂේත්‍රයේ විශිෂ්ට සලකුණක් බඳු ඇය  මෙලෙස ඇගේ විස්තර ගැන පුවත්පතක් සමඟින් පවසා තිබුනා. 


මේ දිනවල ඔබ එකිනෙකට වෙනස් චරිත ත්‍රිත්වයකින් ප්‍රේක්ෂකයන් හමුවනවා නේද?


ධනුෂ්ක රත්නායකගේ ‘කියා දෙන්න ආදරේ තරම්’ ටෙලිනාට්‍ය යේ අයිරාංගනී, ‘පෝක් වීදියේ’ ඇස් අන්ධ මාධනී සහ ‘දිව්තුරා’ ටෙලිනාට්‍ය යේ දීපිකාගේ චරිතයට තමයි මම මේ දවස්වල රංගනයෙන් සම්බන්ධ වෙලා ඉන්නේ. පැරඩයිස් වත්තේ ස්වභාවය සහ එහි ජීවත් වන මිනිස්සුන්ගේ ස්වභාවයන් අධ්‍යයනය කර ගොඩනඟාගත් අයිරාංගනීගේ චරිතයට බොහෝ දෙනෙක් කැමති වුණා. දිව්තුරා ටෙලිනාට්‍ය යේ මම නිරූපණය කරන්නේ ඉහළ පැලැන්තියේ නිලධාරින්ගේ බිරියන්ගේ ස්වභාවයයි.


දිව්තුරා නාට්‍ය යේදී ඔබ සුජීව එක්ක එකට රඟපෑම ප්‍රතික්ෂේප කළා කියන්නේ ඇත්තද?


මුලින් මම ඒකට බෑ කිව්වේ සුජීවගේ මූණ බලාගෙන රණ්ඩු වෙන්න බැරි නිසයි. ඒකට හේතුව මට සුජීවට බණින්න කිව්වොත් හිනා යනවා. වෙන නළුවෙක් එක්ක රඟපෑවා නම් හොඳට බණින්න පුළුවන්. මේ ටෙලිනාට්‍ය යේ අපිට හොඳ දරුවෝ දෙන්නෙකුත් ලැබුණා. ගොඩක් අය හිතන්නේ ඒ මගේ බබාලා කියලා. මොකද අපේ ස්වභාවය එක වගේ. බබාලා දෙන්නයි මමයි එක පේළියට වාඩිවෙලා ඉන්නවා දකිද්දි සූජීවටත් හිනායනවා.


පෝක් වීදීයේ මාධනී කියන්නෙ ඔබේ රංගනය වෙනස් මානයකට ගෙන ගිය චරිතයක්?


එහි මට මුලින්ම ආරාධනා ලැබුණේ ත්‍රිවිල් එකක් පදවන කාන්තාවකගේ චරිතයක් කරන්න. නමුත් පිටපතේ තිබ්බ ආබාධිත දරුවකුගේ අම්මාගේ චරිතය උපතින්ම අන්ධ චරිතයක් ලෙස වෙනස් කරලා රඟපාන්න කැමැතියි කියන යෝජනාව මම සායක්කාරට ගෙනාවා. සායක්කාර මුලින් ඒ අදහසට කැමැති වුණේ නෑ මම කලින් අන්ධ චරිතයක් කරලා තිබුණ නිසා. ඒත් මම මීට කලින් කරලා තිබ්බේ ජීවිතේ මැද භාගයේදී අන්ධ වෙන චරිතයක්. ඒ චරිතයයි මාධනිගේ චරිතයයි එකිනෙකට වෙනස්. මේ චරිතය ෆේල් නොවී ප්‍රේක්ෂකයන් අතරට ගෙනියන අභියෝගය මම බාරගත්තා. ඊට පස්සේ තමයි සායක්කාර ඒ චරිතය ලියන්න ගත්තේ. විශ්වවිද්‍යාල කාලේ ඉඳන් උපතින්ම අන්ධ යාළුවෝ කිහිප දෙනෙක් මට හිටියා. එහෙම හිටපු එක යාළුවෙක් තමයි දැන් කථිකාචාර්යවරයෙක් ලෙස කටයුතු කරන පුෂ්පබණ්ඩාර.





