බඳින්න කලින් සූදු දැන් සූදු අම්මා වෙලා - මහේෂි මදුශංඛා

Tuesday, August 03, 2021 , 0 Comments




මහේෂි මදුශංඛා කියලා කියන්නේ අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න කවුරුත් ආදරය කරන දක්ෂ සුරූපී රංගන ශිල්පිනියක්. මුතු වරුසා සමග වයස අවුරුදු 18 දී විතර රඟපෑමට ආ ඇය ගැන චායා නාට්‍යයේ, චායා නිසා බොහෝ දෙනා කතා කරන්නට පටන් ගත්තා. ඉන් පසුව පසුගියදා විකාශය වූ ඇය නාට්‍ය දක්වා ටෙලි නිරිමාණ බොහොමයකට දායක වී බොහෝ දෙනාගේ ආදරය දිනාගත්ත මේ සොඳුරු කළා ශිල්පිනිය අද ආදරණීය බිරිඳකි, ආදරණිය මවකි. පවුල යන සංකල්පය අරුත්බර කරමින්, කලාවටත් දායකත්වය ලබාදෙමින් ප්‍රේක්ෂකාගාරය සතුටු කරවන, මහේෂි මධුශංශා කාලයකට පසුව පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙමින් ඇයගේ අලුත්ම තොරතුරු කතා බහ කරලා තිබුනේ මෙන්න මේ විදිහටයි.



මගේ ඇත්ත නමට වඩා මම කළ චරිත වෙතින් තමයි මගේ නම කතා වෙන්නේ. නමුත් මේ දිනවල නම් මහේෂි කියන නම වැඩිපුර කියැවෙනවා. ගෙදර ඉන්න නිසා මගේ රසික රසිකාවියන් සහ බොහෝ දෙනා චරිතවලට වඩා අද ඒ නමින් කතා කරන්නේ. මහත්තයා කතා කරන්නේ සුදු අම්මා කියලා. විවාහයට පෙර සුදු., දැන් අම්මා කොටස එකතු වෙලා. දැන් නම් මගේ ජීවිතේ අංගසම්පූර්ණයි කියලා දැනෙනවා. ඒකට  හේතුව තෙනුලි සහ තෙනෝල් නිසයි. අයියට අවුරුදු 3 1/2 යි. නංගිට මාස 8 යි. සැමියාගේ රැකියාව එක්ක එයා සෑහෙන්න කාර්යබහුලයි. ඒත් ගෙදර ආවාම ගෙදර ඔක්කොම වැඩවලට වගේම මගේ වැඩවලටත් හරියට උදව් කරනවා. ස්වාමිපුරුෂයා කියනවාට වඩා එයා මගේ හොඳම යාළුවෙක් වගෙයි. මම ගෙදර ගොඩක්ම පොඩි අය එක්ක තමයි කාලය ගත කරන්නේ. ඊට අමතරව පොඩි පොඩි



වැඩසටහන්වලට යනවා. වැඩි හරියක්ම ගෙදර ඉන්නේ. මේ ලෝකෙටම නරක කාලයක් තමයි. ඒත් ‘පවුල' එකතු වීමට හොඳම කාලයක්. වෙනදාට වඩා පවුලේ සාමාජිකයින් එක්ක ඉන්න කාලය ලැබිලා. තරගකාරී සමාජයක අපි හැමෝම හිටියේ. ඒත් අද ඊට වඩා පවුල හා බැඳීම වැඩි වෙලා. මගේ සැමියා තමයි සම්පත් දිසානායක. බොහෝම පාඩුවෙ එයාගේ වැඩේ කරන්ගෙන, කාටවත් කරදරයක් නැතුව, කාටත් ගරු කරන කෙනෙක් තමයි එයා. වෙලාවකට හරිම අහිංසකයි. ටිකක් විතර තරහත් යනවා. එයා හොඳම කෙනෙක්. එයා එයාගෙ රැකියාවට හරි ආදරෙයි. හරිම ගෞරවනීය විදියට රැකියාව කරන කෙනෙක්. එයාගේ ගම නුවර, කිරිබත්කුඹුර. එයාගෙ අම්මාගේ අයියා තමයි විජේරත්න වරකාගොඩ මහතා. තාත්තා ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු නිලධාරියෙක්. අම්මා ගුරුවරියක්. සන්ට නංගි කෙනෙක් ඉන්නවා. එයත් ගුරුවරියක්. එයත් විවාහකයි. මගේ මහත්තයා එයාගේ අම්මා උයන කෑම කන්න හරි ආසයි. හරිම රහට කෑම උයනවා. ඉතින් නිවාඩුවක් ලැබුණු විගස සම්පගේ මහගෙදර යනවා. මම එයාට වෙලාවකට පණ, තවත් වෙලාවකට මැණික, බබා ඒ වගේ ඒවා කියලා තමා කතා කරන්නේ. මට තරහා ගියාම තමයි සම්පත් කියල කතා කරන්නේ. මම ස්වර්ණවාහිනියේ විකාශය වූ 'ඇය' නාට්‍යයේ රගපෑවා. ඊට අමතරව වෙන වැඩ තවම බාරගන්නේ නැහැ. ඇය නිසා බොහෝ ප්‍රතිචාර ලැබුණා. ඒ නාට්‍යයේ රගපාද්දි මම දරුඵල අපේක්ෂක්ෂාවෙන් හිටියෙ. ඒ නිසා ඒ චරිතයට තව ශිල්පිනියක් ගත්තා. ඇයත් ටික දිනකින් ඉවත් වූ නිසා මම ආයෙත් ගිහින් ඒ චරිතයට සහභාගි වුණා. ඒක එක අතකට විශේෂ අවස්ථාවක්. පසුගිය කාලය දෙස හැරී බලපුවාම ජීවිතේ හරිම සතුටුයි. ලංකාවේ සියලුම නාළිකාවල එක දිගට පෙනී හිටියා. 



