සුජානි මේනකා කියූ විට දන්න පිරිසට වඩා තවමත් ඇය ජනප්‍රිය වන්නේ සතෙන් සතේ එකතු කරපු පුංචි කෙල්ල විදිහටයි. දශක තුනක් ගෙවුණත් තවමත් ඒ ආදරය නොඅඩුව විඳිමේ වාසනා ගුණය හිමි වූ ඇය කලින් කලට ගුණාත්මක කලා නිර්මාණ ඔස්සේ සිය දක්ෂතාව පෙන්වමින් ඒ ඔස්සේ රංගනයේ තම අනන්‍යතාව ගොඩනඟා ගත් රංගන ශිල්පිනියක්. බොහොම නිහඬව කලාවේ සාරවත් ගමනක යෙදෙන සුජානි රංගනයෙන් නැවත පුංචි තිරයේ ප්‍රේක්ෂකයා හමුවන්නේ වසර දෙකක විරාමයකින් අනතුරුවයි. ඒ මේ දිනවල විකාශය වන සාලින්ද රත්නායක අධ්‍යක්ෂණය කළ 'පෝක් වීදිය' ටෙලි නිර්මාණයෙන්.
සුජානිගේ රංගනයක් නැවත දකින්නේ කාලෙකින්?
අවුරුදු දෙකක විරාමයකට පස්සේ තමයි මම නිර්මාණයකට සම්බන්ධ වුණේ. ''පෝක් වීදිය' කියන්නේ අද කාලයට වඩාත් උචිත නාට්‍යයක් නිසාම එය ප්‍රේක්ෂකයන්ට අලුත් අත්දැකීමක් වේවී. ඒ නිර්මාණය වගේම මට ලැබුණු චරිතයත් නිරූපණය කරන්න බොහොම ආස හිතෙන චරිතයක්.
ඒ චරිතය නිසාම ද ඔබ මේ නිර්මාණයට කැමැති වුණේ ?
කාලයක් වැඩ කරගෙන යද්දි සමහර අධ්යක්ෂවරුන් හා තිරපිටපත් රචකයන් ගැන අපට හොඳ විශ්වාසයක් සහ අවබෝධයක් ගොඩනැඟෙනවා. මේ නාට්‍යයේ පිටපත අසංක සායක්කාරගේ. මම ඔහුගේ නිර්මාණවල රඟපාන්න ප්‍රියයි. නළු නිළියන්ගෙන් නිර්මාණයට අවශ්‍ය උපරිමය ගන්න පුළුවන් විදිහට ලියන්න ඔහු දන්නවා. මේ නාට්‍යය අධ්‍යක්ෂණය කරන්නෙත් කලක් සහාය අධ්යක්ෂවරයෙක් විදිහට වැඩ කළ සාලින්ද රත්නායක. හොඳට රඟපාන්න පුළුවන් චරිතයක් ලැබුණම ඒ චරිතය කරන්න ලොකු කෑදරකමකුත් නොදැනුවත්වම ඇති වෙනවා. 'පෝක් වීදිය' කියන්නෙත් ඒ වගේ කෑදරකමක් ඇති කරපු නිර්මාණයක්.
සුජානිට පහුගිය කාලයේ රංගනයෙන් විරාමයක් ගන්න විශේෂ හේතුවක් තිබුණද?
එක දිගට රඟපාලා අවුරුද්දක විතර විරාමයක් ගන්නයි මට ඕනෑ වුණේ. මම එකම විදිහේ නාට්‍ය කරන්න කැමැති කෙනකුත් නෙවෙයි. විවේකීව හිටපු කාලෙත් නිර්මාණ බොහොමයකට ආරාධනා ලැබුණත් ඒ පිටපත් බලන්නවත් මම උනන්දු වුණේ නෑ. දෙවැනි අවුරුද්දේ නිර්මාණවලට දායක වෙන්න සූදානමිනුයි හිටියේ. මේ වසංගත තත්ත්වය නිසා චිත්‍රපට තුනක, ටෙලි නාට්‍ය හතරක විතර වැඩ කල් දාන්න වුණා.
