අනුන්ගේ දේවල් සූරාගෙන කන අය තමයි ප්‍රවීණයන්ගේ ගීත අරන් කවර් සෝංග් කරන්නේ

Tuesday, July 13, 2021 , 0 Comments





කුඩා කල සිට තමා දුටු එකම සිහිනය ඔහු යථාර්ථයක් බවට පත් කරගත් අයෙක්. ගල්  බොරලු පිරුණු කටුක ගමන්මඟක් පසු කොට ජයග්‍රහණයේ හිණිපෙත්තටම ගමන් කළ  ඔහු අද අපට සිටින ප්‍රවීණ කලාකරුවෙක්ද වනවා. තරුණ සේවා සභාව තුළින් අපට, රටට දායාද වූ ගායන තරුව ඔහුයි. ඔහු ප්‍රවීණ ගායන ශිල්පී චන්ද්‍රසේන හෙට්ටිආරච්චියි. මේ ඔහුගේ අතීත රස මතක ගැන පුවතපත්ක් සමඟින් කියු කතාවයි.


මේ දවස්වල කාලය ගත වෙන්නේ කොහොමද?

අලුත් නිර්මාණ නිර්මාණය කරන්න වෙහෙස මහන්සි වෙනවා. නමුත් ඒවා එළිදක්වන්න මුදල් සහ නිදහසත්  අවශ්‍යයි නේ. ඒනිසා එහෙම කරපු නිර්මාණ කිහිපයක්ම එකතු කරගෙන ඉන්නවා. ඉදිරියේදී බලමු.


ඔබ බොහොම පොඩි තැනකින් ගමන ආරම්භ කළ කෙනෙන්නේ. ඒ රස මතක අතීතය අපි කෙටියෙන් කියමු නේද?


යටියන්තොට - ගරාගොඩ තමයි මගෙ ගම. ගරාගොඩ පොලිසිය ඉදිරිපිට තමයි මගෙ ගෙවල් තියෙන්නේ. බොහොම දුප්පත් පවුලක කෙනෙක් මම. මගෙ තාත්තා මේසන් වැඩ, වඩු වැඩ, කුලී වැඩ තමයි කළේ. අම්මා රබර් කර්මාන්තශාලාවක තමයි වැඩ කළේ. ඒ අයට පුළුවන් ආකාරයට අපිට ඉගැන්වුවා. කොහොම හරි මගෙ අම්මයි තාත්තයි මට සින්දු කියන්න, වාද්‍ය භාණ්ඩ වයන්න පුරුදු කළා. එහෙම කාලයක් යන කොට ජාතික තරුණ  සේවා සභාවේ 1979 යෞවන සම්මාන උළෙලට මම නිර්මාණය කළ ගීතයක් ඉදිරිපත් කළා. 


එයින් මට ලංකාවේ ප්‍රථමයා වෙන්න හැකි වුණා. එයින් මට නිතරගයෙන් ජාතික තරුණ සේවා සභාවේ යොවුන් ගී කණ්ඩායමට ඇතුළු වෙන්න අවස්ථාව ලැබුණා. එහිදී මට ශර්ලි වෛජයන්ත සර්ව, චන්ද්‍රලේඛා පෙරේරා නංගි, සෝමසිරි මැදගෙදර මහතා ආදීන් හමුවුණා. තරුණ සේවා සභාව තමයි මාව තැනකට අරගෙන ආවේ. අපේ ගුරුවරු ඉතාම කැපවීමෙන් වැඩ කළා. අපිට සංගීත ඥානය ලබා දෙමින් අපිව ඉදිරියට ගෙන ගියා. ඒත් එක්ක කැසට් පට 45කට පමණ අපි සම්බන්ධ වුණා. මගේම කියලා තවලම' කියන කැසට් පටය තමයි මුලින්ම ජාතික තරුණ සේවා එක හරහා නිර්මාණය කළේ. 1980 තමයි මගේ පළමු ගීතය පටිගත වුණේ ඒ “තවලම් අපි යනවා" කියන ගීතය. පද රචනය සහ සංගීතය ශර්ලි වෛජයන්ත සගෙ. එතුමා ගීත ගොන්නක් මට දුන්නා. සීත කඳු යායේ, යෙහෙළියක සේ, යෙ දාර කවුළුවෙන් ගීතය, ලෝ සතහට සෙත සෑදූ කියලා බුදු ගුණ ගීයක් වැනි ගීත රාශියක් ඒ තුළ ඇතුළත්. ඒ තුළින් මගෙ ගායන හැකියාවත් කලා හැකියාවත් මගේ රසික රසිකාවියන් ඉදිරියේ තබන්න මට අවස්ථාව ලැබුණා. මම වගෙ ගමක ඉඳන් ආපු කිසිම දෙයක් කරගන්න බැරි වූ මට ජාතික තරුණ සේවා සභාවෙන්

ලොවක් ඉදිරියට එන්න අවස්ථාව සලසා දුන්නා. තරුණ සේවා සභාව තුළින් ඉදිරියට එන තරුණ පරපුරටත් ඒ ආකාරයට අතහිත දෙන පිරිසක් බිහිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා.


