අනෙ­කාට ගරු නොක­රන සමා­ජ­යක කලා­ක­රු­වාට තෘප්ති­මත් වෙන්න බෑ - මිහිර සිරිතිලක

Monday, June 28, 2021 , 0 Comments





මිහිර සිරිතිලක අපට සිටින දක්ෂ රූපණ ශිලිපියෙක්. ප්‍රහසන රංගනය නිසා මහත් ප්‍රසාදයට පත් වූ මිහිර කොවිඩ් එක්ක පැමිණි අභියෝග පිරුණු සමයේ සිය නිර්මාණ ජීවිතයේ වෙනස් මාන සොයා යනවා. කව් සරණියක් එළි දක්වලා, ගීත කීපයක් නිර්මාණය කරලා අලුත් වූ මිහිර ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙක් ලෙස නැවතත් කරලියට ඇවිත්.


 

මේ දවස්වල ඔබ නිර්මාණ කටයුතුවලට කාර්යබහුල වෙලාද ඉන්නේ?


ලොකු කාර්යබහුලත්වයක් නෑ. ‘සිහින ගෙනෙන කුමාරියේ‘, ‘සකල ගුරු‘, ‘ඉඟි බිඟි‘ වගේ මම රංගනයෙන් සම්බන්ධ වෙන නාට්‍ය කිහිපයක් විකාශය වෙනවා. ඒ වැඩ කටයුතු සමබරව කරගෙන යනවා. සහරාන්ගේ ප්‍රහාරයෙන් පස්සෙ ඉඳන් අපේ ගොඩක් වැඩ අඩු වුණා. වේදිකා නාට්‍ය පැත්ත නැති වුණා. ඉවෙන්ට් නැති වුණා. ඒ නිසා රූගත කිරීම්වලට තමයි කාලය වෙන්වෙලා තියෙන්නේ.


 පහුගිය කාලේ ලැබුණ විවේකය අලුත් වැඩවලට යොදා ගත්තා කියලා ආරංචියි ?


මා ලියපු කවි ‘ මම ඔබ නිසා‘ කියන කවි පොතකින් එළියට දැම්මේ. මගේ කවි ගීත රචනා දැක්ක අය කිව්වා ඒවා ගීත කරමු කියලා. දැනට මම ගීත කිහිපයක් කරලා තියෙනවා. ක්‍රිෂාන්ත එරන්දක, රොහාන් ශාන්ත බුලේගොඩ, සමන් ලෙනින්, විරාජ් භාතිය වගේ පිරිසක් තමයි ඒ ගීත ගයලා තියෙන්නේ. ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා ඒ නිර්මාණවලට. දැනට mihira sirithilake gw කියන යූ ටියුබ් නාලිකාවෙන් ඒ ගීත අහන්න පුළුවන්. සියලු නාලිකාවලටත් ගීත ලබාදී තිබෙනවා.


 ඔබ ටෙලි අධ්‍යක්ෂණයටත් පසු ගිය කාලේ යොමු වුණා. ඒ ඇරඹුම ගැනත් කතා කරමු?


පළමු කොරෝනා රැල්ල ඇවිත් තියෙද්දි අධ්‍යක්ෂණය පැත්තටත් එන්න ඕනේ කියන අදහස ආවා. ‘ඉඟි බිඟි‘ නාට්‍ය රූගත කරලා දැන් එය ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශය වෙනවා. ‘සඳ ගොමුව‘ තමයි මගේ ඊළඟ අධ්‍යක්ෂණය. එහි රූගත කිරිම් මාස කිහිපයකට කලින් ඇරඹුවා.


 අධ්‍යක්ෂණ කාර්යයේ අභියෝගයක් ඔබට තිබුණද?


මට අවුරුදු විසි ගණනක් තිස්සේ පුරුදු රංගනය. මම වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණය කළා. මියුසික් වීඩියෝ අධ්‍යක්ෂණය කළා. ජාතික තරුණ සේවා සභාවේ විඩියෝ පාඨමාලාවක් කරලා තිබුණා. මේ දේවල් එක්ක අධ්‍යක්ෂණය ගැන මට පොඩි දැනුමක් තිබුණා. අධ්‍යක්ෂණය කියන කොටස අධ්‍යයනය කරමින් දැන් වැඩ කරගෙන යනවා.


