මෙහෙම තෑග්ගක් ලැබෙයි කියලා හීනෙන්වත් හිතුවෙ නෑ - විනූ සිරිවර්ධන

Monday, March 22, 2021 , 0 Comments

 



මීට මාස කිහිපයකට පෙර තමන්ගේ හීන කුමාරයා එක්ක දීග ගිය විනූ සිරිවර්ධන නම් යොවුන් රංගන ශිල්පිනිය මේ දවස්වල රංගනය තුළ එතරම් දකින්න නැති වුණත් ඇයගේ උපන්දිනයට ලැබුණු වටිනා තෑග්ගක් නිසා ඇය ගැන බොහෝ දෙනා දැන් වැඩිපුර කතා කරනවා. ඒ ගැන වගේම රංගන ජීවිතය ගැනත් ඇය අලුත් තොරතුරු මෙලෙස පුවත්පතකට කියා තිබුනා.

 


උපන්දිනය දවසේ ලැබුණ සුවිශේෂී පුදුම කිරීමත් ඔය සතුටට හේතූ වෙන්න ඇති?


මගේ ජීවිතේ සතුටුම උපන්දිනේ තමයි මේ පාර සැමරුවේ. මේ විවාහ වුණාට පස්සේ සැමරූ පළමු උපන්දිනය. උපන්දිනය දවසේ හරියටම රෑ දොළහට සැමියා මට සුබ පැතුවා. ජපානයේ ඉන්න මගේ හොඳම මිතුරියත් ඒ වෙලාවෙම කතාකරලා මට සුබපැතුවා. ඊට ටික වෙලාවකට පස්සේ මට නින්ද ගියා. සැමියා මාව ඇහැරවලා කිව්වා තාත්තට ටිකක් සනීප නෑ, ඒ නිසා පහළට යන්න එන්න කියලා. පහළට ගියාම මට අදහගන්න බැරිවුණා. පවුලේ හැමෝම ඇවිත් හිටියා මට සුබ පතන්න. සැමියයි ජපානේ ඉන්න මිතුරියයි තමයි ඒ සේරම ලෑස්ති කරලා තිබුණේ. ඒ විතරක් නෙමෙයි කසුන් මට වටිනා තෑග්ගකුත් දුන්නා. ඒ මිනි කූපර් කාර් එකක්.


ඒ අපූරු තෑග්ගෙ වටිනාකම ගැනත් බොහෝදෙනා කතා කරනවා. මෙහෙම තෑග්ගක් සැමියාගෙන් ලැබෙයි කියලා ඔබට හිතුණද?


කසුන් දුන්න මිනි කූපර් එක මිල අධික කාර් එකක්. ඒකේ ඇත්ත වටිනාකම නම් දන්නෙ එයා. මේ වගේ තෑග්ගක් ගැන මම බලාපොරොත්තු වුණේම නැහැ. මේක මට ලැබුණ පළමු කාර් එක. මම මීට කලින් කාර් එකක් පදවලා නෑ. විවාහයට කලින් මගේ තාත්තා තමයි මාව ගමන් බිමන් එක්ක ගියේ. විවාහ වුණාට පස්සේ ඒ වගකීම කසුන් බාරගත්තා. කසුන් එයාගේ රැකියාව එක්ක ගොඩක් කාර්යබහුල නිසා සමහර වෙලාවට එයාට මාත් එක්ක එන්න බැරි වෙනවා. ඒ ගැන හිතලම වෙන්න ඇති එයා මට මේ වගේ තෑග්ගක් අරන් දෙන්න තීරණය කරන්න ඇත්තෙත්. කසුන් මට මොන තෑග්ග දුන්නත් මුදල්මය වටිනාකම තියෙන හැමදේටම වඩා මට එයා වටිනවා.


මිනි කූපර් එකකට විනුත් කැමැත්තෙන් හිටියද?


ඒක ගැහැනු ළමයෙක්ට පදින්න පුළුවන් හුරුබුහුටි කාර් එකක්. මගේ පළමු වැනි වාහනය විදිහට කසුන් තෑගි කළ මේ තෑග්ග මට ගොඩක් වටිනවා. අපි විවාහ වෙලා තවම මාස හයයි. ඒ කාලය ඇතුළත එයාට මගෙන් යුතුකම් වගකීම් හරියට ඉටුවුණ නිසා වෙන්නත් ඇති මේ තරම්ම වටින තෑග්ගක් එයා මට දෙන්න තීරණය කරන්න ඇත්තේ.


