කලාව සහ ආද­රය වෙනු­වෙන් මට ගොඩක් ඉව­සන්න පුළුවන් - බියංක අමරසිංහ

Monday, May 24, 2021 , 0 Comments




සිය අනන්‍යතාව ප්‍රකට කරමින් මනාව සිය දක්ෂතා ඔස්සේ සියුම් රංගනයක යෙදෙන අලුත් පරපුරේ කැපී පෙනෙන රංගන ශිල්පියෙකි බියංක අමරසිංහ. මේ දිනවල "ස්නැප්" ටෙලි නාට්‍යයෙන් ඒ කඩවසම් නළුවා අපට මුණගැසෙයි.නිරූපණ ක්ෂේත්‍රයෙන් රූපවාහිනී දැන්වීම් මාධ්‍යයට එකතු වූ බියංක වේදිකාව, ටෙලි නාට්‍යය මෙන්ම සිය දක්ෂතා ඉස්මතු කරමින් සිනමා රංගනයට ද ප්‍රවේශ වීමට වරම් ලබා ගෙන අවසන්.


 

කලාවට එන්න මූලික හේතුවක් තිබුණද ?


රඟපාන්න අදහසක් පොඩි කාලේ නම් මට තිබුණේම නෑ. මගේ ගම ඇඹිලිපිටිය මොරකැටිය. මම කොළඹට එන්නේ ශිෂ්‍යත්වය සමත් වෙලා කොළඹ ආනන්ද විද්‍යාලයෙන් වැඩිදුර අධ්‍යාපනය හදාරන්න. හොඳට චිත්‍ර අඳින්න දක්ෂතාවක් තිබුණත් පාසලේ හදාරන්න තෝරගත්තේ නර්තනය. උඩ රට, පහත රට, සබරගමු සම්ප්‍රදායන් තුනම හොඳින් ඉගෙන ගත්තා. නර්තනය පැත්තෙන් වෙස් බඳින්නත් මට හැකි වුණා. ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර මට මුලින්ම විඳින්න ලැබෙන්නෙත් නර්තනයෙන්. නමුත් අනාගතයේ කවුරු වෙනවද කියලා උසස් පෙළ කාලෙවත් මට අදහසක් තිබුණේ නෑ.


ඒ අදහස ඔබට ඇති වෙන්නේ කොයි කාලේද ?


මුල්ම රැකියාව විදිහට කළේ විදේශ ගත වෙලා Airline Ticketing.කෙටි කලකින් ඒ රස්සාව එපා වෙලා ලංකාවට ඇවිත් මම බැංකු ක්ෂේත්‍රයේ රැකියාවක් කළා. අවුරුදු එකහමාරක් විතර වැඩ කරලා ඉවත් වෙනවා. ඔය අතරතුරයි නිරූපණයට අදහසක් ඇති වුණේ. ඒ ගැන ඉගෙන ගන්න ප්‍රවීණ නිරූපණ ශිල්පිනියක වන රොසෑන් ඩයස් ගේ ඇකඩමි එකට සම්බන්ධ වුණා.


ඒ ඇරඹුම සාර්ථක වුණා ද ?


මුල් කාලේ මට වෙළෙඳ දැන්වීම් කිහිපයක පොඩි චරිත රඟපාන්න අවස්ථාවක් ලැබුණා. ලොකු ගෙවීමක් කළෙත් නැහැ. මට රඟපාන්න පුළුවන්ද කියලා දැනගෙන හිටියෙත් නැහැ. නමුත් වෙළෙඳ දැන්වීම්වලට එකතු වෙද්දී රංගනයට කැමැත්තක් ඇති වෙනවා. රංගනය ගැන හදාරන්න ප්‍රවීණ නළු මහෙන්ද්‍ර පෙරේරා ගේ ඇකඩමි එකට සම්බන්ධ වුණා. ඒ අතරතුර කනිෂ්ක ෂේවියර් මගේ මිත්‍රයා කතා කරනවා Play House නාට්‍ය ඇකඩමි එකට. එහිදි කෞෂල්‍යා ප්‍රනාන්දු, චන්දන අලුත්ගේ, ප්‍රසන්න මහගමගේ, මයුර කාංචන වගේ බොහෝ දෙනෙක් හඳුනගන්න ලැබෙනවා.


