එදා ඒ මීමැස්සා තමා මාලන් වුණේ - කෝකිල පවන්

Friday, April 30, 2021 , 0 Comments



මේ දවස් වල කෝකිල පවන් කියන්නේ කා අතරත් ගොඩක් ජනප්‍රිය චරිතයක්...ඒ නාඩගම්කරයෝහි මනමාලන් කියන චරිතය නිසයි. ඉතිං ඔහු ඔහුගේ අලුත් තොරතුරු ගැන මෙලෙස පුවත්පතක් සමඟින් පවසා තිබුනා..


අපි ඔයාට කෝකිල කියන්නද.. භක්ති කියන්නද... මනමාලන් කියන්නද?

ඒක තීරණය කරන්න ඕනෙ මාව ආමන්ත්‍රණය කරන කෙනයි. හැබැයි මම කෝකිල කියනවාට තමයි වඩාත් කැමති. කෝකිල කියන්නෙ චරිතයක් නෙමේ. කෝකිල කියන්නෙ මමයි. මාලන්ටත්, භක්තිටත් එක සේ ආදරය කරන මගේ රසික රසිකාවියන් මට කෝකිල කියලා කතා කරනවාට තමයි මම වැඩිපුරම ආසා කරන්නෙ. හැබැයි මගේ ජීවිතේ පළවෙනි වතාවට මම සම්මාන උළෙලකදි ජනප්‍රිය නළුවා සම්මානයට නිර්දේශ වුණා. ඒකෙ අන්තිම පස්දෙනා අතරටත් මම එකතු වුණා. අවසානයෙදි මගේ සහෝදර සජිත අනුත්තර අයියා තමයි ඒ සම්මානය දිනාගත්තෙ. ඒ වෙනුවෙන් අයියාට මම මගේ උණුසුම් සුබ පැතුම් එකතු කරන්නම ඕනෙ. ඒ අවස්ථාවේදි මට කෝකිල කියලා තමයි මැසේජ් කරන්න තිබුණෙ. හැබැයි සමහරැ මාලන් කියලා මැසේජ් කරලා තිබුණා. සමහරැ කෝකිලව දන්නෙ නැති වුණාට මාලන්ව, භක්තිව, සිරිමල්ව දැනගෙන හිටියා. ඒකෙ මම කිසිම නරකක් දකින්නෙ නැහැ. ඒ ආදරණීය ආමන්ත්‍රණ සියල්ලම හරිම සතුටින් මම බාරගන්නවා.


නළුවෙක් වීම පුංචි කාලේ දැකපු හීනයක්ද?

මගේ නම කෝකිලනෙ. මගේ ජීවිතේ සෙවණැලි දෙක වුණේ මගේ ආච්චියි සීයයි. මගේ නමේම පොඩි ගායන කෞෂල්‍යයක් තියෙනවනෙ. ඒ නිසා මගේ ආච්චිටයි සීයටයි මාව ගායකයෙක් කරන්න ලොකු ආසාවක් තිබුණා. පද්‍ය ගායනා තරගවලට මාව ඉදිරිපත් කළා. හපන් පැදුරට මාව යොමු කළා. බාත්කණ්ඩ විශාරද විභාගය පවා හැදෑරුවා. නළුවෙක් වෙන්න අදහසක් තිබුණෙ නැහැ. නමුත් නොසිතුව විදිහට 2005 රාජ්‍ය නාට්‍ය උළෙලෙදි බන්දුල කුරුවිටආරච්චි මහත්මයා අධ්‍යක්ෂණය කළ පුංචි පුංචි පැටියෝ^ වේදිකා නාට්‍යයේ මී මැස්සෙකුගේ චරිතයක් කරන්න මට අවස්ථාව ලැබුණා. එදා ඒ මී මැස්සා තමයි අද මේ මාලන් වෙලා ඉන්නෙ. එදා ඒ සිරි රජ සිරි චිත්‍රපටයේ හිටපු සිරිමල් තමයි අද භක්ති වෙලා ඉන්නෙ. දැන් මට ගායකයෙක් වගේම රංගන ශිල්පියෙක් වෙන්නයි ඕනෙ. 


