තාත්තා ආසාවෙන් හිටියේ මම මඟුල් ගෙදරක කතා කරනවා දකින්න - ධනුෂ්ක

Friday, April 30, 2021 , 0 Comments



ජීවිතේ ලස්සනයි ටෙලිනාට්‍යයෙන් ප්‍රේක්ෂකයන් අතරට ආපු  ධනුෂ්ක අද ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයෙක්.ඉතිං ඔහු ඔහුගේ මේ දිනවල අලුත් තොරතුරු ගැන පුවත්පතක් සමඟින් මෙලෙස කියා තිබුනා.


ජීවිතේ ලස්සනයි ටෙලිනාට්‍යයෙන් ප්‍රේක්ෂකයන් අතරට ගිය ධනුෂ්ක අද ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයෙක්. මොකද හිතෙන්නෙ?

ජීවිතේ ලස්සනයි කියන්නෙ ප්‍රේක්ෂකයන්ට මාව මුලින්ම රංගන ශිල්පියෙක් විදිහට දකින්න ලැබුණු ටෙලිනාට්‍යයයි. ඒ නාට්‍යයෙන් නවකයෙක් විදිහට එකතු වුණු කිහිප දෙනකුම ප්‍රේක්ෂකයන් අතරට ගියා.


 ඒ අවස්ථාව මටත් ලැබුණා. රවීන්ද්‍ර විජේරත්න, තරංග දිසානායක වගේම සන්ධ්‍යා මෙන්ඩිස් මහත්මියත් මම ආදරෙන් මතක් කරනවා. ඒ අය නිසා තමයි මට රංගන ශිල්පියෙක් සහ අධ්‍යක්ෂකවරයෙක් විදිහට මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණෙ. ඒ කාලෙදිම මම යන් ඒෂියා ටෙලිවිෂන් ආයතනයේ සහාය නිෂ්පාදකවරයෙක් සහ නිවේදකයෙක් විදිහට කටයුතු කළා. ඒ කාලෙදිත් මම අධ්‍යක්ෂණය පිළිබඳව ඉගෙන ගත්තා. ඒ වෙනුවෙන් ඒ ආයතනයේ බොහෝ පිරිසක් මට උදව් කළා. ඒකෙන් ඉගෙනගත්තු දේවල්වලින් මම රෑපවාහිනී නාලිකාවකට සම්බන්ධ වුණා. ඊටපස්සෙ තමයි ජීවිතේ ලස්සනයි නාට්‍යයට සම්බන්ධ වුණේ. මම යන් ඒෂියා ආයතනයේ ඉන්න කාලෙදි ඡායාරූප ශිල්පය පිළිබඳවත් ඉගෙන ගත්තා. පහු කාලයේදී මගේ අධ්‍යක්ෂණ කටයුතුවලදීත් ඒක මට ලොකු පිටිවහලක් වුණා. අධ්‍යක්ෂකවරයකුට තිබිය යුතු තුන්වැනි ඇහැ මම ඡායාරූප ශිල්පියෙකු විදිහට කරපු අධ්‍යයනයෙන් මට ලැබුණා. ජීවිතේ ලස්සනයි ටෙලිනාට්‍යයෙන් පස්සෙ මම නාට්‍ය කිහිපයකම රඟපෑවා. නමුත් මගේ ඉලක්කය වුණේ කෙසේ හෝ අධ්‍යක්ෂකවරයෙක් වීමයි. රංගන ශිල්පියෙක් විදිහට අධ්‍යක්ෂකවරයෙක් වීමේදී නිෂ්පාදකයෙකු සෙවීම ලොකු ගැටලුවක් වුණා. ඒ නිසා මගේ මුල්ම අධ්‍යක්ෂණයේදි මටම නිෂ්පාදනයෙන් දායක වෙන්නත් සිදු වුණා.



ධනුෂ්ක.. අද ඉන්න තැනට එන්න ගොඩක් දුක් වින්ඳද?

ඔව්.. ඇත්තටම ගොඩක් දුක් වින්ඳා. මගේ පවුලේ කවුරුවත් කලාවට සම්බන්ධ කෙනෙක් නැහැ. ඒ නිසා තැන් තැන්වලට ගිහින් මේ සම්බන්ධයෙන් ඉගෙන ගන්න බලාගෙන ඉන්න මට සිදු වුණා. සමහර තැන්වලදි මම ඉගෙන ගන්න ගියත් මට උගන්වන්න කැමති වුණේ නැහැ. ඒ දේවල් එක්ක මේ ගමන එන්න ලොකු කට්ටක් කන්න සිදු වුණා. ජානක නාවලපිටිය අයියා තමයි මාව යන් ඒෂියා ආයතනයට සම්බන්ධ කළේ. මම පුංචි කාලේ මගේ තාත්තගේ ගමේ මළගෙදරකවත් වෙන උත්සවයකවත් කතා කරන්න, නිවේදනය කරන්න කෙනෙක් හිටියෙ නැහැ. ඒ නිසා තාත්තාට ලොකු ආසාවක් තිබුණා එයාගේ පුතාලා දෙන්නගෙන් කෙනෙක් මේ ගමේ මඟුල් ගෙයක කතාවක් කරන්න ඕනෙ කියලා. ඒ නිසා මගේ තාත්තා මම පුංචි කාලේ පොඩි මාතෘකාවක් දීලා මට කතාවක් කරන්න ඉගැන්වුවා. ඒ ඉගෙන ගත්ත දේට පස්සෙ මම පාසලේ කථික තරග, විවාද තරගවලට ඉදිරිපත් වුණා. ඒ හරහා තමයි මම කලාවට එන්න මුලින්ම ආසා කළේ. මගේ අයියා වුණු ප්‍රියන්ත රත්නායකවත් මම ආදරෙන් මතක් කරනවා. මගේ හෙවණැල්ල වගේ ඉඳලා මට දුකක් නොදෙන්න එයා ගොඩක් දුක් වින්ඳා. එයා බොහෝ දුක් දරාගෙන මාව ඉස්සරහට යැව්වා. මට කට්ට කන්න තිබුණු තැන්වලදි අයියා ඒ දුක විඳලා මාව සතුටු කළා.




