ඇත්තම කියනවා නම් දැන් සැබෑ ආදරය හොයාගන්න අමාරුයි - කස්තුරි ජයවර්ධන

Monday, March 22, 2021 , 0 Comments



 2019 වසරේ TV දෙරණ අවුරුදු කුමරිය තරගයේ දෙවැනි තැන හිමිකරගත් කස්තුරි ජයවර්ධන මුලින්ම රංගනයට පිවිසුණේ හුස්මක් තරමට ටෙලිනාට්‍යයෙන්. ඇය මේ දිනවල නීල පබළු, අග්නි පියාපත්, නෑනලා ටෙලි නාට්‍ය ති‍්‍රත්වයෙන්ම දකින්න ලැබෙනවා. ඉතිං ඇය ඇගේ කලා කටයුතු ගැන නවතම තොරතුරු පුවත්පතකට මෙලෙසින් පවසා තිබුනා.


 කස්තුරි මේ දවස්වල ෂූටින් නැද්ද?


මේ දවස්වල දිගටම ෂූටින්. ටෙලි නාට්‍ය තුනක් විකාශනය වෙනවා.



 නීල පබළු මහීෂාට ලැබෙන ප‍්‍රතිචාර


ඒ චරිතය හරහා තමයි මාව ගොඩක් දෙනෙක් අඳුර ගත්තේ. හොඳ ප‍්‍රතිචාර ලැබෙනවා.


 ඔය අතරේ අග්නි පියාපත් සහ නෑනලාට ලැබෙන්නේ මොනවගේ ප‍්‍රතිචාරද?


ප‍්‍රතිචාර හොඳයි මම ආපු ගමනත් එක්ක. දැන් ක්‍ෂේත‍්‍රයට ඇවිත් අවුරුදු දෙකක් වෙනවා. ඉස්සර හිටපු කස්තුරිට වඩා දැන් කස්තුරි ජනප්‍රියයි.


 මහීමයි කස්තුරියි එක සමානද?


මට පුළුවන් උපරිමයෙන් මම මහීමාගේ චරිතය රඟපානවා. මහීමා ගේ ගොඩක් ගති ලක්‍ෂණ කස්තුරිටත් තියෙනවා.


 රඟපෑම ගැන මොකද හිතන්නේ?


මම වෘත්තීය නිළියක් නෙමෙයි. මොකද මම තවමත් රුහුණු විශ්ව විද්‍යාලයේ වැඩිපුර අධ්‍යාපනය හදාරනවා. මම රඟපෑමට ආසයි. හොඳ නිර්මාණයක් ලැබුණොත් රඟපානවා. ඇත්තටම කිව්වොත් හොඳට හිටියොත් හොඳයි කියලා තමයි කියන්න පුළුවන්



රඟපෑම හදාරලා නැත්ද?


තවම හදාරලා නැහැ. මම තවම මේ විෂය ඉගෙන ගන්නවා.



මේ ක්‍ෂෙත්‍රයට ආවට ගෙදරින් විරුද්ධ නැද්ද?


මුලදී නම් විරුද්ධ වුණා. මොකද මේ ක්‍ෂේත‍්‍රය ගැන නොයෙකුත් කතා තියෙනවානේ. අපි හරියට හිටියොත් ඕනෑම ක්‍ෂේත‍්‍රයක ඉදිරියට යන්න පුළුවන්. අපිට කවුරුත් බලෙන් බලපෑම් කරන්න එන්නේ නැහැනේ.


කස්තුරිට අධ්‍යක්‍ෂවරුන්ගෙන් බලපෑම් ඇතිවෙලා නැද්ද?



බලපෑම් ඇවිල්ල තියෙනවා. මම ඒවා කෙලින්ම ප‍්‍රතික්‍ෂෙප කරලා තියෙනවා. මට එවැනි බලපෑමක් ආවොත් එතැනින් ඉවත් වෙනවා. ඒ වගේම එවැනි වැඩ අතහැරලා දානවා.