ආච්චියි සීයයි එක්ක ගත කරපු ඒ ළමා කාලය ආයෙ මතක් කළොත්?

ඒක පුදුමාකාර ළමා කාලයක්. ඒ ළමා කාලය මට අද සුන්දර වෙන්නෙ ඒ කාලෙ මමයි ආච්චියි සීයයි අතරේ තිබුණු ආදරය වගේම අපි තුන්දෙනා විඳපු දුක් නිසායි. ඒ දුක වින්ඳ නිසා තමයි අද මම යම්තාක් දුරකට සැපක් විඳින්නෙ. දුක මට හොඳටම හුරුයි. බාධක මට හොඳටම හුරුයි. අභියෝග මට හොඳටම හුරුයි. ඒ හැමදේකටම අද කොන්ද කෙළින් තියාගෙන කෝකිල ජයසූරිය මුහුණ දෙනවානම් මගේ ආච්චියි සීයයි නිසයි. පුංචි කාලෙදි ආච්චිගේ උරයේ එල්ලිලා සීයාගේ සුළැඟිල්ලේ එල්ලිලා සමහර වෙලාවට සීයාගේ කරට නැඟලා සීයාගේ නහය Steering wheel (සුක්කානම) එකක් කරගෙන වාහන පැදපු ඒ කෝකිල තමයි අද මේ විදිහට කොන්ද කෙලින් තියාගෙන ඉන්නෙ. අපේ සීයා කළමනාකරණ අංශයේ සේවය කළේ. ආච්චි ඉතාම හොඳ ආදරණීය ගෘහණියක්.




කෝකිල ඉගෙන ගත්තෙ?

මම පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයෙන් ඉගෙන ගත්තා. මගේ දහම් පාසල වුණේ මාව්පේ ශ්‍රී සෝභිත දහම් පාසලයි. මම පාසල් යන්නත් කලින් ඉඳන් දහම් පාසලට ගියා. දහම් පාසලේ එක වසරේ මම අවුරුදු දෙකක් ඉගෙන ගත්තා. අද මම යම් මට්ටමක හෝ තැනක ඉන්න නිසා බොහෝ දෙනා මාව හඳුනනවා. ඒ තැනට එන්න පන්නරය, රුකුල වුණේ මගේ ගෙදර ආච්චියි සීයයි මගේ පාසලයි මගේ දහම් පාසලයි. ඒ හැර ඒ කාලේ  මම ළඟින් කවුරුත් හිටියෙ නැහැ.


කුඩා දරුවකු විඳින දෙමව්පිය ආදරය කෝකිලට ආච්චියි සීයාගෙනුයි උපරිමයෙන් ලැබුණා?

ඔව්.. ඒ ලැබුණු ආදරය ගැන මට කියන්න වචන නැහැ. පුංචි කාලේ මගේ එකම ආදරය වුණේ ඒ දෙන්නයි. කුඩා කාලය පහුකරනවාත් එක්කම මටත් මිතුරැ ආශ්‍රයක් ලැබුණා. ඒ ඇසුරත් එක්ක තමයි අපි යන මාවත තීරණය වෙන්නෙ. මට ඇත්තටම හොඳ යාළුවෝ පිරිසක් හිටියා. අද වෙනකොට මම ඒ මගේ යාළුවන්ට යාළුවෝ කියලා ආමන්ත්‍රණය කරන්න කැමති නැති තරම්. ඒ තරමටම ඔවුන් මට මගේම සහෝදරයෝ වුණා. මට කොයි වෙලාවෙවත් ඔවුන් වැටෙන්න දෙන්නෙ නැහැ. මම කොයි වෙලාවෙත් ඔවුන්ට වැටෙන්න දෙන්නෙත් නැහැ. මගෙන් ඒ සහෝදරයන්ට හානියක් වෙන්නෙත් නැහැ. ඔවුන්ගෙන් මට හානියකුත් නැහැ. ඔවුන් ඉගෙන ගත්තු හොඳ රැකියාවල් කරන හොඳ මිනිස්සු. ඒ වගේම හොඳට කියවන මිනිස්සු.