මුල්ම රංගන මතකය අවදි කළොත් ?


ඒ වැඩමුළුවේ අවුරුද්දක් විතර අභ්‍යාස කරන්න මට ලැබෙනවා. ‘විකෘති‘යොවුන් නාට්‍යය ඇතුළු ළමා නාට්‍ය බොහොමයක රඟපාන්න අවස්ථාව ලැබෙනවා. මගේ නර්තන හැකියාව ඒ හැම නාට්‍යයටම වැදගත් වුණා. ඒ කාලෙදීම බුද්ධික දමයන්ත අධ්‍යක්ෂණය කළ ‘හැම්ලට්‘ වේදිකා නාට්‍යයේ රඟපාන්න වගේම රූපවාහිනී වෙළෙඳ දැන්වීම් කිහිපයකම ප්‍රධාන චරිතවලටත් ආරාධනා ලැබෙනවා. ඒ හැම අවස්ථාවක්ම ලබන්න අවුරුදු පහක් මට ඉවසන්න වුණා. පස්සේ වෙළඳ දැන්වීම් සෑහෙන ප්‍රමාණයක් ලැබුණා.


වේදිකාවේ පන්නරය ලබන ඔබ පුංචි තිරයට මග පාද ගන්නේ කොහොමද.?


චමිල් පතිරණ අධ්‍යක්ෂණය කළ ‘Once Upon A Time මාලිගාවත්ත‘ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයක් මට ලැබෙනවා. සුරාජ් මාපා ගේ අධ්‍යක්ෂණය කළ ටෙලිනාට්‍යකත් රඟපාන්න ලැබෙනවා. නමුත් මුලින්ම විකාශනය වෙන්නේ පසිඳු පෙරේරා අධ්‍යක්ෂණය කළ ‘ස්නැප්‘ටෙලිනාට්‍ය. එහි මම රංගනයේ යෙදෙන පරිගණක ශිල්පියකුගේ චරිතය මෙතෙක් ටෙලි නාට්‍යයකින් මම දැකලා නැති සංකීර්ණ චරිතයක්. මම ඒ චරිතය උපරිමයෙන්ම කරන්න උත්සාහ කළා. ඒචරිතයේ Climax එක ඉදිරියේදී බලන්න ලැබේවී. මහාචාර්ය ආරියරත්න ඇතුගලයන් ගේ අලුත්ම ටෙලි නාට්‍යයට සම්බන්ධව රූගත කිරීම්වලත් මේ දිනවල නිරත වෙමින් ඉන්නවා.


නිරූපණයෙන් වේදිකාවට, එයින් පුංචි තිරයට ආ ඔබට පසුගිය කාලේ රිදි තිරයට එකතු වෙන්නත් අවස්ථාව ලැබෙනවා?


ප්‍රසන්න විතානයන් ගේ "ගාඩී" චිත්‍රපටයේ පුංචි චරිතයක් රඟපාන්න මට මුල්ම අවස්ථාව ලැබෙනවා. එයින් අනතුරුව මහාචාර්ය ආරියරත්න ඇතුගලයන් අධ්‍යක්ෂණය කළ ‘සහෝ‘චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් මට හිමි වෙනවා. ඒ සඳහා මාව යොමු කරන්නේ ශ්‍යාම් ප්‍රනාන්දු අයියා.


දැන් රංගන ශිල්පියකු ලෙස ඉදිරියට යෑමේ දැඩි තීරණයක ද ඔබ ඉන්නේ?


මුල් රැකියා කිහිපයේ අත්දැකීම් එක්ක කලාවෙන් හැර වෙන දෙයකින් තෘප්තිමත් වෙන්න බැරි වග මට දැනුණා.


