මම වැඩ පස්සේ හඹා­යන කෙනෙක් නෙ‍‌වෙයි -දුෂේනි මියුරංගි

Monday, May 31, 2021 , 0 Comments

 



රංගන ක්ෂේත්‍රයේ කාලයක් පේන්න හිටපු, පහුගිය කාලේ නොපෙනුණු රංගන ශිල්පිනියක් තමයි දුෂේනි මියුරංගි. බොලිවුඩ් නළු සිද්ධාර්ත් මල්හෝත්‍රා හා මෙරට පැවැති සිනමා සම්මාන උලෙළකදී නර්තනයේ යෙදුණු දුෂේනිට එයින් පසු මොකද වුණේ කියලා ඇගේ රසික රසිකාවන් පහුගිය කාලේ හොයමින් හිටියා. ඔන්න දැන් ඇය අලුත් ටෙලි නිර්මාණයකින් මේ දවස්වල පේන්න ඉන්නවා. අවුරුදු කිහිපයක නිහැඬියාවකින් පසු අලුත් ආරම්භයක් තබපු දුෂේනි, ඇගේ නිහැඬියාව හා අලුත් තොරතුරු ගැන පුවත්පතක් සමඟින් මේ විදියට කියලා තිබුනා.


 

කාලෙකට පස්සේ එළියට ඇවිත් දුෂේනි ‘පාරදිගේ‘ මොකද කරන්නේ ?


පාරදිගේ කියන්නේ අවුරුදු දෙකහමාරකට විතර පස්සේ මම ප්‍රේක්ෂකයන් අතරට එන අලුත්ම ටෙලි නිර්මාණය. ලොකු විවේක කාලයක් ගත්තා. ලංකාවේ නිර්මාණවලින් එහෙම විවේකයක් ගත්තු කාලය නිම කරන්න හිතුවේ ‘පාරදිගේ‘ නිර්මාණයට සම්බන්ධ වෙලා. සද්දා මංගල සූරියබණ්ඩාර අයියා අධ්‍යක්ෂණය කරන සිවගුරුනාදන් අයියා අධ්‍යක්ෂණය කරන චාමර අයියා නිෂ්පාදනය කරන ‘පාරදිගේ‘ තමයි විවේකයෙන් පසු මගේ අලුත්ම ආරම්භය වුණේ.


 

නිහැඬියාව බිඳ ඔබව එළියට ගන්න ඕන වුණේ කාටද ?


ස්වර්ණවාහිනි නාළිකාවෙන් තමයි මට මේ නිර්මාණයට ආරාධනා කළේ. ඊට පස්සේ මම චාමර අයියා සහ සිවා අයියා මුණගැහුණා. සද්දා මංගල අයියත් එක්කත් කතා කළා. පිටපත කියවද්දී ම තේරුණා මට කරන්න තියෙන්නේ වෙනස් චරිතයක් බව. නිර්මාණයේ කොටස්කරුවෝ එක්ක කතා කරලා චරිතයට අවශ්‍ය දේවල් එකතු කරගෙනයි මේ නිර්මාණයට මම සම්බන්ධ වුණේ.


 

දුෂේනී කලින් නිරූපණය කළ චරිතවලට වඩා ‘බන්ටි‘ හාත්පසින්ම වෙනස් චරිතයක් වෙන්නේ කොහොමද?


මේ චරිතය මට අභියෝගයක්. මම සාමාන්‍ය ජීවිතයෙදි කොල්ලෙක් වගේ ඇඳුම් අඳිනවා. ‘බන්ටි‘ත් එහෙමයි. ඒක විතරමයි මගේයි බන්ටිගෙයි තිබුණු එකම සමානකම. බන්ටි කියන්නේ කොල්ලොත් එක්කම ඉන්න කොල්ලෙක් වගේ හැසිරෙන කෙල්ලකගේ චරිතයක්. පිටපත කියවා රූගත කිරීම් ඇරඹුණේ සතියකින් විතර. රූගත කිරීම් පටන්ගන්න කල් මම කළේ පිරිමි ළමයි කතා කරන විදිහ, ඇවිදින විදිහ, හැසිරෙන විදිහ අධ්‍යයනය කිරීම.


 

මේ නිර්මාණයේදි කොල්ලෝ ගොඩක් එක්ක රඟපාන එකම කෙල්ල වීමත් වෙනස් අත්දැකීමක් වෙන්න ඇති?


මුලින්ම මට ලැබුණ චරිතය ගැනයි හිතුවේ. ඊට පස්සේ තමයි දැනුණේ මට වැඩ කරන්න ලැබෙන්නේ කොල්ලෝ කිහිප දෙනෙක් එක්ක කියලා. නිර්මාණයේ එකට වැඩ කරන හැමෝම පුදුම සහයෝගයකින් වැඩ කරනවා. උද්දික අයියා, ගයාන් අයියා, කුසල් අයියා රොෂාන් අයියා ඇතුළු හැමෝම එක්ක සතුටින් සහයෝගයෙන් වැඩ කරනවා.


 

පුංචි තිරයේ පේන්න නොහිටියට දුෂේනිට ප්‍රේක්ෂක ආදරය අඩුවෙලා නෑ නේද?