හොඳ යාළුවන් වගේම කෝකිලට ළමා කාලයේ සිටම මෙරට ප්‍රවීණ කලාකරැවන්ගෙන් කලාකාරියන්ගෙන් ආශිර්වාදය ලැබුණා. ඒ ගැන මොකද හිතෙන්නෙ?

ඇත්තමයි. පුංචි කාලේ ඉඳන් මට ඒ ආශිර්වාදය ලැබුණා. පුංචි කාලේ ඉඳන් මට ප්‍රවීණ ඇසුරක් ලැබුණා. ජයලත් මනෝරත්න, ජැක්සන් ඇන්තනී, මාලනී ෆොන්සේකා, සෝමරත්න දිසානායක, රේණුකා බාලසූරිය, දමයන්ති ෆොන්සේකා, දුලීකා මාරපන, දමිතා අබේරත්න වැනි බොහෝ මහත්ම මහත්මීන්ගේ ආදර්ශයන්, ආශිර්වාදයන් එක්කයි මම අද මේ තැනට එන්නේ. පහුවෙද්දී ධනුෂ්ක රත්නායක, ජයප්‍රකාශ් සිවගුරුනාදන්, තිළිණි බොරලැස්ස, ජානක සිරිවර්ධන, මේනක රාජපක්ෂ, තුෂාරි අබේසේකර යන අයගේ ආශිර්වාදයත් එක්ක තමයි මම මේ ගමන තවදුරටත් යන්නෙ. කාටහරි මම තනි මිනිහෙක් කියලා හිතෙනවානම් ඔව්.. මම තනි මිනිහෙක්* තමයි. නමුත් මම ඉන්නෙ ලොකු ආදරණීය පවුරක් එක්කයි.


සිරි රජ සිරි චිත්‍රපටයේ සිරිමල්ගේ චරිතය සිනමා තිරයේ මුලින්ම දකිද්දි පුංචි දරැවෙකුගේ හිතට දැනෙන ආඩම්බරය ඔබටත් දැනෙන්න ඇති?

ඔව්.. එදා ඒක මම බලන්න ගියේ මගේ ආච්චියි සීයයි එක්ක. එදා මටත් වඩා සතුටක් මගේ ආච්චිටයි සීයටයි දැනුණා. එදා මට හිතුණු දේ ඇත්තටම මොකක්ද කියලා අද මට මතක නැහැ. මම 2009 අවුරුද්දෙ චීනයේ පැවති දසවැනි අන්තර්ජාතික ළමා චිත්‍රපට උළෙලෙදි ලෝකයේ හොඳම ළමා නළුවාට හිමි සම්මානය දිනාගත්තා. ඒ සම්මානය මගේ අතින්ම චීනයේදී මමමයි ගත්තෙ. ඒ සම්මානය ගනිද්දි මට දුවලා පදක්කමක් ගනිද්දි දැනෙන අපූරු හැඟීම දැනුණා. ඒක මාර සතුටක්. මේක ලංකාව ඇතුළේ ගත්තු සම්මානයක් නෙමෙයි. එතකොට මගේ වයස අවුරුදු දොළහක් විතර ඇති. ඒකෙදි මම නියෝජනය කළේ මගේ රටයි. මගේ කොඩියයි. මම මගේ භූමිය නියෝජනය කරමින් ලෝකෙ තියෙන රටවල් එක්ක හැප්පුණා. ඒ සතුට එදාටත් වඩා අද මට තියෙනවා. මට තාම මතකයි මම රත්තරන් පාට අපේ ජාතික ඇඳුම තමයි එදා ඇන්ඳෙ. ඒ උළෙලට එන්න ආරාධනාව ලැබුණේ රේණුකා නැන්දාටයි සෝමරත්න මාමාටයි. සෝමේ මාමා තමයි කොල්ලව එක්කගෙන යන්න කියලා ඔහුගේ අවස්ථාව මට ලබා දුන්නෙ. මම ඒ උළෙලට රේණුකා නැන්දා එක්ක චීනයට ගියා. සෝමේ මාමාට ඉවෙන් හෝ මේ පොඩි කොල්ලට මොකක් හරි ඇගයීමක් තියේවි කියලා දැනෙන්න ඇති. මට ඒ දුන්න අවස්ථාවෙන් මට මගේම සම්මානය මගේ අතින්ම ගන්න වාසනාව ලැබුණා.‍