 

ඔබේ නිර්මාණ අන්තර්ජාලය ඔස්සේ ප්‍රේක්ෂකයන්ට දැකබලා ගන්න ක්‍රමවේදයක් හදලා තියෙනවා නේද?


මොබයිල් ටීවී කියන යූටියුබ් නාලිකාව ඔස්සේ මම නිර්මාණය කරන නාට්‍යය පෙන්වීමේ ක්‍රමවේදයක් සකස් කරගෙන යනවා. දැන් හැමෝගෙම අතේ ජංගම දුරකථනයක් තියෙනවා. ඒ වගේම බොහෝ දෙනා අන්තර්ජාලය වෙනුවෙන් නිර්මාණ කිරීමේ ප්‍රවණතාවකුත් හැදිලා. මොබයිල් ටීවි ආයතනය අපිත් එක්ක එකතු වෙලා ‘සඳ ගොමුව‘ නිර්මාණය විකාශය කරන්න සූදානමක ඉන්නේ.


 

කලා ක්ෂේත්‍රය තිබෙන අස්ථාවර පසුබිමක නිර්මාණ කිරීම අභියෝගයක් නෙවෙයි ද ?


ලංකාවේ සමහර නිෂ්පාදකවරු නිර්මාණවලට අතහිත දීලා තිබුණට ඒ නිර්මාණ විකාශය කරගන්න බැරි තත්ත්වයි උද්ගත වෙලා තියෙන්නේ. එය නිර්මාණයේ දුර්වලතා මත සිදු වෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. නමුත් හොඳ නිර්මාණ පවා අවුරුදු අට දහය ගිහිල්ලත් ප්‍රේක්ෂකයන්ට පෙන්න ගන්න බැරුව ඉන්නවා.


ඒවගේ ප්‍රශ්නවලට නිර්මාණකරුවෝ මුහුණ දෙද්දි අපි නිර්මාණකරණයට විකල්ප හොයන්න වෙනවා. ලෝකයේ ඉන්න බොහෝ දෙනෙක් දැන් යූ ටියුබ් මගින් නාට්‍ය බලනවා. නාලිකාවලින් විකාශනය වෙන නාට්‍යයත් දැන් බොහෝ වෙලාවට බැලෙන්නේ යු ටියුබයෙන්. අපි නිර්මාණවලට වෙනම ප්ලැට්ෆෝම් එකක් හදාගත්තොත් අපිට විශාල පෙළඹවීමක් කරන්න පුළුවන්. නිෂ්පාදකවරු හොයාගන්න වගේම නිර්මාණ කරලා ඒවා ප්‍රේක්ෂක රසවින්දනය වෙනුවෙන් ලබා දෙන්නත් ඒ හරහා ඉඩ ලැබෙනවා. අප දැන් එවැනි විකල්ප මාධ්‍ය සොයා ගත යුතුයි...


 


රූපවාහිනි නාලිකාවලට අවශ්‍ය විදිහට නිර්මාණ බිහිවීමේ රැල්ල ගැන ඔබ මොකද හිතන්නේ?


ඒකේ ගැටලුවක් තියෙනවා. නිර්මාණ කියන්නේ වැටකඩොළු බඳින්න බැරි දෙයක්. ඒකට නිදහසේ වැඩෙන්න ඉඩ දෙන්න ඕනේ. රාමු ගහලා ඒ රාමුව ඇතුළේ නිර්මාණ කරන්න කියලා වැඩක් නෑ. නිදහසේ නිර්මාණ කරන්න ඉඩ දීලා ඒ අතරින් නාලිකාවලට උචිත දේ තෝරා ගැනීමයි ඔවුන්ගේ වගකීම.


 


එහෙම රැල්ලට කෙරෙන නිර්මාණයක ඔබට අවස්ථාවක් ලැබුණොත් එකතු වෙනවද?


