උවදුරු කාලේ ගැයෙන මේ ගී මිනිස්සුන්ව සුවපත් කරාවි -සනුක වික්‍රමසිංහ

Monday, May 24, 2021 , 0 Comments





ප්‍රවීණ ගායන ශිල්පි සංගීත් වික්‍රමසිංහගේ පුත් සනුක වික්‍රමසිංහ නූතන පරපුරේ ජනප්‍රිය චරිතයක්. මේ දිනවල නැවත සනුක පිළිබඳ ක්ෂේත්‍රයේ වැඩිපුර කතා බහට ලක්වෙන්නේ ඔහු විසින් එළිදක්වන්න නියමිත ‘බැති ගී දයාව‘ ගීත එකතුව නිසා. සමාජ මාධ්‍ය තුළත් ඔහුගේ රසිකයන් වැඩිපුර කතා බහ කෙරෙන ‘බැති ගී දයාව ‘ගැන  සනුක මේ විදියට පුවත්පතක් සමඟින් විස්තර කියා තිබුනා.


 


කාලෙකට පස්සේ සමාජ මාධ්‍ය සනුක ගැන කතා වෙනවා. මොකක්ද කරන්න යන අලුත් වැඩේ?


මේ අලුත් වැඩේ එළඹෙන වෙසක් පුන් පොහෝ දිනය වෙනුවෙන් එළි දැක්වෙන වෙසක් ගීත ඇල්බමයක්. එකේ නම තමයි ‘බැති ගී දයාව‘.මේ ගීත එකතුවේ පද රචනය, තනු නිර්මාණය සහ සංගීතය කළේ මගේ සීයා දයා වික්‍රමසිංහ. නමුත් මගේ තාත්තා සංගීත් වික්‍රමසිංහගෙ නව සංගීත අධ්‍යක්ෂණයෙන් මගේ නව සංගීත සංයෝජනයෙන් තමයි මේ ගීත ඇල්බමය නිකුත් කෙරෙන්නේ.


 


කොහොමද මේ වගේ වැඩක් ගැන අදහසක් ආවේ ?


තාත්තා ඔහුගේ ළමා කාලයේ දී ගම්පහ, පහළගම ප්‍රදේශයේ කුඩා ළමුන් එකතුකර ගෙන සීයා සමාජ සත්කාරයක් විදිහට කරපු භක්ති ගීත වැඩසටහනක් ගැන ගෙදර නිදහසේ ඉන්න වෙලාවට නිතරම කතා කරනවා. ඒ 1976 අවුරුද්දෙ. හැබැයි ඒ ගීත කිසිම විදිහකින් පටිගත වෙලා තිබුණේ නෑ. මෙම ගීත ඔවුන්ගේ ළමා කාලය වර්ණවත් කරපු නිසාම අම්මාටයි තාත්තටයි ගී පද සහ තනු හොඳින් මතකයි. තාත්තලගේ ඒ කතා නිසාම මේ ගීත පටිගත කරන්න අදහසක් කාලයක් තිස්සේ මගේ හිතට කා වැදිලා තිබුණා. ඒ අතරතුරයි 1976 වර්ෂයේ ඒ භක්ති ගීත වැඩ සටහනට මුද්‍රණය කළ පොතක් හම්බ වුණේ. ඒකෙන් මේ වැඩේ කරන්නම ඕන කියලා හිතා ගත්තා.


 


පවතින වසංගත තත්ත්වයත් එක්ක කොහොමද වැඩේ සංවිධානය කරගත්තේ?


2019 පාස්කු ප්‍රහාරයේ ඉදන් මේ පවතින කොවිඩ් වසංගතය වෙනකල් අපිට ප්‍රසංග සංදර්ශන තිබුණේ නෑ. ඒ කාර්යබහුලත්වය අඩු වුණු නිසා මගේ නිර්මාණ කරන්න අවස්ථාවක් උදා වුණා. ඉතින් එළැඹෙන් වෙසක් මංගල්‍යයට ගීත එකතුව එළිදක්වන්න නම් මේක තමයි හොඳම වෙලාව කියලා හිතුණා. අපහසුතා මධ්‍යයේ වුණත් නිසි සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් එක්ක වැඩේ සංවිධානය කරගෙන රූගත කිරීම් කළා. මේ වන විටත් වීඩියෝ සංස්කරණයන් ස්ථාන තුනක ඉදන් ඔන්ලයින් තාක්ෂණය හරහා සිදු කෙරෙනවා. එය ලොකු අභියෝගයක්.


