සරසවි ප්‍රේමයක්වත් නොතිබුණු මම තවම තනිකඩයි - ඉෂාර මධුෂාන්

Monday, June 28, 2021 , 0 Comments




හිරු අවුරුදු කුමරා ලෙස අභිෂේක ලබමින් රංගන ක්ෂේත්‍රයට වරම් හිමිකරගත් නව පරපුරේ හැඩකාර තරුණයෙක් පිළිබඳව කතාබහ කරන්නට හදගැස්ම මේ ඉඩකඩ වෙන් කළා. ඔහු නමින් ඉෂාර මධුෂාන්.


කොහොමද මේ දවස්වල ජීවිතේ?

මේ දවස්වල රූගත කිරීම් සහ මගේ අනෙක් වැඩකටයුතු කරගෙන ඉන්නවා.


ඉෂාර මධුෂාන් ගැන විස්තර ටිකක් කියමු?


මට වයස අවුරුදු 26යි. මම විදුලි හා විද්‍යුත් ඉන්ජිනේරුවරයෙක් හැටියට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිය නිම කරා ගිය අවුරුද්දේ. ඊට අමතරව අපේම ව්‍යාපාරයක් තිබෙනවා. ඉතාම පොඩි තැනකින් පටන් අරගෙන මේ වනවිට ඉතාම සාර්ථක ව්‍යාපාරයක් විධියට වැඩිදියුණු වෙලා තිබෙනවා. මම එම ව්‍යාපාරයටත් සම්බන්ධ වෙලා ව්‍යාපාරිකයෙක් හැටියටත් කටයුතු කරනවා.


ඔබ රංගනයට පිවිසෙන්නේ කොහොමද?


මම 2018 ස්වාධීන රූපවාහිනියේ අවුරුදු කුමරා තරගයේ තුන්වැනි ස්ථානය ලබාගත්තා. ඊට පසුව 2019 අවුරුද්දෙදි හිරු අවුරුදු කුමරා බවට පත් වුණා. ඉන්පසු මේ අවුරුද්දෙදි මම රාවණා ටෙලි නාට්‍යයේ තිර පරීක්ෂණයට ඉදිරිපත් වුණා. එමඟින් මාව රාවණා ටෙලි නාට්‍යයේ චරිතයක් සඳහා තෝරාගත්තා. නමුත් මේ කොවිච් තත්වයත් සමඟ රූගත කිරීම් සිදු කරන්න ලැබුණේ නැහැ. ඊට පසුව දෙවෙනි ඉනිමේ රදිෂ් කියන චරිතයට මට ආරාධනාවක් ලැබුණා. ඒ තුළින් තමයි මම රංගනයට යොමු වෙන්නේ.


කුඩා කාලයේ ඉඳන් රංගන ශිල්පියෙක් වෙන්න ආසාවක් තිබුණද?

පොඩි කාලේ ඉඳන් මට ආසාවක් තිබුණා සමාජයට බලපෑම් කළ හැකි පුද්ගලයෙක් වෙන්න. මම පොඩි කාලේ ගොඩක්ම දක්ෂ නිවේදන කටයුතුවලට. රංගනයටත් පොඩි කාලේ ඉඳන්ම ආසාව තිබුණා.


ඔබ නිවේදන කටයුතුවල යෙදිලා තිබෙනවාද?

ඔව්. පාසල් කාලයේ නිර්වේදන තරගවලින් සමස්ත ලංකා මට්ටමේ ජයග්‍රහණ ලබාගෙන තිබෙනවා. ඊට අමතරව විශ්වවිද්‍යාලය තුළත් නිවේදන කටයුතු සිදු කරලා තිබෙනවා.


මාධ්‍ය ක්ෂේත්‍රය තුළ නිවේදකයෙක් හැටියට කටයුතු කරන්න අවස්ථාව ලැබුණේ නැද්ද?


හිරු අවුරුදු කුමරා වුණාට පසුව මට අවස්ථාවක් ලැබුණා. නමුත් ඒ වනවිට මම විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ අධ්‍යාපන කටයුතු සමඟ කාර්යබහුල වෙලා සිටියේ. එම නිසා මම ඒ අවස්ථාව ලබාගත්තේ නැහැ.



ඔබ මේ වනවිට අධ්‍යාපනය ලැබූ ක්ෂේත්‍රයේ රැකියාවක් කරනවාද?

මම රැකියාවක් කළා. නමුත් එම රැකියාව මගේ අනෙක් කටයුතු සමග කරගෙන යෑමට අපහසු වීම නිසා මම එම රැකියාවෙන් ඉවත් වුණා. ඉදිරියේදී මට මගේ අනෙක් වැඩ කටයුතු සමඟ කරගෙන යා හැකි රැකියාවක් ලැබුණොත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේන්ම මම විශ්වවිද්‍යාලයේ අධ්‍යපනය ලබන කාලයේ උපකාරක පන්ති පැවැත්වූවා. උපකාරක පන්ති ගුරුවරයෙක් විධියට ඉදිරියේදී කටයුතු කරන්නත් මට අදහසක් තිබෙනවා. නමුත් තාම ඒ පිළිබඳව ස්ථිර තීරණයක් ගෙන නැහැ.


