මොකද්ද මට වු‍ණේ කියලා මම තාමත් හිතනවා - චාමර ප්‍රියදර්ශන

Wednesday, July 21, 2021 , 0 Comments



චාමර ප්‍රියදර්ශන කියන්නේ බොහෝ දෙනා ඇලුම් කරන ආදරය කරන ජනප්‍රියම රංගන ශිල්පියෙක්. ඒ විහිළු කතා, ඒ ආදරණීයකම, දක්ෂ රඟපෑම අමතක කරන්නට බැරි තරමට චාමර ප්‍රේක්ෂක හදවත් වැළඳගෙන තිබුණා. කෙදිනක හෝ රටේ ජනප්‍රිය නළුවෙක් වෙන්න හීන දැකපු චාමර බොහෝ දුක් ගැහැට විඳ කලා ක්ෂේත්‍රයට පිවිසි රංගන ශිල්පියෙක් බව බොහෝ දෙනා දන්නා කරුණක්. 


මම හීන දැක්කේ කවදාහරි නළුවෙක් වෙන්න. ඒ හීනයට එන්න මම නොවිඳිනා දුක් වින්දා. රඟපාන්න එන්න කලින් මම මේසන් බාලට අත්වැඩ දීලා තියෙනවා. අද මම පාරේ යනකොට මිනිස්සු මාව අඳුරනවා. අම්මා ඒ වෙලාවට දැනෙන සතුට කියලා නිම කරන්න බැහැ. මම පටන් ගත්ත තැන මතක තියෙන නිසා අදටත් චාමර කියන්නේ සරල කොල්ලෙක් චාමර සමග කතා කරපු බොහෝ පුවත්පත් සාකච්ඡාවල මේ වචන ටික කියන්න ඔහු කවදාවත් අමතක කරේ නැහැ. 


කොහොම වුණත් කලා ක්ෂේත්‍රයේ දිගු ගමනක් යන්නට වටපිටාව සකස් කරගනිමින් ජය කණුවට ළඟා වුණු චාමරට හිටි හැටියේම මීට වසරකට ඉහතදී ඉතාමත් අවාසනාවන්ත ලෙස රිය අනතුරකට මුහුණ දීමට සිදුවුණා. ජීවිතයත් මරණයත් අතර මහා සටනක් කරලා මාස ගණනාවක්ම නේවාසිකව ප්‍රතිකාර ලබලා මේ වෙනකොට චාමර සුව අතට පත්වෙමින් සිටිනවා. චාමරට ආදරය කරන ප්‍රේක්ෂක ඔබ චාමරව නැවත පුංචි තිරයේ දකින්නට හැමදාමත් ඔහුව නිරෝගී සුවය ප්‍රාර්ථනා කළා. චාමර සුව අතට ළඟාවන මුත් චාමර අනතුරට ලක්වීමට පෙර රංගනයෙන් දායක වූ ‘රැහේ” ටෙලි නාට්‍යය මේ දිනවල සියත TV හරහා විකාශය වෙනවා. ‘රැහේ” ටෙලි නාටයයේ ‘සින්නාගේ චරිතයෙන් ප්‍රේක්ෂකයන් හමුවට එන චාමරව අනතුරෙන් පසු සුව අතට පත්වෙන වෙලාවේ චාමර සමග කතාබහ කරන්නට අප  අමතක කළේ නැහැ.




ඉතින් චාමර කොහොමද දැන්?


දැන්නම් ගොඩක්ම සුවයි. ඒත් මට තව එක ශල්‍යකර්මයක් කරන්න තියෙනවා. ඒ ශල්‍යකර්මයක් කරාට පස්සේ තව මාස හතර පහකින් නැවත පෙර මම ඉඳපු තත්වයටම සුවවේවි කියා බලාපොරොත්තුවෙන් ඉන්නවා. දැනට මගේ හිසට ශල්‍යකර්ම පහක් කරලා තියෙනවා. ගිය අවුරුද්දේ පෙබරවාරි 15 වැනිදා තමයි මම අනතුරට ලක්වූයේ. අනතුරට ලක්වෙලා කළුබෝවිල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ දින 20ක් විතර මම ප්‍රතිකාර ලබලා තියෙනවා. මාස හතර පහක්ම මම කොහෙද හිටියේ, මාව බලන්න ආවේ කවුද කියලා මට මතක නැහැ. මගේ හිසට වගේම දකුණු අත ස්ථාන දෙකකින් අස්ථි බිඳීමක් වෙලා තිබුණා. බරපතලම හානිය වූයේ මගේ හිසට ඇත්තට මාව අනතුරකට පත්වෙලා මම මේ ඉන්නේ රෝහලේ කියලා මම දන්නේ මාස පහක් විතර ගියාට පස්සේ. දෙයක් මතකයට ගන්න, කෙනෙක්ව අඳුරගන්න මාස මට අටක් විතර ගියා. 



චාමර ඉදිරියට කරන්න සූදානම් වෙන්නේ අවසන් ශල්‍යකර්මයද? 


ඔව්.. වෛද්‍යවරු කියලා තියෙන්නේ අවසන් ශල්‍යකර්මය කියලා. ඒකත් කරන්නේ හිසටමයි. මගේ යාළුවෝ, හිත මිත්‍රාදීන්, නෑදෑයෝ මට සුවය පතලා බෝධි පූජා කරලා තියෙනවා. සොයලා බැලුවා මං ගැන. ඒ ආශීර්වාදවලින් වගේත්ම දෙවියෝ වගේ මට ජීවිතය දෙන්න වෙහෙසුනු වෛද්‍යවරු හෙද හෙදියන් නිසා අද මම ආයෙම නැගිටලා මේ විඳිහට ඉන්නවා. වෙච්ච රිය අනතුර මට මතක නෑ අද වෙනකම්. හිසට වුණු හානිය එක්ක අවුරුද්දකදෙකක ඇතුළට සිද්ධ වෙච්ච දේවල් මුකුත්ම මතක තිබුනේ නැහැ. මගේ මතකය සාමාන්‍ය අතට එන්න අවුරුද්දක් විතර ගියා.