ප්‍රේක්ෂකයන්ට මාව අමතක වෙලා නැහැ. කාලයකට පස්සේ ඔවුන්ට මාව දකින්න ලැබීම පුදුමයක් වුණා. මට ආදරය කරන ප්‍රේක්ෂකයෝ සමාජ මාධ්‍යවලින් මගෙන් ඇහුවා ඇයි මම නිර්මාණවල පේන්න නැත්තේ කියලා. නාට්‍යයයේ ට්‍රේලර් එක දකිද්දිම ලැබුණු ප්‍රේක්ෂක ප්‍රතිචාර අසීමිතයි. නාට්‍ය විකාශය වෙලා දවස් කිහිපයක් වුණත් ප්‍රේක්ෂකයන් ‘පාර දිගේ‘ නිර්මාණය වගේම මගේ චරිතයත් ආදරයෙන් වැලඳගෙන තිබෙනවා. මාව හොය හොය හිටපු ප්‍රේක්ෂකයන්ට මම හොඳ උත්තරයක් දුන්නා වගේම වාසනාවන්ත ආරම්භයක් තිබ්බා.



ඔබ පහුගිය කාලේ ඉන්දියාවට වෙලා මොනවද කළේ?


මට ලැබුණු යම් ආරාධනාවක් නිසයි ඉන්දියාවට ගියේ. එය මට සුවිශේෂි අවස්ථාවක්. ඉතින් එහෙට වෙලා මොනවද කළේ කියන ප්‍රශ්නයට හොඳ උත්තරයක් මම ඉදිරියෙදි දෙන්නම්. නිකන්ම කියනවට වඩා වැඩකින්ම පෙන්නන එක හොඳයිනේ.


 

කොච්චර කාලයක් ලංකාවේ ඉන්නද දැන් කල්පනාව?


ඉන්දියාවේ ඉදන් ලංකාවට ඇවිත් මාස හතරක් පහක් වුණා. පහුගිය කාලේ නැවත ඉන්දියාවට යන්න හිටියේ. නමුත් දැන් ඉන්දියාවේ පවතින තත්ත්වය එක්ක අවුරුද්දක් විතර ලංකාවේ ඉන්න තීරණය කළා. ඊට පස්සේ නැවතත් සුපුරුදු වැඩ වෙනුවෙන් ඉන්දියාවට යනවා.


 

දුෂේනිට වෙනත් නිර්මාණවලට ආරාධනා ලැබුණද?


නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබුණා. ‘පාරදිගේ‘ නිර්මාණයට කලින් ලැබුණු ආරාධනා මම බාරගත්තේ නැහැ. ඉන්දියාවට යන්න ටිකට් වෙන් කරලා තිබුණ නිසා. දැන් හොඳ නිර්මාණ ලැබුණොත් සම්බන්ධ වෙනවා.


 

දුෂේනිත් ප්‍රධාන චරිතම හොයන නිළියක්ද?


මේතාක් හිටපු නිර්මාණ කිහිපයේම මම නිරූපණය කළේ ප්‍රධාන චරිත. ආරාධනා ලැබෙන්නෙත් ප්‍රධාන චරිතවලට. නමුත් මම කිසිම දෙයක් හොයා ගෙන යන්නේ නැහැ. කරන දේ තුළ වෙනසක් කරමින් විවිධ චරිත නිරූපණය කරන්නයි මගේ කැමැත්ත.


 

දැන් දුෂේනිගේ මුදල්මය වටිනාකමත් වැඩියි කියලා ආරංචියි?


මම සාමාන්‍යයෙන් වැඩ පස්සේ හඹායන කෙනෙක් නෙමෙයි. හැම නිර්මාණයකම පේන්න ඕනේ නම් මම මීට වඩා නිර්මාණ කරලා. මම නිතර පේන්න කැමැති කෙනකුත් නෙමෙයි. ජනප්‍රියත්වය ප්‍රසිද්ධිය පස්සේ දුවන්න වුවමනාවක් නැහැ මට. මගේ වටිනාකම ටිකක් වැඩියි තමයි. මාව යම් නිර්මාණයකට අවශ්‍ය නම් ඒ වටිනාකම ගෙවලා නිර්මාණකරුවෝ මාව ඔවුන්ගේ නිර්මාණවලට සම්බන්ධ කරගනියි.


 

ඔබ දැන් ජීවිතේ බොහෝ හීන හැබෑ කරගෙනද තියෙන්නෙ?


මට ජීවිතේ දිගු කාලීන සහ කෙටි කාලීන සැලසුම් තිබෙනවා. අවුරුදු පහක් ඇතුළත ඉටු කරගන්න බලාපොරොත්තු වුණු බොහෝ දේවල් මම ඉටු කරගෙන තියෙන්නේ. දීර්ඝ කාලීන අරමුණුවලට හෙමින් හෙමින් ළං වෙනවා.


 


දුෂේනිට තාමත් ලංකාවේ ඉන්නේ පරණ මිතුරියන්මද?


දැන් අවුරුදු දෙකක විතර ඉදන් මගේ හොඳම යෙහෙළිය තමයි ෂෙහානි. මං කොහෙද ඉන්නේ, මොනවද කරන්නේ කියලා දන්න ළඟම කෙනෙක් තමයි ඇය. මට ගොඩක් යහළුවෝ නැහැ. නමුත් මම හැමෝම එක්ක හොඳින් වැඩ කරනවා.


 

දුෂේනි ආයෙත් පෙම්වතියක් ද කියලත් කියමු?


දැන් මගේ පෙම්වතිය මමමයි. මට සහ මගේ වෘත්තියට ආදරෙන් මම වැඩ කරනවා. කෙනකුට සාර්ථක වෙන්න එය හරිම වැදගත්. තවත් කෙනෙක් මත යැපෙන්නේ නැතිව ස්වාධීනව වැඩ කළොත් අපිට සාර්ථක ගමනක් යන්න පුළුවන්. මේ වෙලාවේ මම පෙම්වතියක් නොවී මටම ආදරය කරමින් මාව ඉදිරියට අරගෙන යනවා.