දැන් යෂ් මගේ Nickname වෙලා - සචිත්‍ර යෂ්මින්ද

Thursday, July 22, 2021 , 0 Comments




සචිත්‍රගේ රුව වගේම කටහඬද එක සේ ජනප්‍රිය ඔබ ආදරය කළ බොහෝ විදේශීය නිර්මාණයන් සඳහා ඔහුගේ හඬ දායකත්වය ලබා දුන් නිසාය. ස්වර්ණවාහිනී නාළිකාවේ සති අග විකාශය වන ස්නැප් ටෙලිනාට්‍යයේ වෙනස්ම චරිතයකට පණ පොවන සචිත්‍ර යෂ්මින්ද වීරසිංහ ඔහුගේ අලුත් විසතර ගැන මෙලෙස පුවත්පතක් සමඟින් පවසා තිබුනා. 


 


සචිත්‍රට බොහෝ දෙනෙක් කතා කරන්නේ යෂ් කියලා මමත් එහෙම කතා කරන්නම් නේද?


කමක් නැහැ. දැන් ඒ නම මගේ නික් නේම් එක වෙලා. මගේ ෆේස් බුක් එකෙත් මම ඒ නම භාවිත කරනවා. බොහෝ දෙනෙක් මාව දන්නේ යෂ් කිව්වම. මගෙ යාළුවෝ වගේම ක්ෂේත්‍රයේ අයත් කතා කරන්නේ යෂ් කියලා.


 


යෂ් කියන්නකෝ කොහොමද ක්ෂේත්‍රයට එන්නේ කියලා?


2015 වසරෙදි මගෙ ලොකු අම්මා මාව එක්ක ගියා ජාතික රූපවාහිනියේ හඬ පරීක්ෂණයකට. පසුව මාස ගණනාවක් හඬ කැවීම් පුරුදු පුහුණු වුණා. වජිර කුමාරි විතානගේ අක්කාගේ අත්තටු නෑ ඉගිලෙයි කියන නිර්මාණයේ චරිතයක් තමයි මුලින්ම කළේ. ඔය අතරතුරේ රූපවාහිනියෙදි මට මුණ ගැසුණා චන්දන ඉරුගල්බණ්ඩාර අයියව. එයා මට කිව්වා ධනුෂ්ක රත්නායක අයියා මෙතන මවුන යාගය කියලා වැඩක් කරනවා. ඒකේ කෝසල කියලා චරිතයක් තියෙනවා. මම ඔයාගේ ෆොටෝ පෙන්නුවම ධනුෂ්ක ඔයාව ගන්න කැමති වුණා, ගිහින් මුණ ගැසෙන්න කියලා. හෙට රූගත කිරීම් තියෙනව නම් අද තමයි යන්න කිව්වේ. යන්න හිටියත් එදා හොඳටම වැස්ස නිසා ධනුෂ්ක අයියා කියලා තිබුණා කමක් නැහැ බලන්න ඕන නෑ හෙට රූගත කිරීම්වලටම එන්න කියන්න කියලා. පහුවදා ගිහින් වාහනෙන් බහිනකොටම මාව දැකලා ධනුෂ්ක අයියා කිව්වා මල්ලි දිවිල්ලක් තියෙන්නේ දුවන්න කියලා. මොකද ඒ චරිතය තුළ දුවන්න තමයි වැඩියෙන්ම තිබුණේ. ඒ දිවීම තමයි අදටත් දුවන්නේ.


 


කැමරාව ඉස්සරහට මුලින්ම යන විට මොකද හිතුණේ?


ඇත්තටම වෙව්ලුවා. බය නෑ කියලා හිතාගෙන හිනාවුණත් හිනාවෙද්දිත් වෙව්ලනවා. ඇත්තටම බය වුණා. ඒත් මම හිතුවෙ එක පාරින්ම කරනවා කියලා. ඒ සිතුවිල්ල නිසාම අද වෙනකම් එක බැණුමක්වත් අහලා නෑ.


 


යෂ්ට රඟපාන්න ලැබුණෙම වෙනස්ම චරිත නේද?


මම ගොඩක් ඉංග්‍රීසි චිත්‍රපට බලනවා. මම ඒවායේ චරිත අධ්‍යයනය කරනවා. ඒවා මගේ නිර්මාණ සඳහා යොදාගන්නවා. සමහර අවස්ථාවල ටෙලිනාට්‍ය දෙකක් ලැබෙනවා එකම චරිතය නිරූපණය කරන්න. කෙනෙකුට හිතෙන්න පුළුවන් එකම චරිතය දෙකක කරන එක අපහසුයි, එකක් අතහරින්න ඕනෙ කියලා. ඒත් මම කැමැතියි ඒ දෙකම භාර ගෙන ඒ චරිත දෙක දෙවිදිහකට කරන්න. කොහොමත් මම කැමැතියි ජනප්‍රිය චරිතවලට වඩා දෙයක් කරන්න පුළුවන් චරිතවලට. මගේ කැමැත්ත චරිතාංග නළුවෙක් වීම.


