ශේෂාද්‍රි කියන්නේ අනවශ්‍ය ඕපාදූප වලින් ජනප්‍රිය වුණු චරිතයක් නෙවෙයි - මේනක රාජපක්ෂ

Wednesday, April 21, 2021 , 0 Comments

 



මුතු කිරිල්ලි නාට්‍යයේ අනුපම ලෙසින් සහෘද සිත්සතන් සොරාගත් මේනක රාජපක්ෂ ඔහුගේ සුහුඹුල් ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණයත් සමඟ බෙහෙවින් කාර්යබහුල බවයි ආරංචිය. ඒ නිසාම ඔහුගේ අලුත් තොරතුරු ගැන මෙලෙස පුවත්පතකට පවසා තිබුනා.


කොහොමද මේ දවස්වල ජීවිත්තේ?

ජීවිතේ ගොඩක් හොඳයි. පවුලට අලුත් සාමාජිකයෙක් එකතු වුණා. ඒ අපූරු එකමුතුවත් එක්ක පවුලේ සතුට දෙගුණ තෙගුණ වුණා.


කලා කටයුතු කොහොමද?

මගේ පළමු අධ්‍යක්ෂණය ‘ආලියා’ කියන ටෙලි නිර්මාණය වර්ණවාහිනියේ රාත්‍රී 08.30ට විකාශය වෙනවා. අන්න පියාපත්, අහස් මාලිගා නාට්‍යවලට මේ දවස්වල රංගනයෙන් දායක වෙනවා.


‘ආලියා' ගැන පොඩි විස්තරයක් කළොත්?



‘ආලියා" කතාව රචනය වෙන්නේ අරුණ ප්‍රේමරත්න මහතා විසින්. සංස්කරණය සමීර පියරත්න සිදුකරන්නේ. නිෂ්පාදනය කරන්නේ ජනක සම්පත් තඹරවිල. ආලියා කියන්නේ පවුල් පසුබිමක් පාදක කරගෙන නිර්මාණය වෙන්නක්. ජීවිතයේ ඉලක්ක, අරමුණුවලට බාධක කම්කටොලු දරාගෙන ගමන් කරන චරිතයක් විදිහටයි අලියා ගොඩනගන්නේ.


ශේෂාද්‍රි ප්‍රියසාද් 'ආලියා' චරිතයට තෝරා ගන්න විශේෂ හේතුවක් තියෙනවාද?

ආලියා චරිතය සිදුකරන්නේ ශේෂාද්‍රි ප්‍රියසාද්. එය ඇයගේ පළමු ටෙලි නිර්මාණ. ඊට අමතරව අනවශ්‍ය ඕපදූපවලින් ජනප්‍රියත්වයක් නොලැබූ චරිත තෝරාගන්න මං සැමවිටම පරිස්සම් වුණා. ශේෂාද්‍රි ප්‍රියසාද් එවන් රංගන ශිල්පිනියක්. ඇයගේ පළමු ටෙලි නිර්මාණය වුණත් ඇය රංගනය තුළ ප්‍රවීණයි. ඒ නිසා ආලියා චරිතයට සියයට සීයක් සාධාරණය ඉටු කරයි කියා මං විශ්වාස කරනවා. ප්‍රධාන භූමිකා රඟදක්වනවා පුබුදු චතුරංග, බිමල් ජයකොඩි, උපේක්ෂා ස්වර්ණමාලි, ජගත් චමිල, මොරින් චාරුනි, කුමාර තිරිමාදුර ආදී ජනප්‍රිය, ජේයෂ්ඨ සහ නවක කියන කේක්ෂේත්‍රයන් ත්‍රිත්වයම නියෝජනය කරන රංග ශිල්පීන් හා ශිල්පිනියන්.


රංගන ශිල්පියකු වූ පමණින් අධ්‍යක්ෂණය කළ හැකියි කියා ඔබ විවාද කරනවද?



කොහෙත්ම නැහැ. තාමත් මං රංගනය ඉගෙන ගන්නවා. මං දකින කෝණය රූප රාමුවට ගෙන ඒමට කරන අත්හදා බැලීමක් විදිහටයි මං අධ්‍යක්ෂණයට යොමුවනේ. නිෂ්පාදකවරයාගේ සහායත් ඒ සඳහා උපරිමයෙන්ම ලැබෙනවා. එය ලංකාවේ බිහි වූ උසස්ම නිර්මාණය විදිහට මං හඳුන්වන්නේ නැහැ. නමුත් පවුලකට එකට වාඩිවෙලා නරඹන්න පුළුවන් හොඳ නිර්මාණයක් විදිහට එය හඳුන්වන්න පුළුවන්. ආර්ථික ප්‍රශ්න, සාමාජීය ප්‍රශ්න එක්ක මිනිස්සු හෙම්බත් වෙනකොට මිනිසුන්ගේ මනසට සැහැල්ලුවක් ගෙන එන්නේ, සුවබර නින්දකට මඟපාදන්නේ මෙම ටෙලිනාට්‍ය. එකී කාර්ය ආලියා” තුළින් මැනවින් සිදුකෙරෙනවා කියා මා විශ්වාස කරනවා.


ඒ අලුත් පිම්ම තුළ ඔබ මුහුණදුන් අභියෝග මොනවාද?