එදාට වඩා අද වන විට තරුණ පරපුරට පැමිණීමට තිබෙන මාර්ගය හරිම පහසු එකක් නේ. එම වෙනස ඔබ දකින්නේ කොහොමද?


එදා අපට තිබුණට වඩා අවස්ථාවක් දැන් ඉන්න තරුණ තරුණියන්ට තිබෙනවා. උදාහරණයක් විදියට අපේ කාලේ ත්‍රයට එන්න හරිම අමාරුයි. දැවැන්තයෝ ගොන්නක් හිටියා. ඒ වගේ අය අතරින් අපට එන්න පොඩ්ඩක් අපහසු වුණා. එයාලත් හොඳ නිර්මාණ කරන අය. ඒනිසා අපට තිබෙන අවස්ථාව අඩු වුණා. දැවැන්ත වෘක්ෂයන් අතර කුඩා පැළෑටියකට සරුසාරව දලු දා වැඩෙන්න තිබුණු ඉඩකඩ හරිම අඩුයි. එදා ගුවන්විදුලි සංස්ථාවේ වුවත් නවකයන්ට ඇති පිළිගැනීම හරි අඩුයි. එය එක් පිරිසකට පමණක් සීමා වෙලා තිබුණා කියලා මට හිතෙනවා.


තරුණ සේවා සභාවේ යොවුන් ගී කණ්ඩායමත් සමඟ තිබුණු මතකය කොයි තරම් සොඳුරුයිද?


එවකට අපේ යොවුන් ගී කණ්ඩායමට නිර්මාණය කළ ගීත ගුවන් විදුලියෙහි බදදා පිළිසඳර වැඩසටහන තුළින් ප්‍රචාරය කළා. එහෙම තමයි එදා අපේ නිර්මාණ රසිකයන් අතරට ගියේ. ඉන් අනතුරුව තමයි රූපවාහිනිය ලංකාවට ආවේ. රූපවාහිනියටත් මුල් කාලේ අපේ ගීත දුන්නා. ස්වාධීන රූපවාහිනිය පටන් ගන්න කොටත් මම චන්ද්‍රලේඛා පෙරේරා, සෝමසිරි මැදගෙදර, ශර්ලි වෛජයන්ත සර්, තේන්ජා අමරසිංහ, ධම්මිකා කරුණාරත්න, ස්වර්ණතිලකා ද සිල්වා වැනි යොවුන් ගී කණ්ඩායමේ අපි සින්දු කිව්වා. ඉතින් ඒ අතීතය හරිම සුන්දරයි. ඒ අතීතයට අපි 

තාම ආදරෙයි. කලා ලොවේ දැවැන්තයන්ගෙනුත් මගෙ ගමනට උපකාර ලැබුණා.


අද වන විට ගීතයකට වටිනාකමක් ලැබීම කෙරේ රූප රචනාවලිනුත් වැඩි දායකත්වයක් සැපයෙනවාන්නේ. එය ඔබ දකින්නේ කෙසේද?


රූප රචනාවන් පළමුවෙන්ම සිදු කළේ අපි. උදාහරණයක් වශයෙන් තවලම ගීතයට එහෙම රූප රචනාවන් සිදු කළා. සීත කඳුයායේ ගීතය, පසුකාලීනව, මගේ “කෙලෙසද කීවත්" කියන ගීතයටත් රූප රචනාවක් සිදුවුණා. ඊට පසුකාලීනව ඉතින් රූප රචනා කතන්දරය ගොඩක් දියුණු තැනකට ආවා නේ. අද වන විට යූ ටියුබ් දක්වාම එය විකාශය වෙමින් පැමිණ තිබෙනවා.



තරුණ පරපුර සමාජ මාධ්‍ය ජාලා භාවිතයෙන් ගීත නිර්මාණයනට නව අරුතක් එක් කිරීම වැඩි වශයෙන් දක්නට ලැබෙනවා. ඒ ගැන ඔබ මොකද හිතන්නේ?


