මියුසික් වීඩියෝ හයසීයක මම පෙම්වතා වෙලා තියෙනවා - විරාජ් පෙරේරා

Thursday, June 17, 2021 , 0 Comments





මියුසික් වීඩියෝ තුළින් ආදරණීය පෙම්වතා ලෙස ප්‍රේක්ෂක හදවතට සමීප වුණු විරාජ් පෙරේරා දැන් ජනප්‍රිය රංගන ශිල්පියකු බවට පත්වී හමාරයි. මේ දිනවල විකාශය වන පාර දිගේ ටෙලිනාට්‍යයේ රෙක්සි ලෙසින් ඔබට සමීප වන්නේද ඔහුයි. දිගු කාලයකට පසු  ඔහුෙග් අලුත් විස්තර ගැන  මේ විදියට පවසා තිබුනා .


විරාජ් මේ දවස්වල ‘පාර දිගේ’ සැරිසරන බව දකිනවා. අපි කැමැති ඒ ගැන මුලින්ම දැනගන්න?


‘පාර දිගේ’ ටෙලිනාට්‍යයේ මම රෙක්සිගෙ චරිතය තමයි රඟපාන්නේ. ඒ වගේම රෙහාන්ගෙ අවංක යාළුවෙක්. රෙක්සි වගේ හොඳ අවංක මිතුරන් අද සමාජයෙත් ඉන්නවා, මගේ ජීවිතයටත් එවැනි මිතුරන් ඉන්නවා. ‘පාර දිගේ’ ටෙලිනාට්‍යයට මට ආරාධනා කළ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ ජයප්‍රකාශ් සිවගුරුනාදන්ට, ඒ වගේම සද්ධාමංගල සූරියබණ්ඩාර මගේ ගුරුපියාණන්ට, ඒ වගේම නිෂ්පාදක චාමර සමරවික්‍රමටත් විශේෂයෙන් ස්තුතිය පුද කරනවා. මොකද මේ සියලු දෙනාගේ සාකච්ඡාවලින් තමයි රෙක්සි චරිතයට මාව සුදුසුයි කියලා තෝරාගෙන තියෙන්නේ. ඒ වගේම උද්දික ප්‍රේමරත්න අයියා සමග තමයි මට වැඩිපුරම රඟපෑමට තියෙන්නේ. ඔහුගෙන් ලැබෙන ගුරුහරුකම් මට ගොඩක් වටිනවා.



‘සිල්ලර සමනල්ලු’ ටෙලිනාට්‍යයේ ඔබ නිරූපණය කළ චරිතය මතුපිටින් දිවයන චරිතයක් ලෙස තමයි අපට දැකගන්න ලැබුණේ. ඊට වඩා වෙනසක් දැනෙනවද රෙක්සි තුළ?


ටෙලිනාට්‍යයකට සම්බන්ධ වෙනකොට අපට සම්පූර්ණ පිටපතක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මට චරිතයක දිග පළල විස්තරාත්මකව කියන්න බැහැ. නමුත් ‘පාර දිගේ’ ටෙලිනාට්‍යයේ රෙක්සි චරිතය ගැඹුරින් යන චරිතයක් නිසා ලොකු වෙනසක් දැනෙයි. හැබැයි මොන විදියට චරිතය ගලාගෙන යාවිද කියලා මට දැන්ම කියන්න අපහසුයි.


 රෙක්සි කරන්නේ තමන්ගේ මිතුරාව මුලාවේ දැමීමක්ද මේ?

රෙහාන්ට විවාහයක් සිදුකරන්නේ ඔහුට ඉහළ රැකියාවක් ලබාදීම සඳහායි. මොකද ඒ තනතුර ලබාගැනීම සඳහා විවාහ වී සිටිය යුතුයි. ඉදිරියෙදි මේ ප්‍රශ්නය මොන විදියට විසඳෙනවාද කියලා බලන්න මගේ ප්‍රේක්ෂක ජනතාවට ‘පාර දිගේ’ අපිත් සමග එන්න කියලා මම ආරාධනා කරනවා.


 ඔබ මියුසික් වීඩියෝ සඳහා දුන්නු දායකත්වය තරම් දායකත්වයක් ටෙලිනාට්‍ය රංගනයට තවම ලබාදී නැහැ නේද?

මම තවම මේ ක්ෂේත්‍රයට නවකයෙක් බව තමයි මම හිතාගෙන ඉන්නේ. මියුසික් වීඩියෝ හයසීයක විතර මම පෙම්වතා වෙලා තියෙනවා. නමුත් එතැනින් එහාට මට ලොකුවට යමක් කරන්න බැරි වුණා. මමත් කැමැතියි ටෙලිනාට්‍යවල, චිත්‍රපටවල විවිධ චරිත නිරූපණය කරන්න. ඒ සඳහා වාසනාවක් තිබිය යුතුයි. ඉතින් මෙහෙම හෙමින් මගේ අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්න තමයි බලාපොරොත්තුව.


 කලාවට මුල් තැන දෙන බොහෝ දෙනෙකුගේ පවුල් ජීවිතවල ප්‍රශ්න අතිවෙලා තිබෙන බව අපි දකිනවා. ඔබේ ජීවිතයේ මුල් තැන කාටද හිමිවන්නේ?

මගේ ජීවිතයේ වටිනාම වස්තුව තිබෙන්නේ මගේ පවුල තුළයි. මගේ දරුවන් තරම් වටිනා වස්තුවක් මට කොහෙවත් නැහැ. මගේ බිරිය උපාධිධාරී ගුරුවරියක්. ඇයටත් හොඳට තේරුම් ගැනීමේ හැකියාවක් තිබෙනවා. ඉතින් අපි දෙන්නාගෙම එකම අරමුණ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරන එක තමයි. මම කැමැති නැහැ වෙන ප්‍රශ්න නිසා මගේ ජීවිතය අවුල් වෙනවා දකින්න. මගේ දුවයි පුතයි මට නම් ඉරයි හඳයි වගේ.


 වසන්ත විතාරණගේ