ගොසිප් නොවදින විදියට ජීවත්වුණාම කිසිම ප්‍රශ්නයක් නැහැ - ගිවන්ත අර්ථසාද්

Thursday, June 17, 2021 , 0 Comments




මේ දවස්වල හදවිල අරණ විසල් පූර්ණජිත් ලෙස ඔබට සමීප වන ජනප්‍රිය රංගන ශිල්පියකු වන ඔහු ගිවන්ත අර්ථසාද්. ඔහුට මේ දවස්වල අන්තර්ජාලය ඔස්සේ මඩ ප්‍රහාරයක් පැතිර යනවා. ඉතින් ඔහු මේ ප්‍රශ්නයට මුහුණ දෙන විදිය ගැන මේ විදියට පුවත්පතක් සමඟින් විස්තර කියා තිබුනා.


 ගිවන්තට එරෙහිව මේ දවස්වල මඩ ප්‍රහාරයක් යනවා නේද?

ඔව් නේ… ‘හදවිල අරණ’ ටෙලිනාට්‍යයේ මම නිරූපණය කරන විසල්ගේ චරිතයට තමයි එවැනි මඩ ප්‍රහාරයක් සිදුවන්නේ. ඔය දේවල් කලා ක්ෂේත්‍රයට සම්බන්ධ ජනප්‍රිය ඕනෑම කෙනකුට මුහුණ දෙන්න වෙන් දේවල්. විසල් ජනප්‍රිය ගායකයෙක්. ඉතින් නෙත්මිගේ ආදරයට මම ආදරය කරන්නෙ නැති නිසා නෙත්මි කණ්ඩායමක් සමග එකතු වෙලා කරන දෙයක් තමයි මේ දවස්වල විකාශය වෙන්නේ.


 ඔබටත් සාමාන්‍ය ජීවිතයේදී මෙවැනි ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙලා තිබෙනවද?

අපේ මට එහෙම වෙලා නැහැ. මම සියලු දෙනා සමග සහයෝගයෙන් වැඩකරන කෙනෙක්. ගොසිප් එකක් නොවදින විදියට ජීවත් වුණාම කිසිම ප්‍රශ්නයක් නැහැ. අනෙක මේ ගොසිප් ගහන අය මොනව බලාපොරොත්තුවෙන් එවැනි පහත් වැඩ කරනවද කියලා හිතාගන්න බෑ.


 හැබැයි ඉතින් විසල්. නෙත්මිට ආදරය කරලා පසුකාලකදී හඬකට වශී වෙලා ඒ ආදරය පසුපස යන එක හරිද?

නෙත්මිට වඩා නදීගේ තිබෙන හැකියාව වගේම ඇගේ ගතිගුණ, අහිංසකකමට විසල්ගේ හිත යනවා. හැබැයි ඉතින් අවසානයේ විසල්ට නෙත්මිගේ ආදරය නැවත ලැබෙනවා.


ඔබ රංගන ශිල්පියකු වගේම තවත් පැත්තකින් ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයකු ලෙසත් කටයුතු කළා. ඉතින් ‘කාසි’ ඔබේ කුළුඳුල් නිර්මාණය, එය තවම අපට දැකගන්න ලැබුණේ නැහැ?

ඔව්, මමත් ගොඩක් ආශාවෙන් හිටියේ ‘කාසි’ විකාශය වෙනකම්. ඒ වගේම එය විකාශය කරගැනීමට ගොඩක් මහන්සි වුණා. ඒත් තවම විකාශය කරගන්න බැරි වුණා. මං වගේම මේ ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් නිර්මාණ කරලා ඒවා විකාශය කරගන්න බැරිව ගෙදර තියාගෙන ඉන්නවා.


 ඒ කියන්නේ ඔබ නැවත නිර්මාණයක් කරන අදහස හිතින් ඇත්හැරලාද?

ඔව්, ඉතින් නිර්මාණ කරලා ගෙදර තියාගන්න කවුද කැමැති. දැන්නම් මම ඒ අදහස අත්හැරලා තියෙන්නේ. ආශාව, හැකියාව තිබුණට අලුත් පරපුරට අවස්ථාවක් දෙන්නේ නැත්නම් ඔවුන්ගේ හැකියාවන් යටපත් කරගෙන පැත්තකට වෙලා ඉන්නවා. මේ නිර්මාණකරණයට ක්‍රමවේදයක් අනුව හොඳ සැලසුමක් තිබුණොත් ගොඩ බොහෝ දෙනකුට ඔවුන්ගේ නිර්මාණ විකාශය කරගන්න දොර විවර වෙයි කියලා මම හිතනවා.


 ඔබ වෘත්තීය රංගන ශිල්පියෙක් ලෙස කටයුතු කරන කෙනෙක් බව අපි දන්නවා. රටේ තිබෙන කොවිඩ් වසංගතයත් එක්ක ආර්ථික ගැටලුවලට මුහුණ දෙන්නේ කොහොමද?

ඔව්, ඒක තමයි ලොකුම ප්‍රශ්නය. මේ ක්ෂේත්‍රයේ ගොඩ දෙනෙක් වෘත්තීය ශිල්පීන් ලෙස කටයුතු කරනවා. ඒ සියලු දෙනාටම මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න සිදුවෙලා. මේ අවස්ථාවේ සියලු දෙනාට සහනදායී පිළිවෙතක් ලැබෙනව නම් වටිනවා.


 මේ දවස්වල ඔබේ වැඩකටයුතු කොහොමද?

නිර්මාණ වැඩකටයුතු කරන්න බැරි නිසා ගෙදරට වෙලා තමයි කාලය ගෙවෙන්නේ. කරපු නිර්මාණ තිබෙනවා ඉදිරියේදී විකාශය වීමට. පසුගිය දවස්වල නිශාන්ත ප්‍රදීප් අධ්‍යක්ෂණය කළ ‘මොනර දැල’ චිත්‍රපටයට සම්බන්ධ වෙලා හිටියේ.


වසන්ත විතාරණගේ