අද වෙද්දි භක්තිට, මාලන්ට පුදුමාකාර ආදරයක් ලැබෙනවා. ඒ ලැබෙන ප්‍රතිචාර ගැන අද කෝකිලට මොකද හිතෙන්නෙ?

මේ මාලන්, භක්ති කියන චරිත ඇතුළෙ සාර්ථක වෙන්න සිරි රජ සිරි චිත්‍රපටයේ සිරිමල්ගේ චරිතය මහ හෙවණැල්ලක් වුණා. අනේ අර පොඩි එකා නේද මේ මාලන් වෙලා ඉන්නේ කියන්න අදටත් සිරිමල්ව මිනිසුන්ට මතකයි. කෑම එකක් කන්න හොටෙල් එකකට ගියත්, පොඩි කඩයකට ගියත් ඒ අයට සිරිමල්ව මතකයි. චිත්‍රපටයේ මට ලැබුණු ඒ චරිතය නිසා දැන් මට ලැබෙන අවස්ථාවලට ඒක මාරම රැකුලක්. සිරිමල් මගේ ජීවිතේ හොඳ අත්තිවාරමක් වුණා. නිර්මාණයක් කරද්දි මේක මෙච්චරට ජනප්‍රිය වෙයි කියලා අපි හිතන්නෙ නැහැ. මම රඟපෑ කිසිම චරිතයකට තාම මට නරක අදහස්නම් ලැබිලා නැහැ. හැමවෙලේම ලොකු උත්තේජනයක් මට මගේ ආදරණීය රසික රසිකාවියන් ලබා දෙනවා. මම ගැන කවි ලියන, මම ගැන චිත්‍ර අඳින, බස්වල ත්‍රීවිල්වල ස්ටිකර් ගහන, මම ගැන ටී ෂර්ට් ප්‍රින්ට් කරන සියලුම ආදරණීය රසික රසිකාවියන්ට මම හිස නමා ආචාර කරනවා. ඒක මාරයි. පණ පිහිටවලා චිත්‍රයක් අඳින්න කොච්චරනම් වෙලා ගතවෙනවද? එවැනි චිත්‍ර මම දැනුවත්ව බොහොමයි. නොදැනුවත්ව කීයක්නම් ඇත්ද? මේ ආදරය සල්ලිවලට ගන්න බැහැ. දාම් නාට්‍යයේ ධනුෂ්ක අයියා ඇතුළු දාම් නාට්‍ය කණ්ඩායමටත්, නාඩගම්කාරයෝ නාට්‍යයේ ජයප්‍රකාශ් සිවගුරුනාදන් අයියා ඇතුළු නාට්‍ය කණ්ඩායමටත් මේ ලබාදෙන සහයෝගයට ස්තූති කරන්න ඕනෙ.


කොහොමද කසාද ජීවිතේ?

ඇත්තටම හොඳයි. එයාගේ නම නිමාලි ප්‍රනාන්දු. එයා කළමනාකරණ අංශයේ සේවය කරන්නෙ. නීතිය හදාරන කෙනෙක්. කලාවට ළැදි සිතක්. භරත නාට්‍ය පිළිබඳ විශාරදයෙක්. හැබැයි එයා ලොකුවට කලාවට සම්බන්ධ වෙයි කියලා මම හිතන්නෙ නැහැ. නමුත් මට ලොකු සහයෝගයක් ඇගෙන් ලැබෙනවා. ඇයගේ ගෙදර, පවුලේ අය හරිම ආදරණීය මිනිස්සු. පුංචි කාලේ මට ආච්චිගෙන් සීයාගෙන් ලැබුණු පන්නරය අද මට ඇයගෙනුත් නොඅඩුව ලැබෙනවා.