වෙස්, හේලි, දාම්.. ඊළඟට අධ්‍යක්ෂණය කරන්නෙත් අකුරු දෙකක නිර්මාණයක්ද.. ඊළඟ නිර්මාණය මොකක්ද?

වෙස්, හේලි, දාම් වලින් පස්සෙ ඊළඟ නිර්මාණය අකුරු දෙකක එකක් වෙයිද දන්නෙ නැහැ. කොහොම වුණත් ඊළඟ නිර්මාණය වෙනස් නිර්මාණයක් වේවි. බොහෝදුරට මේ හැඩතලවලින් වෙනස් වුණු නිර්මාණයක් වේවි. හැබැයි ඒ ගැන දැන්ම කියන්න අමාරුයි. තාම ඒකට නමක් දාලා නැහැ. බලමු.. ඔයාලටත් ඕනනම් අකුරු දෙකක නමක් යෝජනා කරන්න. එහෙම නමක් මගේ මුහුණුපොතට මැසේජ් එකක් දාන්නත් පුළුවන්. නිර්මාණය ගැන ලොකු විස්තරයක් නම් දැන්මම කියන්න අමාරැයි.


දාම් බොහෝ වෙහෙසකාරීව වියදම් දරමින් කරපු නිර්මාණයක්. ඒ කාලය පුරාවට ලබපු අත්දැකීම් කොහොමද?

ඔව්.. දාම් කියන්නෙ ලොකු වෙහෙසක් දරලා කරපු නිර්මාණයක්. ඒ වෙනුවෙන් එහි නිෂ්පාදක ගයාන් දිනේෂ් පෙරේරා, කැමරා ශිල්පී ස්ටයිම් ඇඩම්ස්, සහාය අධ්‍යක්ෂක වසන්ත අමරසිංහ ඇතුළු හැම කාර්මික ශිල්පියෙකුටම ස්තූති කරන්න ඕනෙ. මේක team work එකක්. රංගනයට එකතු වුණු හැම කෙනෙකුටම ස්තූති කරන්න ඕනෙ. මේ හැම දෙනාගේම සහයෝගයෙන් තමයි මේක දැවැන්ත නිර්මාණයක් බවට පත්කර ගන්න අපිට අවස්ථාව ලැබුණෙ. ඒ විතරක් නෙමෙයි.. ලංකාවේ බොහෝ නගරවල මේකෙ දර්ශන තල හොයාගෙන අපි රෑගත කිරීම් කළා. ඒ වගේම ඕස්ට්‍රේලියාව, මැලේසියාව වැනි රටවලත් අපි දර්ශන රෑගත කිරීම් කළා. ඒවා කරන්න සම්පත් ශ්‍රී රෝෂන්ගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. ඔහු ඕස්ට්‍රේලියාවේ සිට එහේ ඉන්න තාක්ෂණික කණ්ඩායමක් එක්ක ඒ රෑගත කිරීම් අපිට කරලා දුන්නා. මේකට වෙච්ච මහන්සිය ලැබෙන ප්‍රතිචාරත් එක්ක අපිට දැනෙන්නෙ නැහැ. අවසානයෙදි ප්‍රතිචාර ලැබෙද්දි දැනෙන්නෙ ලොකු සතුටක්. 


අධ්‍යක්ෂකවරයා ඇතුළේ ඉන්න ඡායාරෑප ශිල්පියා තවමත් ඉන්නවාද?

ඡායාරූප ශිල්පියා තාමත් මා තුළ ඉන්නවා. අධ්‍යක්ෂණය වගේම ඡායාරූප ශිල්පියා කියන දෙදෙනාටම මම හරි ආසයි. ඒක හරියට මගේ දකුණු අත සහ වම් අත වගෙයි. මම ක්ෂේත්‍රයට මුලින්ම ඡායාරූප ශිල්පියෙක් විදිහටයි පැමිනුණේ. අධ්‍යක්ෂණයටත් මම ඡායාරූප ශිල්පියෙක් විදියට යොදාගත්ත දැනුම ගොඩක් ඉවහල් වුණා. මට ඉඩ තියෙන හැම වෙලාවකම මම ඡායාරූපකරණයේ යෙදෙනවා. ඒ වගේම මම මංගල ඡායාරෑපකරණයේ නිරත වෙනවා. ඒ දින බොහෝ කාලයකට පෙර මට ලැබෙන නිසා ඒ හැමදෙයක්ම සමබරව කරගෙන යන්න මට පුළුවන් වෙලා තියෙනවා.


දාම් අවසානය ගැන ඉඟියක් දෙමුද?

දාම් ටෙලිනාට්‍යයේ අවසානය ගැන මේ මොහොතේ මට කියන්න අමාරැයි. ඒ නිසා අපි ටික දවසක් ඉවසමු. දාම් කොටස සීයකින් ඉවර කරනවා. ඒ නිසා ප්‍රේක්ෂකයන්ට තව ලොකු කොටස් ගණනක් බලාගෙන ඉන්න වෙන්නෙ නැහැ. ඒ නිසා ඒ දවස එනතුරු අපි බලාගෙන ඉමු. ප්‍රේක්ෂකයන්ට මතකයේ තියෙන නිර්මාණයක් විදිහට දාම් අවසානයේදී ඉවර වේවි.