එහෙම අතහැර දාපු නිර්මාණ තියෙනවාද?


ඔව්. ඔව්. චිත‍්‍රපටයක් වගේම ටෙලිනාට්‍යයක් මම අතහැරියා. මම ඒක කියන්නම ඕනෑ දෙයක්. මම රඟපාන්න ආසයි. නමුත් මගේ චරිතය නසාගෙන මගේ වටිනාකම නැතිකරගෙන රඟපාන්න සූදානම් නෑ. මොකද මට මෙතැන අනවශ්‍ය විදිහට නියැළෙන්න වුවමනා නැහැ.


 කස්තුරිට ජනපි‍්‍රයත්වය වැඩක් නැතිද?


මම ජනප‍්‍රියත්වය පස්සේ දුවන්නේ නැහැ. ජනපි‍්‍රය වෙන්න ආසයි.



 ගොසිප් ගැන මොකද හිතන්නේ?


රංගන ක්‍ෂේත‍්‍රයේ ඉන්නවා කියන්නේ ජනපි‍්‍රයයිනේ. අනික අපි දිහා බලාගෙන ඉන්න පිරිස වැඩියි. මෙතැන ගොසිප් විකුණල ජීවත්වෙන පිරිසක් ඉන්නවා. ඔවුන් අනෙකාගේ මානසිකත්වය බලන්නේ නැහැ.



යූටියුබ් නාලිකා චරිත ඝාතනය කරල සල්ලි හම්බ කරනවා කියලද කියන්නේ?


ඔව්. ඒ වගේ යූ ටියුබ් චැනල් තියෙනවානේ. සමහර පේජ් වලින් ඕනේ නැති ගොසිප් හදනවා.



 සැප්තැම්බරයේ දීග දවසක් ටෙලි නාට්‍යයේ වැඩ කළා නේද?


මම දැනට කරපු වෙනස්ම චරිතයක්. චරිතයේ නම කුටී. කල්ප කුමාර කාලිංග මහතාගේ තිර රචනයක්. චන්දන හේවාපතිරණ මහත්මයාගේ අධ්‍යක්‍ෂණයක්. ඒක මගේ වෙනස්ම වැඩක්. මම ඒ චරිතයෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.


පෝර්ක් වීදියේ ෂූටින් පටන් ගත්තාද?


ෂූටින් ඉස්සරහට පටන් ගන්න තියෙනවා. ස්වාධීන රූපවාහිනියේ ඉදිරියේදී විකාශනය වීමට නියමිතය. කාලික රත්නායක මහත්මයාගේ නිර්මාණයක්. ඒකත් වෙනස්ම වැඩක්.


 සංදේශ් බණ්ඩාර ගේ කුළුඳුල් නිර්මාණයට ආරාධනා කළා නේද?


ඔව්. ඔහුගේ පිනෝකියෝ කියන කුළුඳුල් නිර්මාණයට මට ආරාධනාවක් ලැබුණා. ඔහු හරහා මම පේ‍්‍රක්‍ෂකයන් අතරට ගියා. මොකද ඔහු ගේ මියුසික් වීඩියෝ වල මම වැඩකරලා තියෙනවා.


සැබෑවට ආදරය ඉල්ලගෙන එන අය එමටයි කියන්නේ?


සැබෑ ආදරය සොයා ගන්න අමාරුයි නේද? මොකද ගොඩක් ඉන්නේ ආත්මාර්ථකාමී මිනිස්සුනේ. ඇත්තම කියනවා නම් දැන් සැබෑ ආදරය සොයාගන්න අමාරුයි. ආත්මාර්ථකාමීත්වය තමයි තියෙන්නේ.


සැබෑ ආදරයක් කස්තුරිට තවම හමුවෙලා නැතිද?


අපි ඒ ගැන පස්සේ කතා කරමු නේද. ආදරය මේ වෙලාවේ කතා කරන්න වුවමනා මාතෘකාවක් නෙමෙයි කියලයි මම හිතන්නේ.




දිනේෂ් විතාන