මම තාම පෙම්වතෙක් නෙමෙයි - නිනෝ අරලිය ජයකොඩි

Tuesday, April 20, 2021 , 0 Comments

 



ඔහු කලා දිවියේ සෙමින් අඩි තබන්නෙකි. නමුත් ඔහු රංගනයෙන් දායක වූ නිර්මාණයන්හිදී අමතක නොවන මතක සටහන් සහෘද සිත් සතන්හි තැන්පත් කරන්නට අමතක කළේ නැත. නිනෝ අරලිය ජයකොඩි. ඉතිං ඔහුගේ අලුත් විස්තර ගැන මෙලස පුවත්පතකට පවසා තිබුනා.


කොහොමද මේ දවස්වල ජීවිතේ?

සුපුරුදු පරිදි ගෙවිලා යනවා.


කලා කටයුතුවල විස්තර කිව්වොත්?

වෙළෙඳ දැන්වීම් දෙකකට විතර පෙනී සිටියා. අමරසිරි පීරිස් මහත්මයාගේ ගීතයක ගීත රචනයකට රංගනයෙන් දායක වුණා. ඒ වගේම කසුන් මහේන්ද්‍ර හීනටිගලගේ ටෙලි නාට්‍යයක රූගත කිරීම් ලබන මාසේ ආරම්භ කරනවා.


එක නිර්මාණයකින් ඔබ දැකලා ආයෙත් ඔබව දකින්න බොහෝ කලක් ගතවෙනවා. ඇයි කේෂ්ත්‍රය තුළ හෙමින් ගමනක් යන්නේ?


තෝරාබේරාගෙන නිර්මාණවලට දායක වෙන්න පුළුවන් තත්ත්වයක් ලංකාවේ නැහැ. මං වෙනත් වෘත්තියක නියැළෙන කෙනෙක් නම් තෝරාගත් නිර්මාණවලට විතරක් දායක වෙන්න හැකියාව තිබුණා. නමුත් මං වෘත්තියෙන් රංගන ශිල්පියෙක්. මගේ ආදායම් මාර්ගය ගොඩනැඟෙනෙත් ඒ අනුව. ඒ නිසා මං ලැබෙන නිර්මාණ භාරගන්නවා. ඒ චරිතවලට මගේ ශක්ති ප්‍රමාණයෙන් සාධාරණය ඉටු කරනවා. නමුත් සල්ලිවලට යටවෙලා අහුවෙන දෙයක් කරන රංගන ශිල්පින් ගොඩටත් නිනෝ අරලිය වැටෙන්නේ නැහැ.


ඒ කියන්නේ මෙතෙක් ආ ගමන්මඟ ගැන ඔබ තෘප්තිමත් නැද්ද?

අවංකවම මං තෘප්තිමත්. මට මෙතෙක් මගේ හැකියාව ප්‍රදර්ශනය කළ හැකි චරිත ලැබුණා. නමුත් තවත් මගේ හැකියාවන් සැඟ වී ඇතැයි මං විශ්වාස කරනවා. වෙනස් විදිහෙ චරිත තුළින් ප්‍රේක්ෂකයා අතරට යන්න මං කැමැතියි.


කලාවට පිවිසෙන්න හැදෑරීමක් කළ යුතුයි කියලා ඔබ විශ්වාස කරනවද?

අනිවාර්යයෙන්ම. හැදෑරීම තමාගේ වපසරිය අනුවයි තීරණය වෙන්නේ. යම් කෙනකුට උකහා ගත හැකි ප්‍රමාණය මත කලාව හදාරන්න පුළුවන්. හැදෑරීමක් නොවන තැන

පැවැත්මක් නැහැ කියලා මං විශ්වාස කරනවා.


රිදී තිරයට සම්බන්ධ වෙන්න ආරාධනා ලැබිලා තියෙනවද?

චිත්‍රපට 2කට ආරාධනා ලැබුණා. පසුගිය කාලේ පැවැති වසංගත තත්ත්වය නිසා ඒ කටයුතු තරමක් කල්ගියා. මේ අවුරුද්දෙ අනිවාර්යයෙන් ඒවයේ රූගත කිරීම් ආරම්භ කරාවි.


රඟපෑමෙන් එහාට අඩියක් තියන්න බලාපොරොත්තුවක් නැද්ද?

මං රඟපෑම ගැන දන්නේ ඉතා සුළු ප්‍රමාණයයි. හරියට කලාව මහ සාගරය වගේ නම් මගේ දැනුම ඉන් දිය බිඳක් වගේ. කලාව, රංගනය ගැන ප්‍රාමාණික දැනුමක් ලැබී දිනක මං පළමු වෙඩිමුරය එල්ල කරයි.


ඔබ මෙතෙක් රඟපා නැති රංගනයෙන් දායක වීමට කැමැති චරිතයක් ගැන හීනයක් තියෙනවද?

ක්‍රියාදාම චිත්‍රපටයකට දායක වෙන්න මං හරි ආසයි. බොහෝදෙනෙක් මාව දැකලා තියෙන්නෙ කෙළිලොල්, ආදරය කරන කෙනෙක් විදිහට. නමුත් නොදැකපු රංගන පරාසයක් මා තුළත් සැඟ වී තිබෙන්න පුළුවන්.


පවුලෙ විස්තර කොහොමද?

අපේ පවුලෙ අම්මයි, තාත්තයි, අක්කයි ඉන්නේ. අක්කා විවාහකයි. මං තාම තනිකඩයි.


ළඟදී විවාහ වෙන්න බලාපොරොත්තු වෙනවද?

මං පෙම්වතෙක් නෙවෙයි. මට ආදරය කරන, මාව තේරුම්ගත කෙනෙක් මුණගැසුණු දිනයක විවාහ වීමට බලාපොරොත්තු වෙනවා.