වෛද්‍යවරු කියලා තිබුණේ හිසේ අභ්‍යන්තර ලේ ගැලීමක් සිදුවෙලා නිසා සියයට 50 ජීවිත අවධානමක් තියෙනවා කියලා. 


එදා අනතුරින් චාමර සමග ගිය මිතුරාට අනතුරක් වුණේ නැහැ. අදටත් ඔබේ සගයා දිනේෂ් ළඟින් ඉන්නවද? 


ඇත්තටම එදා මෝටර් බයිසිකලය පැද්දේ දිනේෂ්. දිනේෂ්ට සීරිමක්වක් වෙලා තිබුණේ නැහැ. අනතුර වුණෙත් අපි නවාතැන් ගෙන ඉඳපු තලවතුගොඩ නිවස කිට්ටුවමයි. දිනේෂ් අදටත් මන් ළඟින්ම ඉන්නවා..



එයත් දන්නේ නැහැ එදා මොකක්ද වුන්නේ කියලා. මමත් අහන්නේ මොකක්ද මට වුනේ කියලා. ඇත්තටම මට අදටත් හිතාගන්න බැහැ මොකක්ද එදා ඒ වෙලාවේ වුණේ කියලා. මම මෝටර් බයිසිකල් පදිනෙත් නැහැ. රෑ වෙලා දිනේෂ් එක්කවත් එලියට යන්නෙත් නැහැ. එදා මොන එකකට එලියට යන්න හිතුනද කියලා මට හිතාගන්න බැහැ. මම අනතුරට පත්වෙලා සිහිය නැතුව ඉන්නකොට (දින්නේ මානසික මට්ටමින් පවා වැටිලා තිබුනා. මම දන්නේ නැහැ දිනේෂ් මගේ ළඟට වෙලා දවස් ගණන් අඬලා තියෙනවා. යාළුවට කරන්න දෙයක් නැහැ, ඒක මගෙ වෙලාව. අපි දෙන්නගෙම ජීවිත බේරුන එක ගැන මට ලොකු සතුටක් තියෙනවා. 


දැන් චාමර ගොඩක් සුව තත්වෙට පත්වෙලා ඉන්න වෙලාවේ මොකද හිතෙන්නේ?


 මගේ අයියයි, නංගියි අම්මයි තාත්තයි මාව ගොඩ දාගන්න අප්‍රමාණ දුකක් වින්දා, එයාලා මට නොපෙනෙන්න අඬපු දවස් අනන්තයි අප්‍රමාණයි. මාව බලාගන්නේ පොඩි දරුවෙක් වගේ. මගේ මතකය නැවත ගන්න පුදුමාකාර වෙහෙසක් එයාලා ගත්ත. රෝහලේ ඉඳලා ගෙදර එනකොට මට කතාකරන්න බැරුව හිටියේ, ඒකට අවශ්‍ය ව්‍යායාම මට කෙරෙව්වා. මගේ ගෙවල් මහනුවර. මාව අනතුරට පත්වුණාම අම්මටයි, තාත්තටයි ගම දාලා ඇතුකෝට්ටේ අයියාගේ ගෙදර ආවා මාව බලාගන්න. තාමත් අම්මලා ඉන්නේ කොළඹ. මං වෙනුවෙන් කලාශිල්පීන්, යාළු මිත්‍රයෝ, ප්‍රේක්‍ෂකයෝ, නෑදෑයෝ බාර හාර පිංකම් විශාල වශයෙන් සිදුකලා. සතුන්ව නිදහස් කළා. මිල මුදල් වලින් පවා මට ගොඩක් හිත මිත්‍රයෝ උදව් කළා. මම වෙනුවෙන් වචනයකින් හරි සුවය පතපු ආශීර්වාද කරපු සියලුම දෙනාට ගොඩක් පිං. කිසිම කෙනෙකුට මේ වගේ අවාසනාවන්ත සිදුවීම් නම් වෙන්න එපා කියලා තමයි මම නිතරම ප්‍රාර්ථනා කරන්නේ. විශේෂයෙන්ම මහේන්ද්‍ර පෙරේරා අයියා, විශ්ව කොඩිකාර නම් වශයෙන් නොකීවට මම ගැන ගොඩක් කලා ශිල්පීන් බැලුවා, තාමත් එහෙමයි. 


 චාමර අනතුරට පෙර රඟපෑ ටෙලිනාට්‍යය ‘රැහේ” දැන් විකාශනය වෙනවා. සතුටුයිද? 


ඇත්තටම මම තාම රඟපාන මට්ටමට සුව අතට පත්වෙලා නැහැ. ඒත් රැහේ ටෙලි නාට්‍යය විකාශනය  වෙද්දි මට ඇඬුණා නදී. මම රඟපාන සින්නගේ චරිතයට ඉතාමත් ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. මට ගොඩක් අය කතා කරනවා. මාව ජීවත් කරේ ඒ ප්‍රේක්‍ෂක ආදරය, ඒ ආශීර්වාදය. ඉක්මණින්ම ප්‍රේක්‍ෂකයෝ අතරට එන්න මමත් ආසාවෙන් බලා ඉන්නවා. ඒකට මට තව මාස හතරක් පහක් විතර යාවි...