 


දයා වික්‍රමසිංහ නැතිනම් ඔබේ සියාගේ සංගීතය ඔබට දැනෙන්නේ කොහොමද?


සීයාගේ නිර්මාණවල තියෙන පද රචනය සහ සංගීතය අපිට අද කාලේ අහන්න දකින්න නැති තරම් වෙනස්. වෙන යුගයක තිබුණු දෙයක් වර්තමානයට ගේන එක අලුත් අත්දැකීමක්.


 


ඔබේ පියාගෙන් සහ පවුලේ අයගෙන් ලැබුණු සහයෝගය ගැන කතා කළොත්?


අම්මායි තාත්තයි නිදි මරාගෙන මාත් එක්ක මේ වැඩේදි මේ මොහොතෙත් උපරිම සහායක් දෙනවා. මගේ මල්ලි මේ වෙලාවේ අධ්‍යාපන කටයුතු සඳහා විදේශගත වෙලා ඉන්නේ. එක මට ලොකු අඩුවක්. මගේ හැම ප්‍රසංගයකටම මාව එක්කන් යන්නේ මල්ලි. මල්ලිව මතක් කරන්නම ඕන.


 


ඔබත් සමඟ බැති ගී දයාවට එක්වෙන පිරිස ගැන සඳහන් කළොත්?


මගේ තාත්තා සංගීත් වික්‍රමසිංහ සහ වින්ඩි ගුණතිලක ගායනයෙන් එකතු වෙනවා. පසුබිම් ගායනයෙන් වොයිස් ටීන් මගේ කණ්ඩායමේ හශේන්, හේසර, දුල්මින්, දසිත්, පැතුම්, සහංගි, සියුමිනි, ලිහිණි, නර්තනා, සහ ඉසුරින්දි එකතු වෙනවා. මගේ වාද්‍ය වෘන්දය ඔවුන්ගේ උපරිම සහායෝගය දුන්නා. මෙහි රූපරචනය සඳහා ප්‍රසාද් අලුත්වත්තගේ අධ්‍යක්ෂණයෙන් vihayas කණ්ඩායම සහ නිෂ්පාදන කළමනාකරණයෙන් U Rasta මා සමඟ එකතු වුණා.


 


1976 වගේ කාලයක බිහිවුණු නිර්මාණ වර්තමාන සමාජයට ගැළපෙන ලෙස ප්‍රතිනිර්මාණයේදී මොනවගේ උපක්‍රමද භාවිත වුණේ?


ඒ කාලේ තනු, නාද රටා රැකගෙන වර්තමානයට උචිත අයුරින් නිර්මාණය කිරීම සහ සීයාගේ නිර්මාණවල තිබුණු ආගමික රසයට හානි නොවී ප්‍රතිනිර්මාණය කිරීම ලොකු අභියෝගයක්. මගේ තාත්තාගේ සහාය නැත්නම් මට එය කරන්න බැරිවෙන්න තිබුණා. තාත්තා තමයි මෙහි සංගීතය ප්‍රති නිර්මාණය කළේ. සීයාගේ පද සහ තනුවලට තාත්තාගේ සංගීතයත්, ඒ සංකලනයට නව සංගීත සංයෝජනය මගෙන් එකතු වෙද්දි යුග තුනක සංගීතමය එකතුවක් අපිට නිර්මාණය කරන්න හැකි වුණා.


ඒ මහන්සියේ ප්‍රතිඵල මැයි 26 වැනිදා audioමාධ්‍යයෙන් digital platform සියයක් ඉක්මවා එළිදක්වන්න නියමිතයි. ඊට අමතරව වීඩියෝ ආකාරයට SANUKA official YouTube චැනල් එක හරාහාත් ප්‍රධාන රූපවාහිනී නාළිකාවකත් විකාශය වීමට නියමිතයි.