මම ඉස්සර ඉඳන්ම ඔහුව හොඳින් අධ්‍යයනය කළා. ඒ චරිතය චිත්‍රපටයකට ගේන්නයි මම හිතාගෙන හිටියේ. නමුත් මේ ලැබුණ අවස්ථාවේදී මම ඒක පාවිච්චි කළා. ඒක අතිශයින්ම සාර්ථක වූ බව මට ලැබෙන ප්‍රතිචාරවලින් පැහැදිලියි. එවැනි අන්ධ චරිතයක් තවත් විස්තරාත්මකව සිනමා නිර්මාණයකින් එළියට ගේන්න බලාපොරොත්තුවක් තිබෙනවා.


ඔබ රූපයට වඩා රංගනයෙන් තමාව ඉස්මතු කරන්න උත්සාහ කරනවා නේද?


මටත් එක්තරා කාලයක සුන්දර රූපයක් තිබුණා. මං හරි ලස්සනයි, හැඩයි, ලස්සන කොණ්ඩයක් තියෙනවා කියලා ගොඩක් අය කියපු කාලයක් තිබුණා. ඒ කාලෙදිත් මගේ රඟපෑම ඇගයීමට ලක්වුණා. රංගනයේදී වැදගත් වෙන්නේ රංගන පරාසය සහ එයට ගැළපෙන හැඩය කොහොමද හදාගන්නේ කියන දේ. බුද්ධියෙන් චරිතයකට අවශ්‍ය දේ එකතු කරගත්තොත් තමයි චරිතයක් නිසියාකාරව නිරූපණය කරන්න පුළුවන්.


ටෙලි නාට්‍ය ක්ෂේත්‍ර යේ තිබෙන දැඩි තරගකාරීත්වය ශිල්පීන්ට අසාධාරණයක් නෙවෙයිද?


සියයට පන්සියයක අසාධාරණයක් සිද්ධ වෙනවා. ශිල්පියෙක්ව උදේ පාන්දර රූගත කරන තැනට අරගෙන ගිහින් හවස පහට විතර රූගත කිරීම් පටන් අරන් පහුවදා උදේ පාන්දර වෙනකල් ටාගට් කවර් කරනවා කියලා වැඩ ගන්නවා. සමහර වෙලාවට ශිල්පීන්ට කෑම තියා හරියට වැසිකිළි පහසුකම්වත් නැහැ. මමත් නිෂ්පාදනයට සම්බන්ධ වෙලා තියෙනවා. ඒත් මම නම් ටාගට් කවර් කරන්න කියලා ශිල්පීන්ව මරවා මරවා වැඩ ගන්නෙ නැහැ.


කලාකරුවන්ට වෘත්තීමය තත්ත්වයක් ඇති කිරීම ගැන ඔබේ අදහස?


කලාකරුවන්ට වෘත්තීමය භාවයක් හදන්න කියලා අපි කොච්චර කිව්වත් එක ආණ්ඩුවක්වත් ඒක කරලා දෙන්නේ නැහැ. අපේ රටේ කලාකරුවෝ කී දෙනෙක් පාර්ලිමේන්තුවේ හිටියද ? ඉන්නවද? ඒ කවුරුත් පුටු රත්කර කර ඉඳලා වරප්‍රසාද ගත්තා මිසක් කලාකරුවෝ වෙනුවෙන් කතා කළේ නැහැ.


විවාහ ජීවිතයේදී වගේම ඹබයි සුජීවයි කලා ජීවිතයටත් හොඳින් පෑහිලා නේද?


විවාහ වුණාට පස්සේ අපි දෙන්නම කතා කර ගත්තා හොඳ නිර්මාණ කරමු කියලා. අපි දෙන්නා මුණගැහුණෙත් ස්වභාවධර්මයේ ආශීර්වාදය නිසා කියලා හිතනවා. අපි දෙන්නට තව වැඩ කරන්න තියෙනවා. අපි කරපු ‘ලෝරන්ස්ගේ මනමාලි’ වේදිකා නාට්‍යය, ‘සුපර්ණා’ චිත්‍රපටය සහ ‘ඉන්ටර් නැසනල් ’නාට්‍යයටත් විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබුණා.


රටේ තත්ත්වය යථා තත්ත්වයට පත්වූ පසු ඒ නාට්‍ය යේ දෙවැනි කොටස රූගත කිරීම් ආරම්භ කර විකාශනය කරන්න හිතාගෙන ඉන්නේ. ටෙලිවිශනයට එහා ගිය වෙනස් නිර්මාණ ප්‍රේක්ෂකයන් අතරට ගේන්නත් අපේ සූදානමක් තියෙනවා.