 


විජයබා කොල්ලයෙන් පස්සේ චිත්‍රපටයකට සම්බන්ධ වුණේ නැද්ද?


විජයබා කොල්ලයෙන් පසුව සරත් වීරසූරිය මහත්මාගේ ශ්‍රී සිද්ධා චිත්‍රපටයට සම්බන්ධ වුණා. ඉන් පසුව නම් චිත්‍රපටයකට සම්බන්ධ වුණේ නැහැ.


 


යෂ් හඬ දායකත්වය ලබා දුන් ජනප්‍රිය නිර්මාණ මොනවද ඇහුවොත්?


මිණි පහන ඔබයි, හිමන්තරා, චන්ද්‍රනන්දනි වගේම දෙරණ නාළිකාවේ මේ දිනවල විකාශය වන මුතු අහුර ටෙලිනාට්‍යයේ ටොප්‍රැක් මම.


 


රංගනයේදී යෂ්ට වුණ අමතක නොවනම අකරතැබ්බය මොකද්ද?


ආසන්නයේම මට වුණ සිදුවීමක් තමයි කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ එක සිදුවීමක් තිබුණා මම ගුටිකන. ලොකේෂන් එකට මම වගේ දෙකක් විතර කෙනෙක් ඇවිත් හිටියා. ඔහුගෙන් තමයි මම ගුටි කන්නේ. ඔහුගේ හැඩරුව චරිතයට ගැළපුණත් ඔහු කලින් මෙවැනි දේ කළ කෙනෙක් නෙවෙයි. ඒ පුද්ගලයා දන්නේ නෑ පාරක් වදින්නේ නැති වෙන්න ගහන්නේ කොහොමද කියලා. රිහර්සල් එකේදී මම කියලා දුන්නා මේ විදිහට කරන්න කියලා. ඒත් ටේක් එකේදී ඔහු මට පහර දීගෙන දීගෙන ගියා. පාලනය කරගන්නම බැරි වුණා. කතාව බලන විට පෙනෙයි මට ඒ ගහන පාරවල් ඔක්කොම ඇත්තටම මට වැදුණා.


 


කියාදෙන්න ආදරේ තරම් නාට්‍යයේ ඔබේ අම්මා දුලීකා මාරපන. කොහොමද මේ ප්‍රවීණයන් එක්ක කටයුතු කරද්දි දැනෙන්නේ?


මම ක්ෂේත්‍රයට ඇවිත් කෙටි කාලයක් වුණත් ඒ කාලය තුළ අවුරුදු ගාණක් ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙකුට නොලැබෙන අවස්ථා ලැබුණා. ඒත් එක්කම ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණම පිරිසක් සමඟ වැඩ කරන්න ලැබුණා. සුනිල් ආරියරත්න, ශ්‍රියන්ත මෙන්ඩිස්, අයිරාංගනි සේරසිංහ, ස්තිශ්චන්‍ද්‍ර එදිරිසිංහ, දුලීකා මාරපන, බිමල් ජයකොඩි, සමනලි ෆොන්සේකා වගේ අයගේ ඇසුරත් මගේ චරිත සාර්ථක කරගන්න ඉවහල් වුණා.


 


හේලී ඔබේ පළමු ප්‍රධාන රංගනය. විදේශීය ශිල්පිනියක් එක්ක ඒ කළ රංගනය ආයෙම මතක් කළොත්?


වෙනස්ම අත්දැකීමක්. එමී කියන්නේ රුසියානු ජාතික කාන්තාවක්. ඇය සමඟ වැඩ කිරීම හරිම අසීරු වුණා. ඇය ඩාන්සර් කෙනෙක්. ඇගේ ප්‍රථම රංගනය මෙය. ඒ අයගේ හැසිරීම සම්පූර්ණම වෙනස්. සෑහෙන ප්‍රශ්නත් වුණා. මොකද ඇය හිතන පතන විදිහ හරිම වෙනස්. ඇය සමඟ රඟපාන විට ලංකාවේ නිළියන් කොයිතරම් හොඳද කියලා හිතුණා.


 


ස්නැප් හි දුෂාන් ගැන කතා කළ යුතුමයි. කොහොමද ලැබෙන ප්‍රතිචාර?


මෙතෙක් මම කළ චරිතවලින් මම ආසාවෙන්ම කරන චරිතයක් තමයි මෙය. ස්ක්‍රිප්ට් එක කියවද්දිම මගෙ ඔළුවට ආවා මේ චරිතයට මම සෝල්ට් ඇන්ඩ් පෙපර් ලුක් එකක් ගන්න ඕන කියලා. අපේ මේකප් ආටිස්ට් ශාන් ඒකට තව අඩුවැඩිය දාලා ලස්සන කරලා දුන්නා. දුශාන්ට තියෙන ප්‍රතිචාර ඉතාම ඉහළයි. ප්‍රේක්ෂකයෝ හරිම කැමතියි ඒ චරිතයට හා කතාවට. ස්නැප් රූගත කිරීම් අවසාන කළා. අවසාන කොටස් කිහිපය මේ දිනවල විකාශය වෙන්නේ.