මම අද ඉන්න තැන ගැන සතුටු වෙනවා - චානුක ප්‍රබුද්ධ

Monday, July 05, 2021 , 0 Comments




තම දරුවන්ට මවුපියන් මොන තරම් ආදරය කරනවාද කියලා මිනුම් දණ්ඩකින් මැනලා සීමා කරන්න බැහැ. ඉතින් ඔහු එලෙස ආදරය කරපු තම දියණිය සොයමින් මහමඟ සැරිසරන ආදරණීය පියෙක්. ඔහු නමින් මාලක. ‘මාලක’ වැනි පියවරුන් අප සමාජයේ තම දරුවන් වෙනුවෙන් පීඩා විඳිමින් ගෙවන ජීවිතය ගැන වගේම මාලකගේ චරිතය හරහා ඔබට සමීප වන නව පරපුරේ දක්‍ෂ රංගන ශිල්පියෙකු වන චානුක ප්‍රබුද්ධගේ රංගන ජීවිතය ගැන කතා කරන්න පසුගියදා පැවැති පියවරුන්ගේ දිනය නිමිති කරගෙනම අපි මේ කතාබහට මුලපිරුවා.


මේ දවස්වල ඔබව ගොඩදෙනෙක් දැනහඳුන ගන්නේ ‘මාලක’ ලෙසින්. ඉතින් අපිත් කැමැතියි ඒ ගැන මුලින්ම කතා කරන්න?

‘මාලක’ මගේ ජීවිතයේ කොටසක් වෙලා අවුරුදු කිහිපයකම ඉඳලම. මුලින්ම ‘මාලක’ ‘සකු’ ටෙලිනාට්‍ය තුළින් මගේ ආදරණීය ප්‍රේක්‍ෂක පිරිස අතරට සමීප වුණා. දැන් ‘සකුගේ ලෝකය’ තුළින් නැවැත වරක් ‘මාලක’ ලෙසට මම ජීවත් වෙනවා කියලා මටම දැනෙනවා. මමත් ‘සකු’ දුව අතරත් තියෙන්නේ පුදුමාකාර බැඳීමක්. ලැබෙන ආදරණීය ප්‍රතිචාර අමුතුවෙන් කිව යුතු නැහැ. ‘සකු’ ටෙලිනාට්‍ය තුළින් ‘මාලක’ට ලැබුණු ප්‍රතිචාර අදටත් මාව ගොඩදෙනෙක් දැනහඳුනන්නේ ‘මාලක’ ලෙසින්.


සකු’ තුළින් අපි දැකපු ‘මාලක’ට වඩා දැන් අපි වෙනසක් දකිනවා?

ඔව්… වෙනස අනිවාර්යෙන්ම දැකිය යුතුයි. එදා දැකපු ‘මාලක’ට වඩා ‘සකු’ගේ ලෝකය තුළින් සමීප වන මාලක හාත්පසින්ම වෙනස්. මාලක චරිතය නිසාම මගේ බාහිර ස්වරූපය වෙනස් කිරීමට අවුරුද්දක ඉඳලා මම කැපවීමක් කළා. මොකද ඒ තරමට මමත් ‘මාලක’ චරිතයට ආදරය කරන නිසා.


 ඔබේ බාහිර ස්වරූපය වෙනස් කිරීමත් එක්ක තවත් පැත්තකින් ඔබට පාඩුවක් වන්නටත් ඇති?

ආරාධනා ලැබුණු ගොඩාක් නිර්මාණ මම ප්‍රතික්‍ෂේප කළා මගේ බාහිර පෙනුම වෙනස් වීමත් එක්ක. ලංකාවේ රූපවාහිනී නාලිකා සියල්ලගේම, නිර්මාණවල සියල්ලගේම මම හිටිය යුතුයි කියලා අදහස් කරන්නේ නැහැ. අවුරුද්දට එක නිර්මාණයක් හරි මට කරන්න තිබුණොත් හොඳටම ඇති.