යූ ටියුබ් එක ඇතුළු විවිධ සමාජ මාධ්‍ය ජාලා තුළ තරුණ පරපුරට තම නිර්මාණ ප්‍රචාරය කර ගැනීමට මහා ඉඩක් ලැබී තිබෙනවා. අපි එන කාලේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව කියන නාමය විතරයි තිබුණේ. එකල ලංකාවේ ඉන්න කලාකරුවන්ට අවස්ථාව දෙන්න ප්‍රමාණවත් වුණේ නැහැ. නමුත් හරි ප්‍රමිතියක් සහිත ගීත නිතරම ඉදිරිපත් කළා. ප්‍රමිතියක් නැති වචනවල ගැළපීමක්, අර්ථයක් නැති ආධුනික මට්ටමේ ඇති ගීත ප්‍රචාරය කළේ නැහැ. නමුත් දැන් ඉතින් ලොකු ලොකු අයූනාවල් ප්‍රචාරය වෙනවානේ. ඒවටත් කැමැති කට්ටිය ඉන්නවා. ඉතින් දැන් ඉන්න අයට රූපවාහිනිය සහ ගුවන්විදුලි නාළිකාවන් කිහිපයක්ම තිබෙනවා. ඒවගේම යූ ටියුබ් එක ලෝකයටම යන්නත් පුළුවන්.  මේ අවස්ථාවල් අලුත් අයට තිබෙනවා. දැන් තරුණ සේවා සභාවට ගායකයො බිහි කරන්න මහන්සි වෙන්න ඕනි නැහැ. හැබැයි දැන් වුවත් ප්‍රමිතියක් ඇති ගායකයො බිහි වුනොත් බිහි වෙන්නේ තරුණ සේවා සභාවෙන් තමයි.


නව පරපුර විසින් ප්‍රවීණයන්ගේ ගීත නිර්මාණ ඇසුරින් නව නිර්මාණ බිහි කිරීම සුබදායකද? ඒ ගැන ඔබගේ මතය කිව්වොත්?

මම දකින විදියට එය තමයි අලුත් පරම්පරාවේ ඇති බාලකම. බාලයො බාල වැඩ කරනවානේ. මං එවැනි අය හැමෝම ගන්නේ බාලයන් විදියට. කිසිම වැඩකට නැතිව අනුන්ගේ දේවල් හුරාගෙන කන අය තමයි ප්‍රවීණයන්ගේ ගීත අරන්ගෙන කවර්ස් කරනවා කියලා අ4දනාවල් දාලා ඒවා වෙනස් කරන්නේ. මම මෙවැනි බාලයන්ට කියන්නේ එහෙම නොකර තමුන්ගේ ලස්සන නිර්මාණයක් කරන්න. දුක්විඳලා මහන්සිවෙලා මුදල් ගෙවා නිර්මාණය කළ ගීතවලට මේ වගේ කවර් කරන්න අවශ්‍ය නැහැ.


දරුවොත් කලාවට සම්බන්ධයි නේද?


ඔව්. මගේ දුවට ගීත 15ක් පමණ නිර්මාණය කරලා දීලා තියෙනවා. ඒ ඔක්කොම නව නිර්මාණ. එයාලට මගෙ ගීතවලටවත් කවර්ස් කරන්න මම ඉඩ දිලා නැහැ. එයාලට පුළුවන් තමන්ගේම දෙයක් කරගන්න. අනුන්ගේ ගීතයක් කියලා සතුටු වෙන්න පුළුවන්. එය ගැටලුවක් නැහැ. නමුත් එම ගීත රෙකෝඩ් කරලා ප්‍රචාරය කරන්න මම ඉඩ දෙන්නේ නැහැ. පුතත් ගීත රචනාවල් සිදු කරනවා. සින්දු කියන්නත් පුළුවන්. ඉදිරියේදී ඒ අයත්  ක්‍ෂේත්‍රයට ඒවි. මම ඉන්නැද්දි මගෙ පුතා සින්දු කියන්නේ නැහැ කියලා කියනවා. මම නම් ඔහුට ගීත ගයන්න එපා කියන්නේ නැහැ. ඔහුගේ තීරණය හොඳ තීරණයක් නිසා මම එයට ඉඩ දුන්නා.


පවුල ගැනත් කෙටි හැඳින්වීමක් කරමු?

මම පළමුවෙන්ම යටියන්තොට ගරාගොඩ සිංහල කනිෂ්ඨ විද්‍යාලයට ගියා. පසුව යටියන්තොට මධ්‍ය මහා විද්‍යාලයෙන් ඉගෙනුම අවසන් කළා. මගේ බිරිය මංගලිකා හෙට්ටිආරච්චි. පුතා ගයන මදුවන්ත හෙට්ටිආරච්චි, දුව ලිහිණි හෙට්ටිආරච්චි.


මෙතෙක් පැමිණි ගමන්මඟ ගැන තෘප්තිමත්ද?

ඔව්. ඇත්තටම තෘප්තිමත්. මේ ලැබිලා තියන ජනප්‍රියත්වය දිහා ආපසු හැරී බලන විට මම තරම් වාසනාවන්තයෙක් නැහැ කියලා මට හිතෙනවා. මේ ගමනේදී මට උදවු කළ සියලුම දෙනාටමත් සංගීතයට අත්පොත් තැබූ මගේ මවුපියන්ටත්, මගෙ ගුරුවරුන්ටත්, රසික රසිකාවියන්ටත් ගොඩක් ස්තුතියි.