ඔබේ රංගනයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

මට හිතාගන්න බැරි තරම් ඉහළ ප්‍රතිචාර ලැබෙනවා.


ඔබ රංගන ක්ෂේත්‍රයට නවකයෙක්. මේ අත්දැකීම ඔබට දැනෙන්නේ මොනවගේද?

ඔව්. මම රංගනයට ආධුනිකයි. මම කලින් මියුසික් විඩියෝවල රඟපාලා තිබෙනවා. ලංකාවේ ට්‍රෙන්ඩින් වුණු මියුසික් විඩියෝ කිහිපයකම රඟපාලා තිබෙනවා. ඒවාට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබිලා තිබෙනවා. ටෙලි නාට්‍ය මියුසික් වීඩියෝවලට හාත්පසින්ම වෙනස්. මට මුලින්ම රංගනයේ යෙදෙන එක ටිකක් අමාරු වුණා. මේ වෙනකොට මම ක්‍රම ක්‍රමයෙන් මගේ හැකියාවන් වැඩිදියුණු කරමින් ඉදිරියට යනවා. ලංකාවේ සිටින ජනප්‍රිය වගේම ප්‍රවීණ නළු නිළියන් වන ධර්මප්‍රිය ඩයස්, රෙන්ස් කොඩිප්පිලි වගේ නළුවන් සමඟ මට රඟපාන්න අවස්ථාව ලැබුණා. ඒක හොඳ අත්දැකීමක් වුණා.


අද වනවිට ලංකාවේ ප්‍රේක්ෂකයන්ගෙන් කොටසක් දීර්ඝ මෙගා ටෙලිනාට්‍ය විවේචනය කරනවා. ඔබ ඒ ගැන කුමක්ද සිතන්නේ ?

එහෙම විවේචනය කරාට ගොඩක් අය බලනවා. බැන බැනත් බලනවා. අපිට හැමෝටම තෘප්තිමත් කරන්න බැහැ. අපිට අකැමැති පිරිස ගැන මට බලන්න වෙලාවක් නැහැ.


ඔබ රංගන ශිල්පියෙක්, ව්‍යාපාරිකයෙක් විධියට වැඩකටයුතු සමබරව කරගෙන යන කොහොමද?

මම විශ්වවිද්‍යාලේ ඉන්න කාලයේ බාහිර වැඩකටයුතු බොහෝමයකට සම්බන්ධ වෙලා කටයුතු කළා. ඒ ලැබුණු අත්දැකීම සහ පන්නරය මට මේ වැඩකටයුතු සමබරව කරගෙන යන්න ප්‍රයෝජනවත් වුණා.



පවුලේ විස්තර?

මගේ පවුලේ ඉන්නේ අම්මා, අයියලා දෙන්නා සහ අක්කා. මගේ තාත්තා අවුරුදු 3කට කලින් අපි අතරින් සමුගත්තා. මගේ අක්කා ගුරුවරියක්. ලොකු අයියා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක්. ඒ වගේම දැනට ලංකාවේ සිටින ප්‍රබල වාහන ව්‍යාපාරිකයෙක්. පොඩි අයියා මොරටුව විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ සිවිල් ඉන්ජිනේරුවරයෙක්. දැනට ඔහු ඕස්ටේ‍්‍රලියාවේ සිටින්නේ.


ඔබ රංගනයට පිවිසෙන විට පවුලේ අයගෙන් ලැබුණු ප්‍රතිචාරය සහ සහයෝගය ගැන කිව්වොත්?

මුලින්ම මම රංගනයට කලින් නිරූපණ ශිල්පියෙක් හැටියට කටයුතු කළා. මම නිරූපණ

ක්ෂේත්‍රයේ කටයුතු කරනවට ගෙදර අයගෙ වැඩි කැමැත්තක් තිබුණේ නැහැ. නමුත් රංගන ක්ෂේත්‍රයට පැමිණියාට පසුව ගෙදර අය ඒකට කැමැති වුණා.


ඔබ මේ වනවිට නිරූපණ ශිල්පියෙක් ලෙසත් කටයුතු කරනවාද?



මම විවිධ සන්නාම සඳහා පෙනී සිටියා පමණයි. නිරූපණ ශිල්පියෙක් ලෙස තරගවලට  සහභාගි වී නැහැ. ඉදිරියේදී ඒ ගැන හැදෑරීමකින් පසු තරග සඳහා ඉදිරිපත් වෙන්නත් අදහසක් තිබෙනවා.


ඔබ පෙම්වතෙක්ද?


නැහැ.


සරසවි ප්‍රේමයක් තිබුණේ නැද්ද?


නැහැ. සරසවි ප්‍රේමයක් තිබුණේ නැහැ.


ඉදිරි බලාපොරොත්තු මොනවාද?


ජනප්‍රිය රංගන ශිල්පියෙක්, නිවේදකයෙක් වගේම ලංකාවේ ද ව්‍යාපාරිකයෙක් විදියට සමාජයට, රටට සේවය කරමින් සාර්ථක ජීවිතයක් ගත කරන එක තමයි මගේ බලාපොරොත්තුව.