අධ්‍යක්ෂණය අසීරු කාර්යයක් කියා අසා තිබුණත් එය මං අත්විඳින්නේ ආලියා හරහා.  රංගන ශිල්පියෙක් විදිහට යම් චරිතයකට සාධාරණයක් ඉටුකර සෙට් එකෙන් පිටව යනවට වඩා පීර ප්‍රඩක්ෂන්, ප්‍රඩක්ෂන්, පෝට් ප්‍රඩක්ෂන් යන සියල්ලෙහිම ලොකු වගකීමක් අධ්‍යක්ෂවරයාට හිමිවෙනවා. මේ දවස්වල කොවිච් ගැටලුව එකී සංකීර්ණ බව තවත් වැඩි කරනවා. නමුත් රංගන ශිල්පීන්ට, එහි කාර්යමණ්ඩලයට හා ප්‍රේක්ෂකයාට උපරිම සාධාරණයක් ඉටුකරන්න මං උත්සාහ කරනවා.



‘ආලියා' මෙගා නාට්‍යයක්ද?

ඔව්... එය දීර්ඝ ටෙලිනාට්‍යයක්. එය ගොඩක් වාණිජ්‍ය ගණයට බරයි. ප්‍රේක්ෂකයාගේ රසවින්දනය පමණක් පාදක කරගෙනයි එය නිර්මාණය කරන්නේ.


ඇතැම් මෙගා නාට්‍යය දීර්ඝ කාලයක් විකාශය වන විට හරසුන් වෙනවා. ප්‍රධාන චරිත ඉවත්වෙනවා. එවන් දුර්වලතා මඟහරවාගන්න ඔබ ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද?

මේ වෙනකොට ආලියා ටෙලිනාට්‍යයේ කොටස් 04ක් විකාශනය වෙලා තියෙනවා. තවත් කොටස් 40ක් පමණ මගේ අතේ තියෙනවා. කතාවේ මුල, මැද, අග පිළිබඳ සම්පූර්ණ අවබෝධය අප සතුයි. ඒ වගේන්ම මෙම ටෙලිනාට්‍යට අලුත් චරිත එකතු වුණත් ප්‍රධාන භූමිකා කරන චරිතවලට හානියක් නොවන විට ඔවුන්ව ඉවත් නොවන විදිහට කටයුතු කරන්න අප සැම විටම වගබලා ගන්නවා. පටන් ගැන්මේදී නාට්‍යයේ පවතින ගුණාත්මක බව එහි මැද හා අගදීත් එලෙසින්ම පවතීවි කියලා මා විශ්වාස කරනවා.


මේ දවස්වල වැඩිපුරම ජිම් එකේ නේද කාලය ගෙවන්නේ?

මං පසුගිය දවස්වල ගොඩක් තරබාරු වුණා. කිලෝ ග්‍රෑම් 21කින් මගේ බර වැඩි වුණා. මේ

වෙනකොට කිලෝග්‍රෑම් 08ක් අඩු කරගෙන ඉන්නවා. තවත් 13ක් අඩු කර ගත යුතුව තිබෙනවා.


ඒක ෆැමිලි ගෝල් එකක් වගේ වෙන්ද?

ඔව් ඇත්තටම.. නෙහාරා තමයි මාව ඒ සඳහා උනන්දු කරන්නේ. මොකද මං ටිකක් කම්මැළියි. නිවාඩු වෙලාවේදී මායි නෙහාරයි දෙන්නම ජිම් එකේ කාලය ගත කරනවා. නෙහාරා ඒ සඳහා ගොඩක් උනන්දුයි. අප්‍රේල් අවසන් වන විට නෙහාරා නැවත කලා කටයුතු සඳහා යොමුවෙන්නයි සූදානම් වෙන්නේ.


ඉදිරියේදී මේක රාජපක්ෂ අධ්‍යක්ෂණය කරන නාට්‍යයේ නෙහාරා පීරිස් රඟපායිද?

මං අධ්‍යක්ෂණය කළ පමණින් මංවත් මගේ බිරියවත් රඟපාන්න අවශ්‍යයි කියලා මං විශ්වාස කරන්නේ නැහැ. අධ්‍යක්ෂණය තුළ ඇය එක රංගන ශිල්පිනියක් පමණයි. ‘ආලියා' ටෙලිනාට්‍යය මං අධ්‍යක්ෂණය කළාම එහි චරිතයකට මං පණපොවන්නේ නැහැ. මොකද අධ්‍යක්ෂණය කාර්යයත් මං සිදුකරන්නේ අසීරුවෙන්. සැලසුම් සහගතව එකී කාර්යය කළත් මං ගොඩක් වෙහෙසකාරී වෙනවා මානසිකව. ඒ නිසා මං අධ්‍යක්ෂණය කළ නාට්‍යයක නෙහාරාට චරිතයක් තියෙන්නත් පුළුවන් නොතියෙන්නත් පුළුවන්.



පවුලට එකතු වුණු තුන්වැනියත් එක්ක කොහොමද කාලය ගත වෙන්නේ?

ඇය නමින් මේලි නිකොලා රාජපක්ෂ. මාස 04යි සතියයි ඇයට. ඇය අපේ පවුලේ බැඳීම ශක්තිමත් කළා. ඒ වගේම ආදරය වැඩි කළා.


තාත්තා කෙනෙක් විදිහට කොහොමද ඒ වගකීම හිතට දැනෙන්නේ?

මං හැම තිස්සෙම ඇයට හොද තාත්තා කෙනෙක් වෙන්න උත්සාහ කරනවා. ඇය තීරණය කරන්න අවශ්‍යයි මං හොඳ තාත්තතෙක්ද මං ඇගේ වීරයාද නැද්ද යන වග. මවක් කරන ජවනිකාව පියකුට වඩා විශාලයි. නමුත් මගෙන් ලැබිය යුතු රැකවරණය, සෙනෙහස, ආදරය මං ඇයට උපරිමයෙන් ලබාදෙනවා.


ආයෙත් රට යන්න බලාපොරොත්තුවක් තියෙනවද?

ආයෙත් රට යන්න බලාපොරොත්තුවක් නැහැ.