ඒත් එහෙම වැඩ කළත් අද මගේ ප්‍රමුඛත්වය පවුලට. දරුවො හරියට හැදීමේ වගකීම තියෙන්නේ ප්‍රධානවම මවකට. සැමියා මගේ ජීවිතේන්ට එන්නට පෙර අපේ අම්මා තමයි මගේ යෝධ හෙවණැල්ල වුණේ. අදටත් අම්මගෙ සහයෝගය ඉහළයි. ඒ නිසා මගේ ජීවිතය වඩාත් ශක්තිමත් වුණා. මම රඟපාන්න ආවේ වයස 18න්. 28ක් වෙද්දී දරුවෝ දෙනෙකුත් ඉන්නවා. හම්බ කරන දේ කළමනාකරණය කර ගත්තා. ලැබෙන දේ අද වියදම් කරලා ක්ෂේත්‍රයට බනින්න හොඳ නැහැ. මේ ඉතා හොඳට ගෙවීම් කරන ක්ෂේත්‍රයක්. ගෞරවාන්විත ක්ෂේත්‍රයක්. ඒක හරියට කිරීම අපේ වගකීමක්. ලැබෙන මුදල් කාලා බීලා පාටි දාලා මම නාස්ති කළේ නැහැ. මම කළමනාකරණය ඉගෙන ගත්තෙ මගේ ආච්චි සීයාගෙන්. නාස්ති නොකර ඉන්න පුරුදු වුණේ එයාලගෙන්. එයාලා රණ්ඩු කරගෙන නැහැ කවදාවත්. අපි ඒ ආදර්ශවත් දේ දරුවන්ට දෙන්න ඕනෑ. මගේ සැමියා හරිම හොඳයි. ඒ  මොකද එයත් ආදර්ශවත් චරිතයක්. 



එයා තහංචි පනවන කෙනෙක් නෙවෙයි. මට අවශ්‍ය රූපලාවන්‍ය කළමනා ආදිය පවා එයා තමයි අහලා  ගෙනත් දෙන්නේ. ඒ වගේ හොඳ අවබෝධයක් තියෙන කෙනෙක්. මම ඉන්නකොට එයා මගේ නාට්‍ය නරඹද්දි මට ලැජ්ජයි. ඒ නිසා මම එයාට කියන්නේ යූටියුබ් ගිහින් බලන්න කියලයි. එයා කොහොමටත් කාගෙවත් හිත රිදවන්න කැමැති නැති කෙනෙක්. විවාහය බරපතළ විදියට ගන්න ගියොත් ඒක බරක්. පෙම්වතා පෙම්වතිය විදියට සිටියදී විලවුන් දාලා, ලසනට ඇඳලා එහෙම ඉන්නවනේ. ඒ විදියට විවාහයෙන් පසුවත් ඉන්නවා නම් ඒක හරිම හොඳයි. මවක් වුණාම ඒක ටිකක් අසීරු වුණත්, කාලය  කළමනාකරණය කරගත්තොත් ඒක අපට පහසුවෙන් කරන්න පුළුවන්. කාන්තාවක් කියන්නේ එකවර වැඩ ගොඩක් කරන්න පුළුවන් කෙනෙක්. ඇයට ඒ ශක්තිය උපතින්ම ලැබිලා තියෙන දෙයක්. ඒ නිසා මේ වැඩ ඔකොම එක්ක සැමියා, දරුවෝ ඉදිරියේ ලස්සනට පිරිසිදුව ඉන්නත් මම උත්සාහ ගන්නවා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.