මේ ජීවිතය තෘප්තිමත්ව ගත කරන්න නම් මම කැමති දෙයක් මට තෝරගන්න වෙනවා. එතැනදි සතුට කියන දේ මට දැනෙන්නේ කලාව තුළින්. ඒ නිසාම ඒ වෙනුවෙන් මට ඉවසන්න පුළුවන්.


නමුත් ඒ තෝරා ගැනීම විටෙක අවදානම් වෙන්න පුළුවන් ?


එකිනෙකා මේ මාධ්‍ය හඳුනා ගන්න විදිහ වෙනස්. තමන් කළ යුතු දේ මුලින්ම හඳුනා ගන්න ඕන. රඟපෑමේදී ඉගෙන ගන්න මුල්ම කාරණය තමයි මම කවුද යන වග හඳුනා ගැනීම. රංගනය කියන්නේම හැඟීම් එක්ක ගනුදෙනුවක්.


ඒ හැඟීම් හඳුන ගන්නම වෙනවා මෙතැනදී. මේ ක්ෂේත්‍රෙය්දී මට හොඳ මිනිස්සු ටිකක් හඳුන ගන්න ලැබුණා. ඔවුන්ගේ දැනුම සහ අත්දැකීම් අපිට බෙදලා දුන්නා. මේ ආපු දුර එන්න ඔවුන් දුන් ඒ හයිය ඉවහල් වුණා.


කලාවට කෙනෙක් ඇතුළු වෙනවා නම් දැනුමෙන් සහ අත්දැකීම්වලින් සන්නද්ධ වෙන්න ඕන. දෙයක් අඳුන ගන්න නම් හොඳින් කියවන්න ඕනා. ජීවිතය තෝර ගන්න ඕන. ඒ සියල්ල එක්කයි මේ ගමන එන්න එකඟතාවක් ඇතිකර ගන්න පුළුවන් වෙන්නේ. ඒක හදිසි වෙලා කරන්න බෑ.


ඔබේ අධ්‍යාපන කටයුතු දැන් අතරමඟ නතර වෙලාද ?


රංගනය සම්බන්ධයෙන් London Trinity College හී ලංකාවේ ශාඛාවට සම්බන්ධ වෙලා විභාග කීපයකට මම පහුගිය දවස්වල මුහුණ දී සමත් වෙන්න මට හැකි වුණා. ඉංග්‍රීසි නාට්‍ය සම්බන්ධයෙන් අධ්‍යයන කටයුතු ඉදිරියටත් කරගෙන යනවා. මං කැමතියි ඉංග්‍රීසි කවි රසවිඳින්න.


කලාවේ යන මේ ගමනට පවුලෙන් ලැබෙන සහාය කොහොමද ?


මගේ පවුලේ ඉන්නේ අම්මයි තාත්තයි අක්කයි. අක්කා විවාහ වෙලා. මගේ ගමනට පවුලෙන් බාධාවක් තිබුණේ නැහැ. නමුත් මුලදි අවිනිශ්චිත බවක් ඔවුන් දකින්න ඇති. නමුත් මේ ගමන වෙනුවෙන් ගොඩක් උදවු කර තිබෙනවා.ගෙදරින් දන්නවා මම මේ වැඩේ අතනොහැර මගේ ගමනක් හදාගනිවි කියලා.


යොවුන් වියේ සිටින ඔබෙන් ආදරය ගැන නොඇසුවොත් අඩුවක් ?


ආදරය හරියට තේරුම් ගන්න පුළුවන් කෙනෙක් ලැබුණොත් ඉදිරි ගමනට එය හොඳ පිටිවහලක්. රංගන ශිල්පියෙක්ව තේරුම් ගන්න හොඳ අවබෝධයක් තියෙන්න ඕන. කලාවේ මගේ ගමන වගේම ආදරයේ අනාගතය දිහාත් මං ඉවසීමෙන් බලාගෙන ඉන්නවා.