එදා වගේම අදටත්, මතුවටත් ‘ඕලු’ ආදරයෙන් ප්‍රේක්‍ෂකයන් වැලඳගන්නවා - මංජුලා කුමාරි

Wednesday, April 21, 2021 , 0 Comments




 ‘ඕලු’ කියූ සැණින් ඔබේ මතකයට නැඟෙන්නේ ඇයයි. ඒ තරමට වයස් භේදයකින් තොරව එදා ඔබ දැකපු ‘ඕලු’ චරිතයට ආදරය කළ නිසා. ඉතින් නැවැතත් ඔබ ආදරය කළ ඒ ‘ඕලු’ ඔබට සමීපවෙලා. ‘ඕලු’ තුළින් ජනප්‍රිය රංගන ශිල්පිනියක් ලෙසට කිරුළ දැරූ මංජුලා කුමාරි ඇගේ අලුත් තොරතුරු ගැන මෙලෙස පුවත්පතකට පවසා තිබුනා.


 ඔබටත් ඔබේ පවුලේ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා කියා අපි මුලින්ම ප්‍රාර්ථනා කරනවා.

ගොඩාක් ස්තුතියි . මමත් ඔබටත්,  මගේ ආදරණීය සියලුම ප්‍රේක්‍ෂක ජනතාවට නිදුක් නීරෝගී, වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.


 මේ අවුරුදු උදාවෙත් ගෙදර නැහැ නේද… අවුරුදු චාරිත්‍ර සිදු කරන්න?

මෙවරත් ස්වර්ණවාහිනියේ අවුරුදු උත්සවයත් එක්ක සම්බන්ධ වෙලා තමයි අවුරුදු චාරිත්‍ර ඉටුකළේ. හැබැයි මම නැවැත ගෙදර ඇවිත් සුබ නැකැත් හදාගෙන ඒ සියලුම චාරිත්‍ර ටික මම ගෙදරත් කළා. මොකද මගේ දරුවන්ටත් ඒ සිරිත් විරිත් කියලා දීමට.


නැවැතත් ‘ඕලු’ ටෙලිනාට්‍ය විකාශ වෙනවා නේද? ඒ ගැන කිව්වොත්?

මම හිතුවේ නැහැ ‘ඕලු’ ටෙලිනාට්‍ය නැවැත විකාශය වෙයි කියලා. ගොඩාක් සතුටුයි මට නැවැත විකාශය වෙන එක ගැන. මොකද ‘ඕලු’ ටෙලිනාට්‍යයට අලුත් ප්‍රේක්‍ෂක පිරිසක් එකතු වෙලා. ඒ වගේම ‘ඕලු’ ටෙලිනාට්‍යය නරඹපු අයත් නැවත ආශාවෙන් එය නරඹනවා.


 එදා සහ අද ‘ඕලු’ ගැන දැනෙන වෙනස ගැන කතා කළොත්?

‘ඕලු’ ටෙලිනාට්‍ය 2008 වර්ෂවල තමයි නිර්මාණය වුණේ. එදා වගේම අදටත්, මතුවටත් ‘ඕලු’ ආදරයෙන් ප්‍රේක්‍ෂකයන් වැලඳගන්නවා. මොකද වර්තමානයේ එවැනි හොඳ නිර්මාණ බිහිවෙනවා අඩුයි. හැබැයි ඔය අතර හොඳ නිර්මාණ කිහිපයක් විකාශය වෙනවා.


 ජනප්‍රිය නිළිය වෙනුවෙන් එකපිට සම්මාන හිමිකර ගත්තා. වර්තමානයේ එය ගිලිහී ගියා නේද?

2006 සහ 2007 වර්ෂවල ජනප්‍රිය නිළියට සම්මාන මට ලැබුණා ‘ඕලු’ ටෙලිනාට්‍ය හරහා. හැබැයි අදටත් ‘ඕලු’ ජනප්‍රියයි. එය මට සතුටක්. මට ජනතාවගෙන් ලැබෙන ආදරය අඩුවක් නැහැ.


‘ඕලු’ නිසාම ඔබ නිර්මාණ තෝරා ගැනීමේදී විශේෂ සැලකිල්ලක් දැක්කුවාද?

අනිවාර්යයෙන් ‘ඕලු’ චරිතයට තිබුණු ආදරය නිසාම මම නිර්මාණ තෝරා ගැනීමේදී විශේෂ සැලකිල්ලක් දැක්කුවා. මොකද මම කැමැති වුණේ නැහැ ඒ චරිතයට හානියක් වෙන විදියට වැඩ කරන්න. අදටත් මට ගොඩ දෙනෙක් කතාබහ කරන්නේ ‘ඕලු’ කියලා. මගේ පෙර වාසනාවකට ‘ඕලු’ චරිතය මට ලැබුණේ.


 ගොඩදෙනෙක්ගේ එකම සිහිනය සිනමාව. ඒත් මංජුලාගේ අපි වෙනසක් දකිනවා?

එය මම පිළිගන්නවා. ‘ඕලු’ චරිතය ජනප්‍රිය වීමත් එක්ක මට චිත්‍රපට ගණනාවකින් ආරාධනා ලැබුණා. මම ඒ සියල්ලම ප්‍රතික්‍ෂේප කළේ ‘ඕලු’ චරිතයට තිබෙන ආදරය, ගෞරවය නිසාමයි. ඉදිරියේදී රං කොල්ලා, තට්ටු දෙකේ ඉස්කෝලේ චිත්‍රපට දෙක තිරගත වෙයි. ඒ නිර්මාණ දෙකේ මට සුවිශේෂ බවක් දැනුණු නිසා සම්බන්ධ වුණා.


වසන්ත විතාරණගේ