විවාහ ජීවිතය තනිකඩ ජිවිතේට වඩා වගකීම් වැඩි ජීවිතයක්. ඔබ ඒ වගකීම් අකුරටම ඉටු කරන බිරියක්ද?


අනිවාර්යෙන්ම...මගෙන් විය යුතු වගකීම් තේරුම් අරගෙන බොහොම කැමැත්තෙන් ඒ වගකීම් දරන්න කැපවෙලා ඉන්නවා. ජිවිතේ සමහර දේවල් මමම හිතලා සීමා කරගෙන ඉන්නවා. පවුල් ජීවිතේ ඇතුළේ ප්‍රශ්න ඇති නොවෙන විදිහට ජීවත් වෙන්න මම හැකිතරම් උත්සාහ කරනවා.


රංගන ශිල්පිනියක් විදිහට දැන් ඔබ වැඩිපුර දකින්න නැත්තෙත් ඔබම ඔබට සීමා පනවාගෙන සිටින නිසාද?


කසුන් ගොඩක් කාර්ය බහුල කෙනෙක්. එයයි මමයි දෙන්නම කාර්යබහුල වුණොත් අපිට අපේ ජිවිතය විඳින්න බැහැ. බිරියක් විදිහට මගෙන් යුතුකම් වගකීම් පැහැර හැරුණා කියලා අහන්න මම කැමැතිත් නැහැ.


ඔය කියන්නේ ඉදිරියේදී විනූ කලාවෙන් ඈත්වන බවද?


කලාවෙන් ඈත් වෙන්න අදහසක් නැහැ. නමුත් හොඳ නිර්මාණ තෝරාගෙන සීමා සහිතව වැඩ කරයි. මේ වෙනකොටත් ස්වර්ණවාහිනි නාළිකාවේ නිවේදිකාවක් ලෙස කටයුතු කරනවා. හැමදේම සමබර කරගෙන ජීවත් වෙන්න මට පුළුවන් වෙයි කියලා හිතනවා.


වැඩිපුර දකින්න නොලැබෙද්දි ප්‍රේක්ෂක ආදරය ඔබෙන් දුරස් වෙයි කියලා හිතෙන්නෙ නැද්ද?


සීමාසහිතව වැඩ කරනවා කියලා නිර්මාණවලට ලැබෙන ආරාධනා හෝ ප්‍රේක්ෂක ආදරයේ අඩුවීමක් තවම නම් මට දැනිලා නැහැ. පවුල් ජීවිතයට හානියක් නොවෙන විදිහට කාලය කළමනාකරණය කරගෙන තෝරාගත් නිර්මාණවලට දායක වෙනවා. අලුත් ටෙලි නාට්‍යයක රූගත කිරීම් වගේම කරපු ටෙලි නාට්‍යයක ඉතිරි රූගත කිරීම් පටන් ගන්නත් තියෙනවා. චිත්‍රපටයකටත් ආරාධනා ලැබී තිබෙනවා.


පවුල් ජීවිතේට මුල් තැන දෙන කෙනෙක් විදිහට ඔබට රංගනයට සම්පූර්ණයෙන්ම සමුදෙන්න වුණොත් ඒ තීරණය ගන්න දෙපාරක් හිතන්නේ නැද්ද?


මගේ ජීවිතේ මුල් තැන පවුල් ජීවිතයට නිසා රංගනයට සමු දෙන්න වුණොත් ඒ තීරණයත් මම ආදරයෙන් බාරගන්නවා. කසුන් මට කිසිම දෙයක් කරන්න එපා කියලා නීති දාලා නැහැ. රංගනයට සමුදෙන්න කියලත් නැහැ.


සැමියාත් ඔබ තරමටම විවාහ ජීවිතය වෙනුවෙන් කැපකිරීම් කරනවා කියලා ඔබට දැනෙනවද?


මම හිතන විදිහට හොඳ සහකාරියක් හෝ සහකරුවෙක් ලැබෙන්නෙ දෛවයට අනුව, අපි කරපු පෙර පින් අනුවයි. කසුන් සැමියා ලෙස තෝරා ගැනීම ගැන මම ගොඩක් සතුටු වෙනවා. ඔහු කොච්චර කාර්යබහුල වුණත් මං වෙනුවෙන් හැම වගකීමක්ම ඉටු කරන කෙනෙක්.