කොළඹ ඉතාලියේ’ විඳින ජීවිතය කොයි වගේද?

හරිම සුන්දරයි. ‘කොළඹ ඉතාලිය’ ටෙලිනාට්‍යයේ මම ‘සුලලිත’ චරිතය තමයි රඟපාන්නේ.


 ජනප්‍රිය ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂ ප්‍රියන්ත කොළඹගේ සමග ඔබ වසර ගණනාවක ඉඳලා එක දිගට වැඩ කරනවා. මෙයට විශේෂ හේතුවක් ඇති නේද?

මාව මේ ක්‍ෂේත්‍රයේ බීජයක් ලෙස රෝපණය කළේ සාන්ත සොයිසා මහතා ඔහුගේ ‘මිතු’ ටෙලිනාට්‍යයේ. නමුත් ‘මිතු’ ටෙලිනාට්‍ය අතරමග නතර වුණා. ඉතින් එදා රෝපණය කළ ඒ බීජයට ශක්තිමත් ලෙස වැඩීමට ප්‍රියන්ත අයියා ශක්තියක් වුණා. ඔහු මගේ රංගනයට විතරක් නොව පෞද්ගලික ජීවිතයට පවා පිහිට වුණා. ඔහු මට දැනෙන්නේ මගේ පියෙක් වගෙයි. ඒ තරමට මම ඔහුට ගරු කරනවා.


 ‘මිතු’ ටෙලිනාට්‍යයෙන් පසු ඔබේ ගමන උඩුයටිකුරු වෙයි කියන සිතුවිල්ලකින් නේද ජීවත් වුණේ?

ඇත්තටම ඔව්… මම හිතුවා මගේ ගමන මෙතැනින්ම නතර වෙයි කියලා. එහෙම හිතින් පීඩා විඳිමින් ඉන්න කාලයක තමයි මට ප්‍රියන්ත අයියා ‘සකු’ ටෙලිනාට්‍යයේ ‘මාලක’ චරිතයට ආරාධනා කළේ. ‘මාලක’ට මම ජීවිතයක් නොදුන්නා නම් අද මම කොහේ ඉඳීවිද, මොනවා කරාවිද කියලා හිතාගන්න බැහැ.


 අද ඔබ ලබන ජනප්‍රියත්වයත් එක්ක ආපසු හැරී බලන විට මොකද හිතෙන්නේ?

නොසිතූ මොහොතක ආපු ගමනක් මේ. මම රංගනයට කලින් කාලයක් නිරූපණ ක්‍ෂේත්‍රයේ වැඩ කළා. කලාවට මම ගොඩාක් ආදරය කරනවා. හැබැයි මම මේ බුක්ති විඳින ආදරය, ගෞරවය හිමිවන්නේ ‘මාලක’ චරිතය නිසාමයි. එහෙම හිතන කොට මම අද ඉන්න තැන ගැන සතුටු වෙනවා.


 චනුක දැන් විවිධ චරිත හරහා ප්‍රේමයෙන් බැඳිලා කාලය ගෙවනවා. සැබෑ ජීවිතයේදී ඔබ ආදරය කරන පෙම්වතෙක්ද?

තරුණයෙක් වශයෙන් අපේ ජීවිතයට ආදරය අවශ්‍යයයි. ආදරයට මගේ දිග, පළල බේදයක් නැහැ. මට ආදරය කරන්නේ කවුද මම ඔහුට ආදරය කරනවා. ඒ ආදරයත් එක්ක තමයි අපිට මේ ක්‍ෂේත්‍රයේ රැඳෙන්න පුළුවන්. ඒ වගේම ඔබ ඇසූ දෙයට මම පිළිතුරක් දෙනවා නම් මම දැන් ආදරය කරන පෙම්වතෙක්. හැබැයි ඒක ගැන විස්තරාත්මකව මම දැන්ම කියන්න කැමැති නැහැ.



 වසන්ත විතාරණගේ