පින් සිද්ද වෙයි පරිස්සම් වෙන්න - නයනතාරා වික්‍රමාආරච්චි

Friday, August 20, 2021 , 0 Comments

 





දෙවෙනි ඉනිම ටෙලි සිතුවමේ දෙව්මිගේ චරිතයෙන් ජනාදරයට පාත්‍රවූ ජනප්‍රිය රංගන ශිල්පිණි නයනතාරා වික්‍රමආරච්චි මේ වන විට සිටින්නේ කොවිඩ් ආසාදිතව රෝහල් ගත වෙලා. මේ හේතුවෙන් ඇගේ සියලුම රංගන කටයුතු නවත්වා දමන්නට ඇයට සිදුවුණා. ප්‍රතිකාර ලබන අතරතුර දී ඇය අපත් සමඟ අදහස් හුවමාරු කරගත්තේ මේ රෝගයේ භයානකකම පිළිබඳව සමාජය දැනුම්වත් කරන්න අවශ්‍යයි කියා ඉල්ලීමක් කළ නිසයි. මේ ඇගේ සංවේදී කතාවයි.


 

මගේ සියලු ප්‍රේක්ෂක, රසික රසිකාවන්ට ආයුබෝවන් කියලා මම ප්‍රථමයෙක් කියනවා. මේ වෙනකොට කොවිඩ් රෝගයේ උපරිම වේදනාව විඳීමිනුයි මම ඉන්නෙ. මේ මාසයේ මාසයේ පස්වැනිදා මම පී.සී.ආර්. පරීක්ෂණයක් කළා. හය වැනි දා ලැබුණු රිපෝට් එකෙන් සඳහන් වුණේ මම කොවිඩ් රෝගියෙක් කියලා. ඇත්තටම මම මේ රෝගය පිළිබඳ මහා බරපතළකමකින් හිතපු කෙනෙක් නෙමෙයි. රෝගය හැදුනට දින දහයක් දහහතරක් වගේ කාලයක් ගෙදරට වෙලා ඉන්නවා කියන මතයේ තමයි මම හිටියේ. නමුත් නමවැනිදා රාත්‍රියේ මට හුඟක් අසනීප වුණා. හුස්ම ගන්න පවා බැරි වුණා. ඉතා ඉක්මනින් මම රෝහල් ගත වුණා. එතැනින් පටන් තමයි මේ රෝගයේ බරපතළකම මට දැනෙන්නට පටන් ගත්තේ. මේ හොඳට ඉන්නවා, තව ටිකකින් හුස්ම ගන්න බැරි වෙනවා. උගුර හිර කරනවා, පපුව හිර කරනවා.


 

ඇත්තටම මට හිතුණා නමවැනිදා රාත්‍රියේ මගේ ජීවිතය මට අහිමි වෙයි කියලා. එච්චරටම අමාරු වුණා. කොවිඩ් රෝගයේ බරපතළකම දැනෙන්න ඒක වැලඳෙන්නම ඕනේ. එතෙක් කිසි කෙනෙක් මේ පිළිබඳ මහලොකුවට හිතන්නේ නැහැ. මම දැකලා තියෙනවා සමාජයේ එළියට බැහැලා ඕන තරම් මිනිස්සු පාරතොටේ සැරිසරනවා. මට ඇත්තටම හිතෙනවා ඇයි මේ මිනිස්සු මෙච්චර අනාරක්ෂිත වෙන්නෙ කියලා. ඒ අයටත් එක්ක තමයි මම මේ කියන්නේ. අනේ සියලු දෙනාම පරිස්සම් වෙන්න. මේක හිතන තරම් සරල ලෙඩක් නෙමෙයි. හොස්පිට්ල් වෙලා ඉන්න අතරතුරදී දවසට තුන් හතර පාරක් දුම් අල්ලනවා. මගේ උගුර පපුව තැම්බිලා දුම් අල්ලලාම. හරිම අමාරුවෙන් තමයි මේ දවස් කිහිපය මම ගෙවාදැම්මේ. මෙච්චර අමාරුවෙන් වුණත් මම මේ කතා කරන්නේ සමස්ත සමාජයක් දැනුම්වත් කරන්න මගේ වගකීමක් කියල හිතුනු නිසා. වචන දහයක් එක දිගට කතා කරන්න හරි අමාරුයි. හරිම මහන්සියක් දැනෙනවා.


ඒ අතරතුරදී මට ආරංචි වෙනවා කොවිඩ් හැදුනු අපේම නළුනිළියන්ට ටෙලිනාට්‍යවලින් කතා කරලා රඟපාන්න දින ඉල්ලනවලු. ඒ අය බලාගෙන ඉන්නේ ඉන්නෙ කොවිඩ් හැදුනු කට්ටිය සනීප වෙලා ඉක්මනට තමන්ගෙ නාට්‍යයට එනකම්. ඇයි එහෙම වෙන්නේ. ඇයි මේවා කෙටි කලකට හරි නවත්වන්න බැරි. තමන් ගැනම විතරක් හිතන්න එපා. අපි රෝග වාහකයො නොවී පුළුවන් තරම් කෙටි කාලයකට හරි මේ ටෙලි නාට්‍යය නවත්වලා දමමු. ඒක හැමෝටම හොඳයි. මට තවම අවුරුදු විසි තුනයි. මට කිසිම බෝ නොවන කිසිදු ලෙඩක් නැහැ. බොහොම සෞඛ්‍ය සම්පන්නව මම ජීවත් වුණා. එහෙම කෙනෙක් වෙච්ච මට මේ කොවිඩ් රෝගය වැළඳීමෙන් කොච්චර නම් අමාරු වුණාද, නිකමට හිතලා බලන්න ඔබේ වයසක දෙමව්පියෝ වැඩිහිටියෝ, ඒ වගේම විවිධ රෝගාබාධවලින් පීඩා විදින අය, කොච්චර නම් අමාරු තත්ත්යට පත් වෙයිද මේ රෝගය වැළඳුනොත්.. අනේ ඒක නිසා පින් සිද්දවෙයි..


පුළුවන් තරම් ගෙවල්වලට වෙලා ඉන්න. මේ වසංගත තත්ත්වය පාලනය කරන්න පුළුවන් අපිටමයි. අපි හරි දක්ෂයි එක් එක් අයට බැන බැන ඉන්න. රජයට බනිනවා, අනිත් අයට බනිනවා, වැඩ කරන අයට බනිනවා.. එහෙම නෙමෙයි හැරෙන්න තමන්ගේ පැත්තට. තමන් කොච්චර ආරක්ෂිත වෙනවද කියලා තමන්ගෙන්ම අහල දැනගන්න. තමතමන් මුලින්ම පරිස්සම් වෙමු. මම ආයෙත් කියන්නේ මේ කොවිඩ් කියලා කියන්නේ හිතන තරම් සුළුපටු ලෙඩක් නෙමෙයි. මේක බරපතලකම දැනෙන්න මේක හැදෙන්නම ඕන. එතකම් බොහෝ දෙනෙක් මේ කොවිඩ් එක්ක සෙල්ලම් කරයි. මම කියන්නේ සෞඛ්‍ය අංශ වල අය කියන දේවල් අහලා පුළුවන් තරම් ආරක්ෂිත වෙන්න. තමන්ගේ මවුපියෝ දරුවෝ වැඩිහිටියෝ සියලු දෙනා ගැන හිතන්න. අපි ඔක්කොම එකතු වුණොත් මේ රෝගය ඉතා ඉක්මනින් තුරන් කරන්න පුළුවන් වෙන එක විශ්වාසයි.