නොබල හිටපු පිටපත් අතර මඟහැරුණු හොඳ නිර්මාණත් ඇති?
රංගන ජීවිතයේ නොලැබුණු දේවල් වගේම ලැබිලත් ප්‍රතික්ෂේප කරන්න වුණු නිර්මාණ තිබෙනවා. ඒ සමහර නිර්මාණ ඉතාම ගුණාත්මකයි. එහෙත් මම මගේ ජීවිතේ ඒ නැතිවුණු දේවල් ගැන දුක් වෙන කෙනෙක් නෙමෙයි. ඉදිරියට කරන්න තියෙන දේ ගැනයි හිතන්නේ.
දිගු නාට්‍යවලට දායක නොවීමේ
වාරණයක ද ඔබ ඉන්නේ?
නාට්‍යයක උපරිම කොටස් සියය පැන්නට පස්සේ නිර්මාණකරුවෝ ඒ නිර්මාණයේ ගුණාත්මක බව රැකගන්න උත්සාහ කරන්නේ නෑ. ගුණාත්මක නැති එවැනි දෙයක මට ඉන්න අවශ්‍යයත් නැහැ. ආර්ථික ප්‍රශ්න තිබුණත් කරන දේ සතුටින් කරන්නයි මම කැමැති. දායක වුණු එකම මෙගා නාට්‍යයෙත් මෙතනින් එහා මට කරන්න බෑ කියලා මම ඉවත් වුණා.
වෘත්තීය රංගන ශිල්පියකුට හෝ ශිල්පිනියකට එවැනි ස්ථාවරයක සිටීම පහසු ද?
කොහෙත්ම පහසු නෑ. නමුත් කොතරම් අපහසු වුණත් මගේ ඒ ස්ථාවරය තුළයි මම වැඩ කරන්නේ. ප්‍රේක්ෂක ආදරය අපට ලැබුණේ මේ ක්ෂේත්‍රය නිසා. ඔවුන් ප්‍රතික්ෂේප කළොත් අපි කොහොම සල්ලි හම්බ කළත් වැඩක් නෑ. මේ ක්ෂේත්‍රයේ තෝරාගෙන වැඩකරන්න පුළුවන් ස්ථාවරය මට ලැබෙන්නේ බිමල්ගේ සහායත් එක්ක.
පවතින්න අපහසු මෙවැනි ක්ෂේත්රයක ඔබ ස්ථාවරව රැඳෙන්නේ කොහොම ද?
දැනට මේ ක්ෂේත්‍රයේ ජීවතුන් අතර සිටින සහ ජීවිතයෙන් සමු ගත් බොහොමයක් අධ්යක්ෂවරුන් සමඟ මම වැඩ කරලා තිබෙනවා. ඒ නිර්මාණකරුවන්ගෙන්, රංගන ශිල්පීන්, ශිල්පිනියන්ගෙන් අපි ඉගෙන ගත් දෑ සහ ලැබුණු අත්දැකීම් බොහොමයි. සුජානි මේනකා යන රංගන ශිල්පිනියගේ අනන්‍යතාව සහ පැවැත්ම ගොඩනැඟෙන්නේ ඒ ලැබුණු දැනුමෙන් සහ අත්දැකීම්වලින්.
වර්තමානයෙත් මේ ක්ෂේත්රයට දක්ෂ පිරිසක් ඉන්නවා. නමුත් ගැටලුව තිබෙන්නේ ඔවුන්ගේ හැකියාව හඳුනාගන්න වැඩ නැතිකම. ලැබෙන දේ කරමින් ඔවුන්ගේ හැකියාව හඳුනගන්න බැරි විදිහට ඔවුනුත් අද විසිරිලා.
රංගන ජීවිතයට ඇයි ඔතරම් සීමා පනවගෙන ඉන්නේ?