මගේ රස්සාව රඟපාන එක. මම පළමුව කළ යුත්තේ රස්සාව. වැඩ කරන තැනේ අවුලක් තියෙනවා නම් රස්සාව කරන ගමන් ටික ටික වෙනස්කම් කරන්න පුළුවන්. කරන්න තියෙන දේ හරි නෑ කියලා එළියට ආවොත් මොනවත් කරන්න වෙන්නේ නෑ. ලංකාවේ තියෙන්නේ වෘත්තීමය කලාවක් නෙමෙයි.


 

වර්තමානයේ කෙරෙන බොහෝ ටෙලි නාට්‍යවල නිශ්චිත තිරපිටපත් නොමැති ගැටලුව බොහෝ දෙනා විවේචනය කරන කාරණයක් ?


අද මුදල කියන රාමුවට තමයි නිර්මාණ බස්සන්නේ. ඉස්සර ‘දඩුබස්නාමනය‘ ටෙලි නාට්‍යයේ එක කොටසකට ලක්ෂ හතර හමාරක් ගෙව්වා. දැන් ටෙලි නාට්‍යයක එක කොටසකට ගෙවන්නේ ලක්ෂ එක හමාරයි. නිර්මාණකරුවාට ඒ තිබෙන වපසරිය ඇතුළේ වැඩ කරන්න සිද්ධ වෙලා. එහි බලපෑම නිර්මාණය හා බැඳුණු සියලු දෙනාට බලපානවා. නමුත් ලංකාවේ හොඳ පිටපත් තියෙනවා. නිෂ්පාදන වියදම වැඩි නිසා ඒවා කරන්න බෑ. ලාබෙට වැඩ කරන්න ගිහින් තමයි නිර්මාණ බංකොලොත් වෙන්නේ .


 

කලාවට එද්දි ඔබට තිබුණු තෘප්තිය තවමත් තියාගෙන ඉන්න පුළුවන්ද ?


නිර්මාණකාරයෝ කියන්නෙත් මනුස්සයෝ. කෙනෙක් තව කෙනෙක්ට ගරු නොකරන සමාජයක නිර්මාණකරුවාට සතුටක් ලබන්න බෑ. එහෙම සමාජයක් හැදුණු දවසට නිර්මාණකරුවන්ට විතරක් නෙමෙයි සමාජයක් ලෙස හැමෝටම සතුටු විය හැකියි.


 ඔබ බොහෝ වෙලාවට ප්‍රේක්ෂකයන් අතරට එන්නේ ප්‍රහසන චරිතවලින්. ඉන් ඔබ්බට ලැබෙන අවස්ථා අඩුයිද ?


අපිට වෙනස් චරිත දීලා අත් හදාබලන්න තරම් අධ්‍යක්ෂවරුන්ට මානසික නිදහසක් නෑ. ඩී. බී නිහාල්සිංහට ජෝ අබේවික්‍රමව වැලිකතරට ගේන්න තිබුණු අභිමානය ඇති කරන්න අද අමාරුයි. ඒ නිසා චරිතවලට වෙන්වෙලා ඉන්න ශිල්පීන් ගෙනත් ඒ වගේ චරිතවලටම බැස්ස වීම තමයි දැන් ලේසියට කෙරෙන්නේ.


 ඔබගේ නිර්මාණ තුළින්වත් ඔබව වෙනස් කරගන්න උත්සාහ කරන්නේ නැද්ද?


දැන් තියෙන තත්ත්වය එක්ක රංගන ශිල්පීන්ට ශිල්පිනියන්ට තමන්ට හරි යන චරිත හදාගෙන තමුන්ම නිෂ්පාදන කරලා නිර්මාණ කරන්න වෙන තත්ත්වයක් තමයි ඇති වෙලා තියෙන්නේ.


ප්‍රහසන චරිතවලින් ප්‍රේක්ෂකයෝ මාව වැළඳ ගත්තට ‘මොණරතැන්න‘, අ‘ළුපාට හීන‘ වගේ නිර්මාණවල මට වෙනස් චරිත කරන්න ලැබුණා. බොලිවුඩයේ අමීර් ඛාන් ගත්තම ඔහුම ඔහුගේ ගමනට චිත්‍රපට තෝරා ගෙන කරනවා. එහෙම ආදර්ශ ගුරු කරගත් ගමනක් යන්න අපත් කල්පනා කළ යුතුයි.