මම වඩාත් කැමැති පෞද්ගලික ජීවිතයට හානියක් නොවෙන්න හැමදේම සමබරව කරගෙන යන්න. අපි දෙන්නම එක් විදිහට කාර්යබහුල වුණොත් අපේ පෞද්ගලික ජීවිතය විඳින්න බැරි වෙන්න පුළුවන්. විවාහයට පෙරත් කොතරම් කාර්යබහුල වුණත් මගේ පවුල වෙනුවෙන් කාලය වෙන් කළා. විවාහයෙන් පස්සෙ බිමල්ටත් මම ඒ තැනම දෙනවා. එය වෘත්තීය ජීවිතයට ආසාධාරණයක් විදිහට කෙනකුට දැනෙන්න පුළුවන්. මෙහෙ අපි පෞද්ගලික ජීවිතය විඳලා තියෙන්න ඕනේ. ඒ දේවල් නැති කරගත්තොත් ආපහු ඒ කාලය ගන්න බෑ.
ඔබේ රංගන ජීවිතයට බිමල්ගෙන් ලැබෙන්නේ මොන වගේ සහායක් ද ?
මට වැඩවලින් නිවාඩුවක් ගන්න හිතුණොත් මම ඒක බිමල්ට කියනවා. ඒ අවස්ථාවට අනුව ඒ තීරණය ගත යුතුද නැතිද යන්න හේතූ පහදලා දෙනවා. මගේ ගැටලුවලට හරිම උත්තර සහ මටත් වඩා මගේ ජීවිතේ තීරණ ගන්නේ බිමල්. ඔහු ගන්න තීරණ මම ක්‍රියාත්මක කරනවා.
සතෙන් සතේ එකතු කරලා ලැබුණු ප්‍රේක්ෂක ආදරය නේද තවමත් සුජානි
පරෙස්සම් කරගෙන ඉන්නේ?
ඒ ආදරය ගැන මට අදටත් පුදුමයි. තවමත් සුජානි කිව්වම නොදන්න අය සතෙන් සතේ කිව්වම මාව හඳුනනවා. ඒ වෙළෙඳ දැන්වීම කරලා දැන් අවුරුදු තිහකටත් වැඩියි. අදටත් ඒ මතකය හා ලැබෙන ප්‍රේක්ෂක ආදරයේ අඩුවක් නැහැ. බිමල්ට කොරෝනා හැදුණ වෙලාවෙත් ගොඩක් අය අපි ගැන හොයලා බැලුවා. බිමල් වෙනුවෙන් බෝධි පූජා කළා. අපට මෙච්චර මිනිස්සු ආදරය කරනවද කියලා පුදුම හැඟීමක් මට ඇති වුණේ. ඒ ආදරය වාසනාවක් කියලා හිතනවා හැරෙන්න වෙන මොනවා හිතන්නද...
කලා ක්ෂේත්‍රය කියන්නෙම කතා මැවෙන තැනක්...
ඒ අතර ඔබව රැක ගත්තේ කොහොමද?
මගේ මවුපියන් අපිව හදපු විදිහක් තියෙනවා. ඒ හැදුණු විදිහ තමයි මම රැකගෙන ආවේ. ඒ විදිහ නිසාම මට ප්රේක්ෂකයන්ගෙන් නරකක් අහන්න වුණෙත් නෑ. විවාහයෙන් පස්සෙත් මට මාව වෙනස් කරගන්න වුණේ නෑ. බිමල්ටත් මගේ මවුපියන්ටත් ඒ ගැන ස්තුති කළ යුතුමයි. මම විශ්වාස කරන ස්වභාවධර්මයේ ආශිර්වාදයත් හැමදාමත් මට ලැබෙනවා.
විවාහ වෙලා වසර දහයක් ගෙවුණත් බිමල් - සුජානිගේ ආදරය හැමදාමත් නැවුම් බවයි බොහෝ දෙනා කියන්නේ?
අපේ ආදරේ ඉස්සරටත් වඩා වැඩි වෙලා කියලයි මට දැනෙන්නේ. අපි පරිණත වෙද්දි දේවල් හිතන පතන විදිහ වෙනස් වෙනවා. ඉතින් ආදරය කරන්න ගත්තු කාලෙටත් වඩා පරිණත වීමෙන් ලබන ඒ අවබෝධය එක්ක ආදරය තවත් වැඩි වෙනවා.


